Breaking News

ළමා අපයෝජක නිරන්ත එදිරිසිංහ සහ ඔහුගේ සහකරුවන් නීතියෙන් ගැලවී යයිද ?

ළමා අපයෝජනය පිළිබඳ ගැටළු ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමක පවතින අතර වින්දිතයින්ට ලබා දෙන සේවාවන් ශක්තිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවයන් ද පවතී. අවාසනාවකට මෙන් වැඩිහිටියන් විසින් ළමයින්ට ලිංගික අතවර කිරීම ශ්‍රී ලංකාවේ සුලභව දක්නට ලැබුණද, ශ්‍රී ලංකා සමාජය මෙම කාරණය පිළිගැනීමේදී මන්දගාමී වී ඇත. නමුත් ශ්‍රී ලංකාව ළමා අපයෝජන පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටී. ළමා අපයෝජනය, නොසලකා හැරීම සහ සූරාකෑම පිළිබඳ වාර්තා ශ්‍රී ලංකාවේ වැඩි වෙමින් පවතී. ළමා ලිංගික අපයෝජනය ප්‍රමාණයේ බරපතල ගැටළුවක් වන අතර එය දරුවාට දරුණු කායික මානසික ප්‍රති විපාක ගෙන දෙයි.

1980 ගණන්වල ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන සංචාරක නිකේතනයක් ලෙස ප්‍රශංසාවට ලක් වූ අතර ළමා ලිංගිකත්වය සඳහා මෙම සංචාරක පාරාදීසයට විදේශිකයින් වැඩි වශයෙන් පැමිණියහ. සමලිංගික සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව (මෙන්ම තායිලන්තය සහ පිලිපීනය) වැනි රටවල් ප්‍රවර්ධනය කිරීම සඳහා නෙදර්ලන්තයේ සහ ජර්මනියේ නිෂ්පාදනය කරන ලද ජාත්‍යන්තර සමලිංගික මාර්ගෝපදේශය වැනි ජාත්‍යන්තර ප්‍රකාශන ළමා අපයෝජකයන් අතර ජනප්‍රිය විය. එසේම ළමා කාම වීඩියෝ ජාවාරම ක්‍රමක් ක්‍රමයෙන් ඉහල යන්නට විය.

2020 වසරේදී කොල්ලුපිටිය පොලිසිය විසින් බාල වයස්කාර පිරිමි ළමයින්ට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඉංග්‍රීසි ගුරුවරයෙකු මෙන්ම රූපවාහිනියේ ළමා රියැලිටි වැඩසටහනක නියම සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කල නිරන්ත එදිරිසිංහ නම් පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි. මොහුගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී තැටි 130 ක් පමණ පොලිසිය විසින් සොයා ගන්නා ලදි. අත් අඩංගුවට ගත් සීඩී තැටි වල දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය ආකාරයට රූපගත කල දර්ශන මෙන්ම ළමුන් ගේ පූර්ණ නිරුවත් දර්ශනද තිබී ඇත.

මූලික පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ නිරන්ත එදිරිසිංහ විසින් මෙම ළමා කාම වීඩියෝ ජාවාරම වසර ගණනාවක් පුරා සිදු කොට ඇති බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා ද සහාය දී ඇති බවත් ය. මොවුන් දෙදෙනා එකතු වී බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන තිබේ. පොලිසිය පවසන පරිදි නිරන්ත එදිරිසිංහ විසින් අපයෝජනයට ලක් කර ඇති දරුවන් ප්‍රමාණය 20 දෙනෙකුට අධික බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන බවත් සඳහන් වෙයි. පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ මිතුරෙකු වන මෙම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. ඒ සිද්ධියෙන් පසු ඔහු විදේශ ගතවී ඇත.

නිරන්ත එදිරිසිංහළමා අපයෝජන පිළිබඳ සිද්ධියේදී නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමී බව පෙනී යයි. සැකකරුවන් විසින් බලගතු දේශපාලකයන් හරහා පරීක්‍ෂණ වලට බාධා පමුණුවා ප්‍රබල සාක්‍ෂි යටපත් කරන ලද අතර මෙම ළමා අපයෝජන සිද්ධිය පිලිබඳව පරීක්‍ෂණ කරමින් සිටි කොල්ලුපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්තව මාරු කර දමා විමර්ශණය අඩපණ කරන ලදි. මේ අතර බ්‍රයන් ජෝන් සැඩික් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද දේශපාලකයෙකුද අපයෝජකයන්ට ගැලවී යාම සඳහා උපකාර කරන ලදි. තවද සැකකරුවන් විසින් පුවත්පත් වලටද බලපෑම් කොට ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ මහා ළමා ලිංගික අපයෝජනය පිලිබඳව තොරතුරු වාර්තා කිරීම සීමා කළහ. බොහෝ පුවත්පත් මෙම විශාල අපයෝජනය වාර්තා කලේ නැත. එසේම ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් සහයක් නොලැබුනු නිසා ඕස්ට්‍රේලියානු පොලිසියද මේ අපයෝජන පරීක්‍ෂණ හමුවේ අකර්මන්‍ය විය.

ලිංගික අපරාධවලින් ළමයින් ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් වේ. ලිංගික අපයෝජනය, කාමුක දර්ශන වැනි වැරදි වලින් සමාජය ළමයින් ආරක්‍ෂා කළ යුතු අතර වැරදිකරුවන්ට එරෙහිව නඩු විභාග කිරීම සඳහා ළමා හිතකාමී පද්ධතියක් සැපයිය යුතුය. ඇතැම් දූෂිත නිලධාරීන් නිසා ළමා අපයෝජකයන් නීතියෙන් බේරී ගිය උදාහරණ බොහෝ තිබේ. ළමා අපයෝජන විමර්ශකයන්ට මෙන්ම විනිසුරුවන්ට බලපෑම් කරමින් අධිකරණ ක්‍රියාවලියට දේශපාලන මැදිහත්වීම ශ්‍රී ලංකාවේ සුලභ ය. මේ නිසා අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳී යයි. නිරන්ත එදිරිසිංහ ළමා අපයෝජන පිළිබඳ සිද්ධියේදී පෙනී යන්නේ දූෂිත නිලධාරීන් විසින් අපයෝජකයන්ට ගැලවී යාම සඳහා දොරටු විවෘත කොට තිබෙන බවයි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

leave a reply