Breaking News

පරණ හොරු ටිකම මුළු රටම හරි මඟට ගන්න ඇවිත්

මුළු රටම හරි මඟට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක් අටවාගත් සන්ධානයක් මගින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කඩිනමින් ගතයුතු පියවර ඇතුලත් යෝජනාවලියක් අද අප හමුවට ගෙනවිත් තිබ්බා. මෛත්‍රිපාල සිරිසේන, විමල් විරවංශ , අතුරලිය රතන, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සහ ආණ්ඩුව නිර්මාණය කිරීමට ප්‍රධාන දායකත්වය සැපයූ පිරිස් මේ වුලේ ප්‍රධාන කොටස් කරුවන් බවට පත් වී සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ ද අතුරැලියේ රතන කියනවා මින් ඉදිරියට රටේ තීරණ ගන්නේ අපි මිසක් ඔහු එයින් අදහස් කරන්නේ ජනතාව මිසක් පාලකයන් නොවන බව.

උදේ ගම්මන්පිල අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මේ යන විදිහට ගියොත් ජනතාව කැරලි ගහන එක වළක්වන්න කාටවත් බැරි වෙන බවයි. ඉදිරියේදී අපි ගොඩනගන්නේ පුද්ගලයන් දිනවන ව්‍යාපාරයක් නෙවෙයි, පක්ෂ රජකරවන ව්‍යාපාරයක් නෙවෙයි, ව්බිම දිනවන ව්‍යාපාරයක් කියලා

විමල් වීරවංශ මුදල් ඇමති බැසිල් රාජපක්ෂට විරුද්ධව මෙහිදී අදහස් දක්වනු ලැබුවා. ඔහු ලෝකේ කොහෙවත් ම දැකලා නැහැල්ලු මුදල් ඇමති කෙනෙක් කලු සල්ලි ජාවාරම ප්‍රවර්ධනය කරනවා. මේ වෙලාවේ කළු සල්ලි මාකට් එක ප්‍රවර්ධනය කිරීම නොව එය දුර්වල කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව තමයි විමල් වීරවංශ කියන්නේ. එහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ මුදල් ඇමතිවරයා සමහර විට රටේ ආර්ථිකයට කෙළවෙන්න ඉඩ හැරලා බලාගෙන ඉන්නවා ද කියන සැකය මතු වෙන බවත් ප්‍රකාශ කරනවා. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ රට එක්ක බවත් ඔවුන්ව විවේචනය කරන විමල් වීරවංශට ද්විත්ව පුරවැසි භාවයක් නොමැති බව එහි දී ඔහු කියා සිටියා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති කියනවා ආණ්ඩුව කඩිනමින් අහාර සංග්‍රාමයක් පටන් ගත යුතුයි කියලා . මහා මාර්ග අධිවේගී මාර්ග ඉදිකිරීම නවත්වා සල්ලි ඉතුරු කරගෙන ප්‍රමුක ප්‍රශ්න විසඳන්න ඕන කියලා තමයි හිටපු ජනාධිපතිවරයා කියන්නේ. මුළු රටම හරි මඟට ගන්න නිර්මාණය කරපු සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ව මේ විදිහට ඒකරාශී වෙන තැනට කටයුතු කළේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරනවා.

මෙම රැස්වීමේ දී අදහස් දැක්වූ කථිකයන්ගේ ප්‍රධාන විරෝධය වක්‍රව එල්ල වුණේ රාජපක්ෂ පවුලටයි. පවතින ගැටළුවලට ජනාධිපතිවරයා ගේ සිට මුදල් ඇමතිවරයා දක්වා රාජපක්ෂවරුන්ගේ උද්දච්ච කම බලපා ඇති බව ඔවුන් සියලු දෙනාම කියන්නට උත්සාහ දැරුවා.

ලංකාව නැමැති මේ දූපත් රාජ්‍ය අප දන්න ඉතිහාසය තුළ බලය හොබවනු ලැබුවේ විවිධ නම්වලින් පක්ෂ අටවාගත් අදත් අප දකින මේ මුහුණු සමූහය පමණයි. මොවුන් විටින් විට සිටින තැන මාරු කරමින් විටින් විට තමන් ගැතිකම් කරන පුද්ගලයව ඉහලට ඔසවමින් ඒ හරහා ජනතාව රැවටීමට සහ ඇන්දවීමට කටයුතු කරනු ලැබුවා. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරලිය, ගෝඨාභයව දේශපාලන කරලියට අරගෙන ආවේ රට ගොඩ ගන්න තිබෙන අවසන් අවස්ථාව මේ බව පවසමින්. ගෝඨාභය ජනාධිපති කරන්න ඉන් පසුව රට සුරපුරයක් වෙයි කියලා ජනතාවට බේගල් ඇද බාලයි. කොරෝනා වසංගතය මුළු ලෝකෙම වෙලාගෙන තිබෙන මොහොතේ ලංකාව තරම් ආර්ථික වශයෙන් කඩා වැටුණු වෙන කිසිම රටක් නැහැ. ඒ හෙයින් කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය බිඳ වැටුණා යැයි කියන මිථ්‍යාව ඒත්තු ගන්වන්නට හැකියාවක් නැහැ.

මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද?
මේ සිදුවෙමින් තිබෙන්නේ ආසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක ප්‍රතිඵල භුක්ති විඳීමයි. බිඳවැටී තිබෙන මේ ආර්ථිකයේ වග උත්තරකරුවන් ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ හෝ පමණක් නොවෙයි විමල් වීරවංශලා, මෛත්‍රිපාල සිරිසේනල, රතනලා, ඇතුළු මෙතෙක් කල් මේ රට පාලනය කරපු සියලු දෙනා වග උත්තරකරුවන් වෙනවා.

මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?
මේ සිදුවෙමින් පවතින්නේ ගිලෙන නැවෙන් මීයන් එළියට පැනීමයි. වරද අනෙකා පිට පටවා තමන් නිවැරදි බව ජනතාවට ඒත්තු ගන්වමින් ඉදිරි මැතිවරණයකට අවශ්‍ය කරන වෙනත් සන්ධානයක් නිර්මාණය කරගන්නට තබන මුල් පියවරකි. ආණ්ඩුවේ සිට ආණ්ඩුව විවේචනය කලාට සුජාත වන්නේ නැහැ.

මේ රට ආර්ථික වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් සමාජීය වශයෙන් මේ අශුද්ධ හවුල් ව්‍යාපාරවලට තවදුරටත් ගොඩ ගැනීමට හැකියාවක් නොමැති බව අපි වටහා ගත යුතුයි. අද දවසේ මෙසේ සන්ධානගත වී සිටින මේ කණ්ඩායමට මුළු රටම හරි මඟ ට ගන්නට හැකියාවක් නොමැති බව අපි වටහා ගත යුතුයි.

මේ ගොඩනැගුණේ ජනතාව තවදුරටත් ප්‍රපාතයට ඇද වට්ටන්නට බලය හුවමාරු කරගන්න දඟලන අසාර්ථක ර්ථික සමාජ දේශපාලන ප්‍රතිපත්තිමය දැක්මක් සහිත කණ්ඩායමක්. ජනතාව මේ අනතුර කල්වේලා ඇතුව තේරුම් ගතහොත් මොවුන් හට නැවතත් රැවටීමට හසු නොවී සිටීමට හැක.

 

leave a reply