හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශේෂ තෝරාගැනීමක් යටතේ ජනාධිපති සමාව ලබාදීමට විරෝධය පළකරමින් මරණ දඩුවම නියම වී මහර සහ බෝගම්බර බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බවය. ඔවුන් විසින් තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටින බව වාර්තා වේ.
අද(24) පොසොන් පෝය දිනයේ සිරකරුවන්ට සමාව දෙන පදනම යටතේ මරණීය දණ්ඩනයට නියම කළ සිරකරුවකු වූ දුමින්ද සිල්වා වෙත විශේෂ සමාවක් ලබාදීමේ නෛතික පදනම කුමක්දැයි ශ්‍රී ලංකාවේ නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන් කරුණු විමසීමක් කර ඇත.
මෙම ලිපියේ සඳහන් ආකාරයට, නීතිවිරෝධී රංචු ගැසීම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ සහ විශේෂ මහාධිකරණයක් විසින් වැරදිකරු කිරීමෙන් මරණ දණ්ඩනයට නියම වී සිටි සහ එවකට අගවිනිසුරු ගරු. ප්‍රියසාත් ඩෙප් ඇතුළු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඬුල්ලකින් එකී තීන්දුව තහවුරු කිරීමෙන් මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව පිළිබඳව නීතිඥ සංගමයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, මෙම ජනාධිපති සමාව සම්බන්ධ පහත කරුණු නීතිඥ සංගමයට හා ජනතාවට පැහැදිලි කිරීමක් කරන ලෙස නීතිඥ සංගමයේ විධායක සභාව එකී ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
එනම්,
(1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාව යටතේ සමාව ලබා දීම සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම ;
(2) එවැනි සමාව ලබා දීමේදී සැලකිල්ලට ගත් තත්වයන්;
(ඇ) දැනට මරණ දඬුවම් නියම කර ඇති පිරිසක් අතුරින් දුමින්ද සිල්වා වෙන් කොට තෝරා ගැනීමට හේතු;
(3) දුමින්ද සිල්වාට සමාව දීමට පෙර 34 (1) වන වගන්තියේ විධිවිධාන මගින් නියම කර ඇති පරිදි දණ්ඩනය නියම කළ නඩු විභාගයේ විනිසුරුවන්ගෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් වාර්තාවක් කැඳවනු ලැබුවාද සහ එසේ නම් වාර්තාවේ අන්තර්ගතය.
(4) දුමින්ද සිල්වාට සමාව ලබා දීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටියේද සහ එසේ නම් එවැනි උපදෙස්වල අන්තර්ගතය
(5) දුමින්ද සිල්වාට සමාව දීමට පෙර අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ලබාගෙන තිබේද සහ එසේ නම් අධිකරණ අමාත්‍යවරයා එවැනි නිර්දේශයක් කළේද යන්න
ශ්‍රී ලංකාවේ නීතීඥ සංගමය මේ සම්බන්ධව ජනාධිපතිවරයා වෙත යැවු ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉහත සඳහන් කරුණු එකක් හෝ වැඩි ගණනක් වර්තමාන නඩුවේදී සෑහීමකට පත් නොවූයේ නම්, ලබා දී ඇති සමාව අසාධාරණ සහ අත්තනෝමතික වනු ඇති බවයි.
එසේම එවන් තත්වයකදී නීතියේ ආධිපත්‍ය මෙන්ම ජනතාව අතර අධිකරණය සම්බන්ධ විශ්වාසය පිරිහීම සිදුවන බවද නීතිඥ සංගමය විසින් අවධානයට ලක් කර ඇත.
ධනය බලය ඇති පුද්ගලයන්ට ජනාධිපති සමාව
පසුගිය කාලය පුරාම පත්වූ ජනාධිපතිවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය අවභාවිත කරමින් ධනය සහ බලය පදනම් කරගනිමින් බොහෝ අවස්ථාවන්හි දී දේශපාලන අවියක් ලෙස ජනාධිපති සමාව ලබාදෙනු දැකිය හැකිවිය. දුමින්ද සිල්වාට අමතරව පසුගිය සමයේ අධිකරණයට අපහාස කිරීම මත සිරගතව සිටි ඥානසාර හිමි, තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ජූඩ් ශ්‍රීමන්ත, දරුවන් තිදෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම හේතුවෙන් මරණ දණ්ඩනයට යටත් කර සිටි සුනිල් රත්නායක නමැති හමුදා සැරයන්වරයා මෑතකාලීනව ජනාධිපති සමාව ලබා නිදහස්වූවන් වේ.
සිරකරුවන් ද මනුෂ්‍යයෝ බව බන්ධනාගාර බිත්තියේ සටහන් කර තිබුනද මෙමෙ පුද්ගලයන් විශේෂ මනුෂ්‍යයන් ලෙස සැලකුම් ලබන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. තවත් උදාහරණයකින් කියනවා නම් දුමින්ද සිල්වා සමඟ එම සිදුවීම සම්බන්ධයෙන්ම වරදකරුවන් වී දඬුවම් නියමවූවන්ට සමාව ලැබන්නෙ නැත.