Breaking News

වාසිදායක කොන්දේසි යන මූලධර්මය මත පමණක් අරගල සිදුවූයේ නම් ලෝක ඉතිහාසය නිර්මාණය කිරීම ඉතා පහසු වනු ඇත.

කල්ප රාජපක්ෂ 

ශ්‍රී ලංකාවේ තවත් ජනාධිපතිවරණයක් අවසන් වීමට ආසන්න වී තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවන මනාපය ගණන් කිරීම දක්වා විහිදුණු ක්‍රියාවලිය අපට පෙන්වන්නේ පශ්චාත් අරගල කාල සිමාව තුළ අපේ සමාජයේ නිර්මාණය වී ඇති, සහ විශේෂයෙන්ම රනිල් රාජපක්ෂගේ නරුම දේශපාලන ව්‍යායාමයන් විසින් නිර්මාණය කර ඇති ගැඹුරු බෙදීම් වේ.

නිකුත් වී ඇති ප්‍රතිඵල වලින් ජාතික ජන බලවේගය 10% ක ප්‍රතිශතයකින් සමගි ජන බලවේගයට වඩා ඉදිරියෙන් සිටී (මේ වනවිට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර දිසානායක මහතා පත් වී සිටී). එහි දේශපාලනික වීජ ගණිතයේ සමාජවිද්‍යාව තේරුම් ගැනීමේ වගකීම මේ සමාජය විමුක්තිකාමී පරිවර්තනයක් දෙසට රැගෙන යාමට අපේක්ෂා කරන සෑම සහෝදර සහෝදරියකගේම වගකීමකි. ඒ චන්දය වෙනුවෙන් ජනතාව ‘නිර්ප්‍රභූ’ සහ ‘දුෂණ විරෝධී’ අක්ෂය වටා මතවාදීමය වශයෙන් පෙළ ගැස්වීමට අදාලව වන තීරණාත්මක දේශපාලන ආඛ්‍යානයක් මෙතැනින් අවසන් වනු ඇති බැවිනි.

ධනවාදයේ දුර්වලතාව, නැතිනම් අවසංවර්ධිත ධනවාදී සමාජයක් වසර 70 ක් පුරා අසාර්ථක වන්නේ, ධනේශ්වර සංවර්ධන දර්ශක අත්පත් කර නොගන්නේ ‘පිරිසිදු ධනවාදයක්’ ස්ථාපනය කරගැනීමේ සහ එය හැසිරවීමේ බුද්ධිමය සහ ශිලපාධිපත්‍යවාදී පන්තියන් ස්ථාපනය කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට ‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’ හි පිළිතුරක් ඇත්ද? සාම්ප්‍රදායික පක්‍ෂ ආකෘතින් සහ ඒවායේ ප්‍රභූ-චරිතමය වල ප්‍රතික්ෂේප වීමක ප්‍රකාශනයක් මේ ප්‍රතිඵලය තුල අඩංගු වන බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකි වුවත්, දේශපාලනයේ ගැඹුරු පුනරුච්චාරණමය පන්ති-බල දේශපාලනය තුලනාත්මකව අධ්‍යයනය කරන්නෙකුට, “ප්‍රතික්ෂේප කළ දේ බවට එයම පත්වීමේ” අපෝහක ස්වභාවය බැහැර කළ නොහැක.

ජාතික ජන බලවේගය විසින් පුර්ව මැතිවරණ ක්‍රියාවලිය තුළ සන්ධාන සහ පන්ති සහයෝගිතාව නිර්මාණය කර ගත්තේ පක්ෂ සමග නොව ආර්ථිකට එහි ‘පත්ලෙන්ම’ හසුරුවන ප්‍රභූ ව්‍යාපාරික පන්තිය, රාජ්‍ය ව්‍යුහය හසුරුවන තාක්ෂණික සහ නිලධාරී තන්ත්‍රය, මතවාදීමය බලයක් සහිත බුද්ධිමය සහ තාක්ෂණවාදී පන්තිය සහ මහජාතික පැවැත්ම තහවුරු කරන ‘රණවිරු-පොලිස්’ ප්‍රජාවත් සමගය. මේ පිරිසට ප්‍රතිපත්තිත්, මහජනතාවට හැඟීමුත් රැගෙන යාම ජාජබ දේශපාලනයේ සමස්තයයි. එහි ප්‍රතිවිරෝධතා ඔවුන් මතත් සමස්ත සමාජය මතත් ක්‍රියාත්මක වීමට නියමිතය.

ජන අරගල සන්ධානය වශයෙන් මේ මැතිවරණ ක්‍රියාවලියට අපි රැගෙන ආවේ වෙනත් කිසිවක් නොව පීඩිත ජනතාවගේ පන්තියේ කතාවයි. නැත්නම් ඒ කතාව තත්වාරක්ෂකවාදී ලෙස මග හරිමින් සිටි දේශපාලන කඳවුරු තුනකට (හෝ හතරකට), අවම තරමේ, දේශපාලන ආර්ථිකයේ මග හැර යා නොහැකි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම සහ එහි ජනතා විරෝධී ස්වභාවයයි. IMF හැර වෙනත් විකල්පයක් නොමැති බව පුන පුනා කියන රනිල් රාජපක්ෂගේ දේශපාලනයත්, සජිත් ප්‍රේමදාසගේ, හර්ෂද සිල්වාගේ දේශපාලනය පමණක් නොව අපි IMF යනවා, යන්නේ නෑ සිට අලුත් IMF ගිවිසුමක් දක්වා ‘චංචල සිතින්’ දියාරු දේශපාලනයක් කළ ජාජබ දේශපාලනයත් නිශ්චිත තැන්වල පිහිටුවා පෙන්වීමට අපේ දේශපාලනය සමත් විය. එහි ඓතිහාසික වටිනාකම මේ සමාජයේ මිනිස්සු සහෝදරත්වයෙන් භාර ගනු ඇති බව අපේ බලාපොරොත්තුවයි.

එමෙන්ම, IMF ගිවිසුම සමග කවරෙකු හෝ ඉදිරියට යාමේ වාස්තවික අනතුරු අපි උවමනාවටත් වඩා පැහැදිළි කර ඇත. ඒවා ඊයේට වඩා බලවත් සහ එදිනෙද දේශපාලනයටත් අරගලයත් අදාලව හෙට ශක්තිමත්ව ඇසීමට නියමිතය. ශාස්ත්‍රීය සහ දේශපාලන තලයේ ඒ පණිවිඩය ජාතිකවත් ජාත්‍යන්තරවත් ඉදිරියට ගෙන යෑමේ කිසිදු පැකිලීමක් අපට නැත.

පුද්ගලිකව, IMF ක්‍රියාන්විතය ගැන මේ සමාජයට පළමු අනතුරු ඇඟවීමේ කතාව මා කරන්නේ 2022 අප්‍රේල් මාසයේ යම් දිනක ගෝල්ෆේස් අරගල භූමියේදී ය. 2024 සැප්තැම්බර් 18 වන දා දක්වා, ජන අරගල වේදිකාවේ අවසන් රැලිය දක්වා, ඒ පණිවිඩයේ ජීව ගුණයත්, විද්‍යාත්මකබවත්, පන්ති දේශපාලනයත් ආරක්ෂා අපි උත්සහ කළෙමු. IMF නැත්නම් මොකක්ද විකල්පය? යන්න වෙනදා අහන දක්ෂිණාංශික දේශපාලනයට මෙන්ම ‘නව-වාම දේශපාලනයටත්’ අපි මුහුණ දුන්නෙමු, විවිධ තලයන් හිදී සම්මුඛ වූයෙමු. IMF ගැන පොදු මහජනතාව අහන ප්‍රශ්න වලට අපි සිංහලෙන්, දෙමලෙන් සහ ඉංග්‍රීසියෙන් පිළිතුරු දීමට උත්සහ කළෙමු. ඔවුන්ම දැනුමෙන් සංවිධානය කළේ ‘ජනතාවට සියල්ල කියලා බෑ’ කියන ප්‍රතිපත්තිය මත නොව ‘ජනතාවට සියල්ල කිව යුතුයි’ යන ආස්ථානය මතයි.

ජාතික ප්‍රශ්නය පිළිබඳව අපි, ව්‍යාජ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය ජනතාවාදී විසඳුමක් යෝජනා කළෙමු. ජාතින් පිළිබදව ප්‍රශ්නයේ සාම්ප්‍රදායික සීමා මායිම් වෙනුවට එහි සත්‍ය සමකාලීන තත්ත්වය සහ කොන්දේසි දේශපාලන සංවාදයට ගෙන ආවෙමු. මේ කුඩා රටේ පිඩිතම මිනිස්සු වෙසෙන ප්‍රදේශ වල චන්ද ප්‍රතිශතයන් ‘නුගත්කමේ සහ වර්ගවාදයේ’ චන්ද ලෙස වරනැගෙන මෙවැනි මොහොතක හැරෙන්නට ජන අරගල සන්ධානයේ දේශපාලනය අදාළ වන්නේ කුමන තත්වයක්ටදැයි යන පැනය අපි හෙටට ඉතිරි කරමු! අරගලයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමය සහ විනාශකාරී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්ථාවක් ගැන අපි ජනතාවගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විද්‍යාත්මක ප්‍රතිපත්ති ඉදිරිපත් කළෙමු. එය සමාජවාදය දෙසට වූ ගමනක් බව අපි නිවැරදිව සටහන් කර තැබුවෙමු.

ඔබ අපගේ ප්‍රතිපත්ති ගැන විස්වාසයෙන් චන්ද 11191 ලබා දී ඇත. එය අපි වගකීමෙනුත් සහෝදරත්වයෙනුත් බාර ගනිමු. රැලි සහ සුළි අතර එහි දේශපාලන බර අප විසින් තේරුම් ගත යුතු බවත්, ඒ පන්ති අරගලයේ පණිවිඩය ඉදිරියට ගෙන යා යුතු බව පමණක් සටහන් කර තබමු.
“දිලිත් ජයවීර තරම්වත් ගන්න බැරි උනා නේද?” කෙනෙක් මගෙන් සෝපාහාසයෙන් විමසා තිබුනා. “අපි කළේ රොටී දේශපාලනයක් නොවෙයි” මගේ කෙටි සෘජු පිළිතුර උනා. ඇත්තටම නම්, මම අදහසක් කළේ මේ දේශපාලනය දිගු, අසීරු සහ ජනප්‍රියවාදී එකක් නොවන බවයි.
මාක්ස් කීවක් මෙන්,

“වාසිදායක කොන්දේසි යන මූලධර්මය මත පමණක් අරගල සිදුවූයේ නම් ලෝක ඉතිහාසය නිර්මාණය කිරීම ඉතා පහසු වනු ඇත.”
පන්ති අරගලයට ජය!
සමාජවාදයට ජය!
කල්ප රාජපක්ෂ
22/09/2024

leave a reply