“ආකාශ ගංගාවරෝහණ” කෘතියේ කර්තෘ, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.
ඔබගේ “ආකාශ ගංගාවරෝහණ” ඉන්දීය චාරිකා සටහන් කෘතිය ජනගත වීමට ආසන්නය. ඒ පිළිබඳ විස්තර කළොත්?
ඔව්. “ආකාශ ගංගාවරෝහණ” ඉන්දීය චාරිකා සටහන් කෘතිය මේ මස 13 වන දින කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨ මණ්ඩල ශාලාවේදී හවස තුනට ජනගත වීමට නියමිතයි.
එයට ලංකාවේත් ඉන්දියාවේත් බොහෝ පිරිසක් සහභාගී වීමට නියමිතයි.
එහිදී දර්ශන මේදිස් විසින් පර්යටන සාහිත්‍යයේ නෙසිඳෙන උල්පත: ඉන්දියාව නමින් ප්‍රධාන දේශනය පවත්වන අතර සිංහල, හින්දි දෙමළ යන භාෂාවලින් සඳරැසී සුදුසිංහ, මහාචාර්ය අනූෂා සල්වතුර සහ සදීෂ් ත්‍රිෂ්ණප්ලේ සෙසු දේශන පවත්වන්නට කියමිතයි.
මට ඉන්දියානු සංචාර විශාල ගණනක් ලැබී තියෙනවා විවිධ පර්යේෂණ වෙනුවෙන්. ඒ අතර තුර මම ඉන්දියානු ජනජීවිතය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය වගේම පාරිසරික සුන්දරත්වය අත්වින්දා. අනෙකුත් ඕනෑම නිර්මාණකරුවකු වගේම මගේත් භාව ව්ශෝධනය පිණිස මං ලියනවා. ලස්සන දෙයක් දැක්කම අනිත් අය එක්ක බෙදා ගන්න මං ආසා කරනවා. මා විඳි සුන්දරත්වය ලෝකයට දෙන්න මං ආසා කරනවා.

අනිත් අතට මං හැමදාම ඉන්දියාව පුරා ඇවිද්දේ ඉන්දීය මුදලින්. මං ලංකාවේ සල්ලි කවදාවත් මාරු කරලගෙන නැහැ. ඒ අතින් මං ඉක්දියාවට ණයයි වගේ හැඟිමකුත් මට තියනවා. ඒ ලස්සන ලෝකයට කිව්වොත් ඒ ණයවලින් ටිකක් ගෙවෙයි කියලා මට හිතෙනවා.
ලස්සන විතරක්ම නෙමෙයි ඉන්දියාවේ ආන්තීකරණය කරන ලද ජන කොටස් ගැන, දාර්ශනික පද්ධති ගැන, කලාව ගැන මං ලියනවා. ඒ දේවල්වලින් ඒ ඒ පද්ධතිවලට පොඩි හරි සාධාරණයක් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.
මේ සියලු අරමුණු මේ ලේඛන පසුපස තිබුණා. චිත්‍ර ශිල්පියෙකුට ඉර බැහැගෙන යද්දී අහසේ වර්ණ ටික අමතක වෙන්න කලින් අඳින්න ඕන වගේ මටත් අත්දැකීම් අමතක වෙන්න කලින් ලියන්න ඕන කළා. මේ සුන්දර සහ අසුන්දර මතකයන් ලෝකයට නොදී මා මියගියහොත් අපරාදේ ඒ නිසා ලියන්න ඕන තියලා මට හිතෙනවා.
සංචාරක සටහන් ලිවීමට ඔබ යොමු වූයේ කෙසේද?
මේ සංචාර අතරතුරත් ඉන් පසුවත් මං ඒ අත්දැකීම් මගේ මිතුරු මිතුරියන් සමඟ බෙදා ගත්තා. ඒ අවස්ථාවල ඔවුන් යෝජනා කළා ලියන්න කියලා. ඊට අමතරව ඉහත මා කියූ කරුණු ලිවීම සඳහා මට බලපෑවා. අනිද්දා පත්තරේට මේවා මුලින් ලියද්දී එක කලාපෙකට ලියන්න බැරිවුනොත් එහි තර්නෘ කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා මට කියනවා ඉන්දියානු චාරිකා සටහන් නැතිවුනාම මිනිස්සු අපිට බනිනවා කියනවා. ඒකත් මට ලොකු දිරියක් වුනා මේ ටික ලියන්න.
ඔබ පෙර ප්‍රකාශිත කෘතීන් සම්බන්ධයෙන් ඔබට වටිනාම අත්දැකීම කුමක්ද?
ගොඩාක් දේ තියනවා. මගේ “පෙරදිග
ස්ත්‍රීවාදය” කෘතිය බොහෝ ඇගයුම්වලට පාත්‍ර වුණා. ශාස්ත්‍රීය කෘතියක් ලෙස මාස තිහිපක් ඇතුලත සියලුම පොත් අලෙවි වුණා. එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පර්යේෂණ සඳහා බෙහෙවින් බලපෑවා
වර්තමානයේ ඔබ කථිකාචාර්යවරියක් වන අතර, හල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක්ද වේ. ඒ සමඟම විවිධ කලා කටයුතු වලටත් නියුතු වෙයි. දෛනිකව මේ සියල්ල සැලසුම් කර ගන්නේ කෙසේද?
මා කුඩා කළ සිටම සාම්ප්‍රදායික රාමුවක හැදුණේ නැහැ. මගේ අම්මාවත් මගේ නැන්දම්මාවත් මගේ සැමියාවත් මගේ පුතුන්වත් කිසිදා මා හිර කළේ නැහැ. ගෙදර දොර සියලු වැඩ මංම කළ යුතුයි කියලා එකක් නැහැ. ඇතැම් දිනක රෑ තුනට පමණ ගෙදර පැමිණ මා උදේ නිදියගෙන ඉන්න විට මගේ පුතා උදේ කෑම සකස් කර උදේ දහයට පමණ මා ඇහැරනවා අම්මා මං කෑම හැදුවා ඇහැරිලා දැන් කන්න කියලා. මගේ පර්යේෂණ සඳහා මං ලංකාවට එද්දී මගේ ලොකු පුතා කිව්ව එකම දේ අම්මා ගිහින් ඔය වැඩ ටික හරියට කර ගන්න. මෙහේ දේවල් මං බලා ගන්නම් ඔයා ඒ ගැන වදවෙන්න එපා කියලා. ඒ සියල්ල සැමියාත් ලොකු පුතාත් බලා ගන්නවා. ගැහැණියකගේ සම්ප්‍රදායික බැමි කැඩුවම ඇයට බොහෝ දේ කළ හැකියි කියලා මගේ පවුලේ අය හැම විටම පෙන්වනවා.
එකවර වැඩ දෙක තුනක් බදාගෙන කරන එක මගේ පුරුද්දක්. එ් නිසා ඒ වැඩ කටයුතු නීරස වෙන්නේ නැහැ. එකක් ඉවර කර එකක් වශයෙන් නොව වැඩ කිහිපයක නියැලීම නිසා හුඟාක් දේ කරන්න පුලුවන් වෙනවා.
ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳව සදහන් කළහොත්?
2010 කළ මගේ පළමු කවිපොත “සකුණ රාසි” වලින් පසුව මං කවිපොතක් කරලා නැහැ. කවි ගොඩාක් තියනවා ලියපු. ඒ දේවල් එකතු කරන්නත් ඒ වගේම සෑහෙන්න වැඩ ඉවර කරලා තියන නවකතාව නිම කිරීමත් අපේක්ෂාවත්.
නවකතා තව තුනකට විතර වස්තුබීජ තියනවා. ලියා ගන්න වෙලාව හොයා ගන්න එක තමයි මට තියෙන විශාලම අභියෝගය.
සංවාද සටහන: චන්දිම
“ආකාශ ගංගාවරෝහණ” (ඉන්දීය චාරිකා සටහන්) [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.