නකල්ස් රක්ෂිතය හරහා දිවෙන පැරණි මාර්ගයක් නැවත සංවර්ධනය කර විවෘත කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. මේ සඳහා මැදිහත්වෙමින් සිටින්නේ ලාල් කාන්තා ඇමතිවරයායි.
කෙසේවෙතත් අද (12) හවස්වනවිට වාර්තා වුවේ එම සැලසුම මතුවූ විරෝධය හමුවේ හකුලාගෙන ඇති බවයි.
ලාල් කාන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා විද්‍යාත්මක හා ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.
ඇමතිවරයා පවසන්නේ ලෝක උරුම තත්ත්වය ආරක්ෂා කිරීමට වඩා හදිසි මානුෂීය අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දියයුතු බවයි.
සුළි කුණාටු නිසා හානි වූ මීමුරේ වෙත ළඟා වීම අතිශයින් අභියෝගාත්මක කාරණයක් වී ඇති බව අවධාරණය කරන ඇමතිවරයා පවසන්නේ “ලෝක උරුම අඩවියක් හරහා මීමුරේ ජනතාව වෙත ළඟා වීමට අපට බල කෙරීලා තියෙනවා. එසේ නොමැතිනම්, අපට තවත් මාස එකහමාරක් ආහාර සැපයුම් ලබා දීමට හැකිවෙන්නේ නැහැ ”
යෝජිත මාර්ගය දේශීය ගම්වැසියන් විසින් ඓතිහාසිකව භාවිතා කරන ලද පැරණි මාර්ගයක් බව ඔහු පවසයි.
කෙසේවෙතත් කඩා වැටුණු මාර්ග පද්ධතිය වෙනුවට කාලයක් තිස්සේ පරිසරවේදීහු සිය විරෝධය දැක්වූ මාර්ගයක් ආපදාවට මුවා වී සංවර්ධනය කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රිවරු කිහිපදෙනකු මැදිහත් වී ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ව්‍යාපාරයේ සජීව චාමිකර ‘ඉරිදා මව්බිම’ට පවසා තිබේ. නකල්ස් ලෝක උරුම වනාන්තරය තුළ පිහිටි තංගප්පුව සිට අට්ටලමේප්පුව, කෝබට්ස්ගැප් දක්වා විහිදී ඇති කිලෝමීටර 8 ක් පමණ දිගින් යුතු මාර්ගයක් මේ අයුරින් ආපදාවලට මුවා වී සංවර්ධනය කිරීමට කටයුතු කොට ඇතැයි ඔහු චෝදනා කරයි. මේ මාර්ගය ඉතාම සංවේදී කඳුකර වනාන්තර පද්ධතිය තුළින් විහිදී ඇති වන මංපෙතකි. එය කාපට් අතුරා සකස් කිරීමට මේ දිනවල කටයුතු කෙරෙන බවට ඔහු චෝදනා කර තිබේ.
” කොබර්ට්ස් ගැප් පාර පහුගිය පෝය දවස වෙද්දි කපන්න පටන් අරන්. යුද හමුදාව ලවා තමා මේ පාර කපන්න පටන් අරගෙන තියෙන්නේ. මේක තමා අපි දිගටම කියන ‘පශ්චාත් ආපදා ධනවාදය’. මේ වගේ ආපදා මොහොතක් පාවිච්චි කරලා සමාජ විරෝධය යටපත් කරලා එයාලට අවශ්‍ය දේවල් කර ගන්නවා. මේ පාර කපන්න දිගින් දිගටම ඉල්ලීම් කරේ ඔය පළාතේ ඉන්න හෝටල් හිමිකරුවන්ගේ කණ්ඩායම. දැන් ඒ අය සමිතියකුත් හදාගෙන. ඊට අමතරව සෆාරි ජීප් රථ හිමිකරුවොත් මේ වැඩේ ඉන්නවා. මේ අය එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න හදන්නේ. දේශපාලනඥයොත් මේකට පොඩි පොඩි සම්බන්ධතා තියෙනවා. හැබැයි ඊට වැඩිය හෝටල් සහ සෆාරි ජීප් රථ හිමිකරුවන්ට තමා මේ වැඩේ කරන්න
වුවමනාව තියෙන්නේ. තන්ගප්පුවේ ඉඳලා අට්ටලමේප්පුව දක්වා තියෙන කිලෝ මීටර් අටක විතර කොටසේ තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති එල්.ආර්.සී. ඉඩම් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. 2004 කැබිනට් අනුමැතියකට අනුව ඒ ඉඩම් තමා නකල්ස් රක්ෂිතයට පවරන්න යෝජනා වුණේ. ඒ ඉඩම් ටික බෙදා ගැනීම සහ ඒවා හෝටල්වලට පවරා ගැනීමේ පරමාර්ථය තමයි මේ පාර කපන්න පළමුවැනි හේතුව. එතන හෝටල් ගණනාවකට අදාළ කරන ඉඩම් ගණනාවක් රජයට පවරා ගැනීම නතර කරන්න. තමා මේ අය සූදානම් වෙන්නේ. පහුගිය දවස්වල මේ පාර කපන්න ගියාම ලොකු බලපෑමක් කළ නිසා නතර වුණා. දැන් මේ ආපදා තත්ත්වය පාවිච්චි කරලා ඒ අයගේ අරමුණට යන්න හමුදාව සහ ප්‍රාදේශීය ලේකම් එකතු කරගෙන වැඩේ කරනවා.
ඔය පාර කපන්නේ එහා පැත්තට තියෙන සම්බන්ධතා ගොඩනඟා ගන්න කියලයි මේ වෙලේ කියන්නේ. ඒත් ඒක සම්පූර්ණ බොරු කතාවක්. එහෙම කතන්දරයක් නෙවේ මේක. එක පැත්තකින් එල්. ආර්.සී ඉඩම් ටික බෙදා ගන්නයි මේ දඟලන්නේ. අනිත් පැත්තෙන් එයාලගේ සංචාරක ව්‍යාපෘති ගොඩ දා ගන්න. තවත් පැත්තකින් ඒ හෝටල්වලට අයිති එල්.ආර්.සී. ඉඩම් යළි පවරා ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කරන එකත් මේක පිටිපස්සේ තියෙනවා. ” යැයි ඔහු පැවැසීය.
අධි සංවේදී පරිසර කලාපයක පිහිටි කාලයක් තිස්සේ අතහැර දැමූ මේ මාර්ගය ගැන පසුගිය ආණ්ඩු සමයවල මෙන් මාලිමා ආණ්ඩුවද බලයට පත්වූ පසු කතාබහක් දිග හැරිණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් නොමැතිව මේ මාර්ගය සංවර්ධනය කිරීමට දිගින් දිගටම උත්සාහ දැරූ බවට චෝදනා නැඟිණි. පසුගිය වකවානුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එහි ගොස් එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මැනුම් කටයුතු පවා සිදු කර ඇති බවට පරිසරවේදීහු චෝදනා නැඟූහ.
යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නකල්ස් රක්ෂිතය නම් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ පයින් ඇවිද ගොස් එය නැරැඹීම ඇතුළු සංචාරක කටයුතුවල නිරත වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිසි අවසරය ලබා දී ඇති පසුබිමක එය කාපට් ඇතිරූ මාර්ගයක් දක්වා සංවර්ධනය කරනුයේ හෝටල් හිමියන් සහ සෆාරි ජීප් රථ අයිතිකරුවන් කිහිපදෙනකුගේ පටු අරමුණක් මත බවටද ඔවුහු චෝදනා කළහ.
නකල්ස් සංචාරක කවය සහ නකල්ස් සෆාරි ජීප් හිමිකරුවන් කිහිපදෙනකු එක්ව වත්මන් ආණ්ඩුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනකුගේද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී නකල්ස් සංරක්ෂණ වනාන්තරය එසේත් නොමැති නම් නකල්ස් ලෝක උරුම වනාන්තරය තුළ පිහිටි තංගප්පුව සිට අට්ටලමෙට්ටුව, කෝබට්ස්ගැප් දක්වා විහිදී ඇති කිලෝමීටර 8ක් පමණ දිගින් යුතු ඉතාම සංවේදී කඳුකර වනාන්තර පද්ධතිය තුළින් විහිදී ඇති වනමංපෙත කාපට් අතුරා සකස් කිරීමට සහ සෆාරි ජීප් රථ ධාවනය කිරීම සඳහා අනුමැතිය ලබා ගෙන ඇති බව මින් පෙරද පැවැසිණි.
හෙක්ටයාර 21,000ක් පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති සමස්ත දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 0.32ක් පමණ ආවරණය වී ඇත.
නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය.
ඒ හේතුවෙන්ම 2010 වසරේදී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කළේ ලෝකයේ ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ සම්මුතිය යටතේය. ස්වාභාවික හා සංස්කෘතික උරුම ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කර ඇති තැන් ආරක්ෂා කිරීම මුළුමහත් සමාජයේම වගකීමකි…..






