Day: April 10, 2026

  • ගල් අගුරු ගැන හොයන්න පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරනවා – නලින්ද ජයතිස්ස

    ගල් අගුරු ගැන හොයන්න පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරනවා – නලින්ද ජයතිස්ස

    මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව ගල් අගුරු විවාදයට සහභාගී වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. ඒ මත පදනම්ව නඩු පැවරීමට කටයුතු කරන බව ඔහු කීය.

    ඔහු ප්‍රකාශ කළේ මෙතෙක් ගල් අගුරු නැව් 462ක් ලංකාවට පැමිණ තිබෙන බවයි. එලෙස ගල් අගුරු ආනයනයේදී සිදු වූ ඇති අඩුපාඩු පිළිබද සොයා බැලීමට කටයුතු කරන බව ඔහු කීය. ඔහු චෝදනා කරන්නේ වත්මන් විපක්ෂය බලයේ සිටියදී ගල් අගුරු ආනයනයේදී වංචා සිදුව ඇති බවත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එම කරුණු හෙළිදරව් කරන බවත්ය.

    ඔහු කුමාර ජයකොඩි අමාත්‍යවරයා පිළිබද විශ්වාසභංග යෝජනාවේදී විවාදයේදී රජය නියෝජනය කරමින් දැක්වූ පළමු පිළිතුරු කතාව තුළ පහත අදහස් දැක්වීය.

    ‘අපි ලෑස්තියි කරුණු සහිතව සිදු වුණ දේ අනාවරණය කරන්න. මම දැක්කා විපක්ෂයේ ප්‍රධාන කථිකයන් දෙදෙනා ඒ කතා දෙකෙන්ම පේන්නේ නෑ මේ විවාදය හෝමාගම මහජන බැංකුවේ නැන්දම්මාගේ අකවුන්ට් එකෙන් එහාට යයි කියලා. එතැන තමයි තැන.

    ගරු කථානායකතුමනි, ගල් අඟුරු ගේන්න ගත්තේ අපේ ආණ්ඩුවෙන් නෙවෙයි. වසර 15ක් තිස්සේ සිද්ධ වෙනවා. විගණකාධිපති වාර්තාවේ සඳහන් වන ආකාරයට ගල් අඟුරු නැව් 462ක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් හැටදාහක්. ඩොලර් මිලියන 4, 5, 6 වටිනාකමක් ගල් අඟුරු නැවක් වටිනවා. ඩොලර් බිලියන දෙකහමාරක් විතර ගල් අඟුරුවලට ගෙවලා තියෙනවා.

    දැන් තමයි නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ තත්ත්ව පාලන ක්‍රියාවලියක් ස්ථාපනය කරන්න කටයුතු කරමින් ඉන්නේ. පහුගිය අවුරුදු 15ම මොකක්ද සිද්ධ වුණේ? මේ විශ්වාසභංගය ගෙනාපු කණ්ඩායම ආණ්ඩු කරපු අවුරුදු 15 තුළදීත් ගල් අඟුරු සැපයුම සිද්ධ වෙලා තියෙනවා. අපට වෙලා තියෙන්නේ ක්‍රියාවලිය ස්ථාපනය කරන එක. 2010-15 කාලසීමාවේ කිසිදු ටෙන්ඩර් ක්‍රියාවලියක් නෑ. සමහර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වෙලා අතරමැද නතර වෙලා කැබිනට් මණ්ඩල තීන්දුවක් මත කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රියාවලියක් තමයි පහුගිය අවුරුදු පහේ සිද්ධ වුණේ. අපි කතා කරන ලෝඩ් පෝට් රිපෝට් (Load Port Report) හෝ ඩිස්චාර්ජ් රිපෝට් (Discharge Report) මොකක්වත් අදාළ වුණේ නෑ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නතර කරලා තමන්ට ඕනෑ අයට දුන්නා නම් කතා කරන්න දෙයක් නෑනේ. මේ ක්‍රියාවලිය කෙතරම් බරපතළයිද කියලා 2010-11 සැපයුමේ ඉඳලා 2014-15 සැපයුම දක්වා වෙච්ච ක්‍රියාවලියෙන් පස්සේ පළවැනි වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම අධිකරණය කිව්වා SCFR 394/2015 තීන්දුවෙන් කිව්වා අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත් කරන මට්ටමේ ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා.

    ඒ නිසා ඒ ටෙන්ඩර් එක 2015 දී බල රහිත කළා. මෙහෙම තමයි පළවැනි වසර පහ ගියේ. ඊළඟට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වුණා. ටෙන්ඩර්වලදී සිද්ධ වෙච්ච අක්‍රමිකතාවයන් පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කරුණු සහිතව කියාවි. ඩොලර් මිලියන 1.5ක වංචාවක් ගැන දැනටමත් නඩු කටයුතු සිද්ධ වෙනවා. මේ ප්‍රසම්පාදනය හරි තැනක තිබ්බා. ඒ නිසා තමයි ගල් අඟුරු සැපයුම්කරුවන් 26 දෙනෙක් ලියාපදිංචි කරලා තිබුණා. එයින් 11 දෙනෙක් ටෙන්ඩරයට ඇතුළත් වුණා. දින 21ක් ලබා දුන්නා. ජාතික ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය සහිතව එය දින 28ක් දක්වා දීර්ඝ කළා. මේක මෙට්‍රික් ටොන් මිලියන 1.5ක සැපයුමක්. අවුරුදු තුනකට මෙට්‍රික් ටොන් මිලියන 4.5ක ගනුදෙනුවකට දින 35ක් ඇතුළත ටෙන්ඩර් දුන්නේ. අපි 21ක් දීපු එක 28ක් දක්වා දීර්ඝ කළා. ප්‍රශ්නයක් තිබුණා නම් අභියාචනය කරන්න තිබුණා.

    ටෙන්ඩර් නිර්නායකයන් වෙනස් කළේ අපි කියලා බොරුවක් කිව්වා. ඒත් 2023 දී තමයි ඒවා වෙනස් කළේ. අපේ ආණ්ඩුවෙන් නෙවෙයි. ඒ ලක්ෂ පහෙන් ලක්ෂයක් GCV 5900ට වඩා වැඩිවෙන්න ඕනෑ කියලා වෙනස් කළේ 2023 දී. ඒක තමයි අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ. සැපයුම්කරුවන් 26 දෙනෙක් ලියාපදිංචි කරගෙන එයින් 11 දෙනෙක් ටෙන්ඩරයට ආවා. ඒකෙන් තමයි ටෙන්ඩරය කළේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන චෝදනා එල්ල කරන්න බෑ. කවුරුහරි කියනවා නම් ඇමති මැදිහත් වෙලා සමාගමක් ගෙනාවා කියලා, මම කියනවා ඔප්පු කරන්න. එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් සැපයුම්කරුවන් අභියාචනා කමිටුවට යනවා. කවුරුත් ගියේ නෑ. කලින් තමයි ඇමතිවරුන් මැදිහත් වුණේ. ටෙන්ඩරය කෝල් කරන්න පරක්කු වුණේ කලින් එකේ නැව් පරක්කු වුණ නිසා. ඒවායේ අන්තිම නැව බෑවේ දෙසැම්බර් 08 වැනිදා. ඒවා පරක්කු වුණා.

    මෙතැන ගැටලුවක් මතුවෙලා තියෙන්නේ තත්ත්ව පරීක්ෂණය කරන්න ක්‍රමවේදය තමයි ලෝඩ් පෝට් රිපෝට් එක ගන්න එක සහ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් (Discharge Port Report) එක ගන්න එක. දැන් විශ්වාසභංගය ඉදිරිපත් කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හිටපු 2015 ආණ්ඩුව නම් හිටියේ, මේ ප්‍රශ්නය එන්නේ නෑ. අජිත් පෙරේරා රාජ්‍ය ඇමති හිටපු කාලයේදී පෙන්වන්න ගල් අඟුරුවලට මුදල් ගෙවද්දී ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකට කවදාද ගෙව්වේ කියලා. එතකොට ගෙව්වේ ලෝඩ් පෝට් රිපෝට් එකට විතරයි. ඒ කියන්නේ සැපයුම්කරු තෝරාගත් ලැබ් එක. 2019 වෙනකල් ලෝඩ් පෝට් රිපෝට් එක මොකක්ද? ඒකට ගෙව්වා.

    ඒ විදියට නම් අපි වැඩ කරන්නේ, මේ ආපු නැව් 13ටම සල්ලි ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක් නැතිව. මොකද ඒ ඔක්කෝගෙම ලෝඩ් පෝට් රිපෝට් එක පාස්. ප්‍රශ්නයක් මතුවෙන්නට හෙව්වෙත් නෑ. කතා කරන අය ඇමතිකම් කරන කාලේ බැලුවද ගල් අඟුරු බලාගාරවල රිපෝට්? ඒවා මොකක්වත් සැලකිල්ලට අරන් නෑ. අරහෙන් දෙන රිපෝට් එකට සීයට සීයක් බැලුවා.

    යන්තම් 2019න් පස්සේ ඒ ක්‍රමය වෙනස් කළා. මේ විගණන වාර්තාවේම තියෙනවා ඩිස්චාර්ජ් පෝට් වාර්තාව සැලකිල්ලට ගන්න තිබුණත් ඒකත් සිද්ධ වුණේ නෑ, අක්‍රමිකතාවන් සිද්ධ වුණා කියලා. අපි කළේ වාර්තා දෙකම අරන්. ඒ දෙක අතරේ වෙනසක් තියෙනවා. අපි ඒක තමයි හොයන්නේ. අවුරුදු 15ක් තිස්සේ හරියට මේ ක්‍රමය සිද්ධ වුණා නම් අවුරුදු 15ක් යන්නෑ මේ වගේ පරස්පරතා නිරාකරණය කරන්න. හැබැයි ඒක කරලා තිබුණේ නෑ.

    දැන් ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝකැලරි 6150ට වඩා වාර්තා වෙද්දී, ඩිස්චාර්ජ් පෝට් වාර්තාව අඩු වෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි උත්තරයක් හොයනවා.

    තුන්වැනි කාරණය තමයි මේක පටලවන්න යනවා. මුලින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට තහවුරු කරන්න. දෙවැන්න තත්ත්ව පරීක්ෂණය. තුන්වැන්න සැපයුම හරියට සහතික කරගන්න ඕනෑ.

    ගල් අඟුරු සැපයුම් ක්‍රියාවලියේ GCV එක, අලු ප්‍රමාණය, සල්ෆර් ප්‍රමාණය ආදී පිරිවිතරයන්ගේ වෙනසක් විය හැකිව තිබෙන නිසා එයට යම් අය කර ගැනීමක් කරන්නයි කොන්දේසිවලින් දඩ පැනවීමක් කළේ. අපි කළේ පිරිවිතරයන්ගේ වෙනස්කම් තියෙන නිසා ඩොලර් මිලියන 17ක දඩ ගැසීමට කටයුතු කරලා තියෙනවා. අපි පාඩුව අය කර ගන්නවා.

    ජනතාවට කියන්න කැමතියි මේ ප්‍රශ්නය නිසා කිසිදු ආකාරයක ජනතාව මත විදුලි බිල් වැඩිවීමක් සිදු වන්නේ නැත. එය කරන්නේ නෑ. දවස් කීපයකදී විදුලි බිල වැඩි කරන්න විදුලි බල මණ්ඩලය වැඩ පටන් ගත්තේ දෙසැම්බර් මැද. වාර්තාව ඉදිරිපත් කළේ පෙබරවාරි 13 වැනිදා.

    ගල් අඟුරුවලට යොදලා තියෙන මුදලට වඩා අඩු මුදලක් තමයි ජනනයට දාලා තියෙන්නේ. ගිය අවුරුද්දට වඩා අඩුවෙන් තමයි දෙවැනි කාර්තුවට ගල් අඟුරු ජනන වියදම අඩු කරලා තියෙන්නේ. ඒ මත තමයි විදුලි බිල මේ ගාණට වැඩි කරන්න වුවමනා බව කීවේ. ඩොලර් මිලියන 15ක් අපි රඳවාගෙන ඉන්නවා ගල් අඟුරුවල තාප ජනනය වීම නිසා සිදුවන පාඩුව ජනතාව මත පටවන්නේ නැතිව සමාගම මත පටවන්න අපි කටයුතු කරනවා. ගෙව්වේ නැත්නම් අධිකරණයට යෑමට හෝ උත්සාහ කරනවා. පාඩුව ජනතාව මත පටවන්නේ නෑ. අධිකරණයට යන්නේත් නෑ.

    දූෂිත සිස්ටම් එකක් නිවැරදි තැනක පිහිටුවන්න යනකොට, ප්‍රසම්පාදනය හරියට කරනකොට, තත්ත්ව පරීක්ෂණය හරියට කරනකොට තේරුම් ගන්න පුළුවන් කැබිනට් මණ්ඩලයෙන් තමන්ට ඕනෑ සමාගමකට දුන්න හැටි. ඩොලර් දෙසීය ගණනකට ගල් අඟුරු ගත්ත කාල තිබුණා. අපි මේක ප්‍රසම්පාදනයෙන් හරියට කරනවා. තමුන්නාන්සේලා කලින් ගත්ත සමාගම්වලට එතකොට අවස්ථාව ලැබෙන්න පුළුවන්. අපි තත්ත්ව පරීක්ෂාව හරියට කරනවා. අපි කිසිසේත්ම තමුන්නාන්සේලා බලාපොරොත්තු වන ආකාරයට විදුලිය කපන්නේ නෑ. සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ විදුලිය අඛණ්ඩව සපයනවා.

    උපුටා ගැනීම – වට්නිවුස්

  • IMF වාරික දෙකම එකවර දෙන්න එකඟ වෙයි

    IMF වාරික දෙකම එකවර දෙන්න එකඟ වෙයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කළ බවත්, ඒ අනුව ඉදිරි කටයුතු සදහා ශ්‍රී ලංකා බලධාරීන් සහ IMF නිලධාරීන් අතර එකඟතාවයකට පැමිණ ඇති බව එම අරමුදල නිවේදනය කළේය.

    ඒ අනුව ශ්‍රී ලංකාවට ගිය වසරේ අග ලැබීමට නියමිතව තිබුණු වාරිකය සහ මෙවර වාරිකය යන දෙකම ඒකාබද්ධව ලබාගැනීමට මූලික එකගතාව ඇත. එහෙත් එය ලැබෙනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් විධායක මණ්ඩලය එය අනුමත කිරීමෙන් පසුය.

    IMF සිය නිවේදනය මගින් පැහැදිලිවම පවසා ඇත්තේ විධායක මණ්ඩල අනුමැතිය ලැබීම “ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කිරීම” (Cost-recovery pricing) මත රඳා පවතින බවයි.

    නමුත් ආණ්ඩුව දැනට තෙල් සඳහා සහන පැකේජයක් දීමට යෝජනා කර තිබේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ ගැටීමක් ඇති කරවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්තමානයේ බරපතල බාහිර හා අභ්‍යන්තර අවදානම් රැසකට මුහුණ දෙමින් සිටී. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථානවලට බාධා පැමිණීම මෙරට ආර්ථික ස්ථාවරත්වයට සෘජු තර්ජනයක් වී ඇත. මීට අමතරව, ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව නිසා ඇති වූ යටිතල පහසුකම් හානිය සහ ඒ වෙනුවෙන් දැරීමට සිදුවන අමතර වැයපස ආර්ථික ප්‍රකෘතිමත් වීමේ වේගය අඩාල කළ හැකි බවත්, මෙවැනි අනපේක්ෂිත කම්පන හමුවේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව වහා ශක්තිමත් කළ යුතු බවත් එම නිවේදනය අවධාරණය කරයි.

    එමෙන්ම, ශ්‍රම වෙළඳපොළ පවතින දැඩි නීති ලිහිල් කරමින් කම්කරු නීති නවීකරණය කිරීමට මෙහිදීද එකග වී තිබීම විශේෂයෙන් පෙන්වාදිය යුතුය.

    රාජ්‍ය වියදම් සීමා කිරීමටත් ගන්නා උත්සාහයන් වැඩකරන ජනතාවගේ රැකියා සුරක්ෂිතතාවය සහ වරප්‍රසාද කෙරෙහි බලපෑම් එල්ල කළ හැකිය. මෙම ප්‍රතිසංස්කරණ හමුවේ අසමාන ලෙස පීඩාවට පත්වන දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජයේ සමාජ ආරක්ෂණ ජාලයන් වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බව IMF නිවේදනයේ සඳහන් වේ.

    බොහෝ පිරිසක් පවසා සිටියේ පවතින යුධමය තත්ත්වය හමුවේ ලෝකයම මුහුණ දෙමින් සිටින තත්වය සැලකිල්ලට ගනිමින් IMF කොන්දේසි සහ ණය කොන්දේසි වෙනස් කිරීම කෙරෙහි ආණ්ඩුව උනන්දු විය යුතු බවයි. නමුත් ඒ වෙනුවට ණය වාරික දෙකක් එකවර ලබාගැනීමට පමණක් ආණ්ඩුව එකඟ වී තිබේ.

  • ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නීති විරෝධීයි – පුබුදු ජයගොඩ

    ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නීති විරෝධීයි – පුබුදු ජයගොඩ

    ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නීති විරෝධී බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ,

    ”2026/26 වර්ෂ සඳහා ගල් අඟුරු සැපයීමට ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගමට ලබාදුන් ගල් අඟුරු නැව් 25ක දිගුකාලීන ටෙන්ඩරය මෙන්ම, එය ගල් අඟුරු සැපයීමට අසමත් වන විට තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ලබාදුන් ගල් අඟුරු නැව් 5ක හදිසි ස්ථානීය ටෙන්ඩරය යන ටෙන්ඩර් ගිවිසුම් දෙකම නීති විරෝධීයි. 2026 අප්‍රේල් 02 නිකුත් වූ ජාතික විගණන කාර්‍යාලයේ වාර්තාවෙන්ද තහවුරු කර ඇති ආකාරයට ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගමට ටෙන්ඩරය ලබාදී ඇති ආකාරය අනීතිකයි. නීතියට අනුව ලංසු ලේඛන යැවිය යුත්තේ ලියාපදිංචි සමාගම් වලට පමණයි. මේ සමාගම ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ලබාදී ඇත්තේ 2025 අගෝස්තු 19 වැනිදා. ඔවුන් ලියාපදිංචි ගාස්තු ගෙවා රිසිට්පතක් ගෙන තිබෙන්නේ අගෝස්තු 22 වැනිදා. නමුත් අගෝස්තු 18 වැනිදා ඔවුන්ට විද්‍යුත් තැපෑලෙන් ලංසු ලේඛන යවා තිබෙනවා. එය නීති විරෝධීයි. ඒ වගේම මේ ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම සමග ටෙන්ඩර් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2025 නොවැම්බර් 19 වැනිදා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ගිවිසුම සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේ ඊට පසුදින, නොවැම්බර් 20 වැනිදා. නීතිපති අනුමැතියක් නොමැතිව අත්සන් කළ ගිවිසුමක නෛතික වලංගුතාවයක් නෑ. එය ශුන්‍ය වෙනවා. මේ හේතුව නිසා අදාළ සමාගම දඩ ගෙවීම පවා මගහැරීමේ ඉඩක් තිබෙනවා.

    ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණය නිසි කලට ලබාදීමට අසමත්වීම නිසා 2026 මාර්තු 19 වැනිදා තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ගල් අඟුරු නැව් 5ක, මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක හදිසි ස්ථානීය ටෙන්ඩරයක් ලබා දුන්නා. විගණන වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති ආකාරයට එම ටෙන්ඩරය සඳහා ලියාපදිංචි වීමටවත් එම සමාගම අවම සුදුසුකම් සපුරා නැහැ. කිලෝග්‍රෑමයකට කිලෝකැලරි 5900ට වැඩි තාපජනක ධාරිතාවයෙන් යුතු ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක්වත් ගෙවුණු මාස 36 තුළ වෙළඳාම් කර අත්දැකීමක් තිබීම මූලික නිර්නායකයක්. නමුත් එම සමාගම එම ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු බිඳක්වත් ගෙවුණු මාස 36 තුළ විකුණා නෑ. ඒ නිසා තරන්ජොට් සමාගමේ ලියාපදිංචිය අනීතිකයි. ඒ නිසාම එම සමාගමට දුන් හදිසි ටෙන්ඩරයත් නීතිවිරෝධීයි. මෙම අනීතික ගනුදෙනුව පසුපස තරන්ජොට් සමාගමේ දේශීය නියෝජිතයා වන හේලීස් සමාගම සහ එහි හිමිකරු වන ධම්මික පෙරේරා සිටිනවාද යන ප්‍රශ්නය තිබෙනවා. මෙම ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නෛතික වශයෙන් අවලංගු බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා, මෙහි පාඩුව විදුලි ගාස්තුවට එකතු කිරීමට එරෙහි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි කාලයේදී අධිකරණය හමුවට යනවා”

  • අවුරුදු කෑම මේසයේ මිල වැඩිවෙලා

    අවුරුදු කෑම මේසයේ මිල වැඩිවෙලා

    සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සම්ප්‍රදායික අවුරුදු කැවිලි මේසයේ මිල පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට හතකින් ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර තිබේ. ප්‍රධාන වශයෙන් මිල ඉහළ යාමට බලපා ඇත්තේ පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාමයි.

    පසුගිය වසරේදී අවුරුදු කැවිලි මේසය සඳහා පවුලකට රුපියල් 5,414 ක් වැයවී ඇති බවත් එය මෙම වසරේදී රුපියල් 5,795 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතනය පවසයි.

    අවුරුදු කැවිලි පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉහළ ගොස් තිබීම එයට හේතුව බවද එම ආයතනය පවසා තිබේ. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයට පෙර 2019 වසරේදී කැවිලි මේසයක් සඳහා වියදම් වූ මුදලට සාපේක්ෂව මෙම වසරේ කැවිලි මේසයක් සඳහා වියදම් කළ යුතු මුදල 2.5 ගුණයකින් වැඩිවී ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

    කැවිලි වර්ග අටෙන් හයකම මිල මෙම වසරේ ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය පවසා තිබේ.

    පසුගිය සමයේ සිදුවූ තෙල් මිල වැඩිවීම, ගෑස් මිල වැඩිවීම හමුවේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතියි. අලුත් අවුරුදු සාමය වන මේ මොහොතේ ජනතාව තවත් කබලෙන් ලිපට වැටීමට නියමිතය.

  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසයි

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසයි

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2026 අප්‍රේල් 07 වන දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව නෛතික අවශ්‍යතා අනුව මාස හතරකට වරක් පාර්ලිමේන්තුවේ පෙනි සිටිය යුතු අතර ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

    ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද මෙම රැස්වීමට සහභාගී වූහ.

    NDB බැංකුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ මෙහිදී කාරක සභාවේ අවධානය යොමුවිය. මෙම ගැටලුවේ බරපතලකම සහ මේ සඳහා කඩිනමින් කාරක සභාවේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් දැනට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා කාරක සභාවට දැනුම් දුන්නේය. අවශ්‍ය තොරතුරු රැස් කළ පසු හැකි ඉක්මනින් මහ බැංකුව, කාරක සභාවට මේ සම්බන්ධව වාර්තා කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

    මෙම සිදුවීමට සම්බන්ධ බැංකුවේ ආයතනික පාලනයේ සැලකිය යුතු අඩුපාඩු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තු මගින් සිදුකළ යුතු අධීක්ෂණයේ අඩුපාඩු සහ තොරතුරු වාර්තා කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව කාරක සභාවට නිරීක්ෂණය වූ අතර ඒ පිළිබඳව කාරක සභාවේ දැඩි අවධානය යොමු විය.

    එවැනි අඩුපාඩු පිළිගත නොහැකි බව කාරක සභාව අවධාරණය කළ අතර එම තත්ත්වයන් වහාම නිවැරදි කිරීමට පියවර ගත යුතු බවට උපදෙස් ලබාදීම සිදුවිය. මෙම කාරණය සමීපව නිරීක්ෂණය කිරීම අඛණ්ඩව සිදුකරන බවත්, පූර්ණ වගවීම, විනිවිදභාවය සහ මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සහ සහතික කිරීම සඳහා අධීක්ෂණ කටයුතු සිදුකරන බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.