වන්දම-දෙමලිය වනාන්තර ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ ඉඩම් ජාවාරමට වැට බැඳීමට වර්තමාන ආණ්ඩුව හෝ සමත්වී ඇති බවක් පෙනෙන්නට නැත.
ඒ වෙනුවට කඩවරවැව ප්‍රදේශයේ වනාන්තර ඉඩක් අක්කර 250 ක් පමණ අලුතෙන් බෙදා දීමට ප්‍රදේශයේ ආණ්ඩු පක්ශ මන්ත්‍රීවරියක් කටයුතු කරමින් සිටින බවද දැනගන්න ලැබේ.
ඒ අතර මොනරාගල දිස්ත්‍රික් ආණ්ඩු පක්ශ දේශපාලකයින්ගේ හිතුමතේ දෙමෝදර සිට හඳපානාගල දක්වා අලි මංකඩක් නිර්මාණය කිරීමට ඇති ප්‍රයත්නයක් පිළිබඳවද අසන්නට ලැබේ. නමුත් ඒ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති සිතියම ප්‍රකාරව නොවන බව ඇතැම් පරිසරවේදීහු චෝදනා කරති.
නමුත් වන්දම-දෙමලියට අවශ්‍ය වන්නේ වන අලි කළමනාකරණ රක්ෂිතයක් විනා කිසිදු ආකාරයක අලි කොරිඩෝවක් නොවේ. වන අලින්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් ජීවිත කාලය පුරාම ජීවත් වන්නේ ඔවුන්ටම ආවේණික වාසභූමියක් තුල බවය. එයින් පිටතට ඔවුන් රැගෙන යාමට දරන උත්සාහයන් සියල්ලක්ම පාහේ අසාර්ථකවී ඇති අතර සාර්ථක ලෙස ඔවුන්ගේ වාසභූමි වලින් වෙනත් ප්‍රදේශ වලට, බොහෝ විට වනජීවී රක්ෂිත, පලවාහැරුනු අලි ඇතුන්ගේ ජීවිත කෙළවරවූයේ ඛේදවාචකයන්ගෙනි.
අලි ඇතුන්ගේ වාසභූමි අහිමිකර කොරිඩෝවක් ලබා දීම, මිනිසුන්ට තම නිවාස අහිමිකර කාපට් පාරක් ලබාදීම වැනිය. නමුත් මෙහිදී මිනිසුන්ට වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට හෝ හැකියාවක් ඇත. අලි ඇතුන් එසේ නව ප්‍රදේශයකට සම්පූර්ණ වශයෙන් සංක්‍රමණය වන බවට විද්‍යාත්මකව අනාවරණයවී නැත. ඊට යම්කිසි පරිසර පද්ධතියක ඉසිලුම් ධාරිතාවය බලපායි. උදාහරණයක් වශයෙන් ජලය පිරවූ බඳුනකට තවත් ජලය එක් කිරීමට හැකියාවක් නොවන්නා සේය. ඒ වෙනුවට අලි ඇතුන්ට තෝරා ගැනීමට ඇත්තේ එකම විකල්පයකි. එනම් කුසගින්නේ දුක් විඳ මරණයට පත්වීම පමණි.
සුපුන් ලහිරු ප්‍රකාශ්






