Breaking News

වැරදි PCR වාර්තා දෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිට රසායනාගාර – රසායනාගාර වෘත්තීයවේදීන්

?????????????????????????

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) තුළ පහසුවෙන් කොරෝනා පරීක්ෂණ (PCR) දිනකට 1000 ක් සිදුකිරීමට හැකියාව තිබියදී කරන්නේ පරීක්ෂණ 300-400 පමණ ප්‍රමාණයක් බවත්, ජාතික රෝහල වැනි පහසුකම් සහිත ස්ථානයක PCR පරීක්ෂණ කටයුතු කිරීමේ හැකියාව වර්ධනය නොකොට වෙනත් ස්ථාන වෙත මෙම පරීක්ෂණ කිරීමට අවස්ථාව ලබාදීම හරහා වැරදි පරීක්ෂණ වාර්තා නිකුත් කර ඇති බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. මේ බව සඳහන් කරමින් මෙම සංගමය ජනාධිපතිවරයාටද ලිපියක් යොමුකර තිබේ.

එහි දක්වා අත්තේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය සිදුකළ පරීක්ෂණ විශාල ප්‍රමාණයක ප්‍රතිඵල වැරදි බවයි. එසේම PCR පරීක්ෂණ පෞද්ගලික අංශයට ලබාදීම තුළින් PCR නිදර්ශකය ලබා ගැනීමේ සිට පෞද්ගලික අංශය වෙත යොමු කිරීම දක්වා සියළු කාර්යයන්හී වගකීම සහ පිරිවැය රජයට දරන්නට සිදු වන අතර පරීක්ෂණය සිදු කිරීම සඳහාඳ රජයේ මුදල් විශාල වශයෙන් පොද්ගලික අංශය වෙත ගෙවීමට සිදුවෙන බව එම ලිපියේ දැක්වේ.

එසේම අද පැවති රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ් සඳහන් කර සිටයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රසායනාගාරවල පරීක්ෂණ කටයුතු සිදුකිරීමේ ධාරිතාවය තිබියදී පරීක්ෂණ කටයුතු වෙනත් රසායනාගාර වෙත යැවීම ගැන ගැටලුවක් මතුවන බවයි. එවැනි තීරණ ගනු ලබන්නේ කවුරුන් ද කියන කාරණයත් හෙළිකරන ලෙස ඔහු වැඩිදුරටත් පවසා ඇත.

පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනු ලැබීය. එහෙත් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයම කීවේ ඒ අයට කොවිඩ්-19 රෝගය නැතැයි පසුව ලැබුණු වාර්තාවකින් තහවුරු වූ බවය. මෙතෙක් කොවිඩ්-19 පිළිබඳව ලැබී ඇති දත්ත ගැනද සැකයක් ඇතිව තිබේ. කොවිඩ්-19 රෝගය ඇති බවට වැරදි වාර්තා බොහොමයක් ලැබී ඇත්තේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයෙන් බවට ‘අනිද්දා’ පුවත්පත ද වාර්තා කර ඇත.

වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

අතිගරු ජනාධිපතිතුමා

කොරෝනා හඳුනා ගැනීමේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමේ ක්‍රියාවලියට බාධා කිරීම
————————————
ශ්‍රී ලංකාව තුල කෝවිඩ් 19 වසංගත තත්වය මර්ධනය කිරීම සඳහා ගනු ලැබ ඇති බොහෝ තීරණාත්මක උත්සහයන් අපගමනය වීමට හේතුවක් වී ඇත්තේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණාත්මකව හා සංවිධිතව සිදු නොකිරීමයි. ශ්‍රී ලංකාව තුල කෝවිඩ් 19 රෝගියෙකු හඳුනා ගැනුනු මුල් අදියරේ සිටම ඒ පිළිබඳව වාර්තාවන් හා යෝජනාවන් රැසක් අප ඔබ වෙත යොමු කරනු ලැබූ නමුත් එම තාක්ෂණික උපදෙස් නිසි පරිදි කළමණාකරනය කර ගැනීමට අදාල විධිමත් සාකච්ඡාවන් පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම මඟහැරියේය.

ඒ හේතුවෙන්ම කොවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තුල අඩුපාඩු රැසක් ඇතිවූ බව අප ඉතා තදින් විශ්වාස කරන අතර එය ශ්‍රී ලංකාව තුල මෙතරම් වේගයෙන් රෝගය ව්‍යාප්ත වීමට අදාල වන ප්‍රධානතම හේතුවක් වේ. කෙසේ නමුත් කෝවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ අප බලාපොරොත්තු වූ වේගයෙන් සිදු කිරීමට නොහැකි වන සමහර සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අත්තනෝමතික සහ ආත්මාර්ථකාමී ක්‍රියාකලාපයන් මේ මොහොතේද ක්‍රියාත්මක වන බැවින් ඒවා පිළිබඳව ඔබගේ අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමි.

1. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කෝවිඩ් 19 PCR පරීක්ෂණ සේවාව පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් එම ආයතනයේ වෛරසවේදීන් කිහිපදෙනෙකු බාධා ඇති කිරීම මත අඛණ්ඩව එකම සීඝ්‍රතාවයකින් එදිනෙදා ලැබෙන නිදර්ශක සියල්ල පරීක්ෂා කර අවම කාලයක් තුල වාර්තා නිකුත් කිරීමට නොහැකි වීම. ඒහේතුවෙන් PCR පරීක්ෂණ 1000ක් පමණ ඉතා පහසුවෙන් සිදු කළ හැකි වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල එම ප්‍රමාණය 300-400 අතර සීමා කිරීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ට සිදුවීම.

2. වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල කෝවිඩ් 19 රෝග වසංගත තත්වය පාලනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය පර්යේෂණ සිදු නොකිරීම. ශ්‍රී ලංකාව තුල එම වෛරසයේ හැසිරීම, රට පුරා පැතිරෙමින් තිබෙන වෛරස කාණ්ඩයන් පිළිබඳව නිර්දේශ ලබා දීම, රෝගී තත්වයන් උත්සන්න වීම, සහ කැපී පෙනෙන රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්ගේ ස්වාභාවයන් පිළිබඳව පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම හා ඒ අනුව ඉදිරි පරීක්ෂණ සැළසුම් හඳුනාගැනීම වෛරසවේදීන්ගේ වගකීමක් වන නමුත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු කටයුත්තක් නොකරමින් රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණය සිදුකිරීමේ කර්තව්‍ය මත යැපීම.

3. ශ්‍රී ලංකා ජාතික රෝහල වැනි පහසුකම් සහිත ස්ථානයන්හි PCR පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම හිතාමතාම මඟහැර සිටීම. මෙවන් ජාතික ව්‍යසන තත්වයකදී එම රෝහලෙහි පාලනාධිකාරිය සහ අදාල රසායනාගාර විශේෂඥ වෘත්තිකයන් එම කාර්යය හිතාමතාම මඟහැරීම ‘බරපතල රාජකාරී පැහැර හැරීමක්’ වුවද ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් නොගැනීම.

4. වෛරසවේදීන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික උපදෙස් පමණක් සැලකිල්ලට ගනිමින්වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ඇතුළු අනෙකුත් වෘත්තීයවේදී ආයතන සමඟ කිසිඳු සාකච්ඡාවක් නොපවත්වමින් රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රමවේදයන් සැකසීම හේතුවෙන් මෙම රෝගය හඳුනා ගැනීමට ඇති තාක්ෂණික හා රසායනාගාර උපක්‍රම භාවිතයට ගත නොහැකි වීම.

5. කොරෝනා වසංගත තත්වය ඇතිවූ ආරම්භක මොහොතේ සිට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) සඳහා නිශ්චිත රාජකාරියක් නොපැවරීම. කෝවිඩ් 19 සබැඳිව රසායනාගාර සේවා කළමණාකරනයේ අතිශය වැදගත් වුනමනාවන් නොසළකා හරිමින්, එතෙක් රසායනාගාර සේවා කළමණාකරනය පිළිබඳව කටයුතු කරමින් සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාද විශ්‍රාම යැවීම. මේ පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යවරියට පැමිණිලි කිරීම හේතුවෙන් රසායනාගාර සේවාව පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති සහ සාමුහික සාකච්ඡා මඟින් තීන්දු ගැනීම පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන පුද්ගලයෙකු රසායනාගාර සේවාවේ වැඩබැලීම සඳහා පත් කිරීම.

6. වසර 10ක පමණ කාලයක් තිස්සේ PCR පරීක්ෂණ සිදු කරනු ලැබූ පෞද්ගලික අංශය සඳහා අනවශ්‍ය ලෙස වෛරසවේදියෙකු අනිවාර්යය කිරීම හා රජයේ රසායනාගාර තුල ඉතා පහසුවෙන් කළ හැකිව තිබෙන PCR පරීක්ෂණ අනවශ්‍ය ලෙස පෞද්ගලික අංශයට යොමු කිරීමට උපායන් යෙදීම. එසේම අපට වාර්තා වන ආකාරයට මෙකී අන්වාර්යය කිරීම හේතුවෙන් වෛරසවේදියෙකුගේ සේවාව ලබා ගැනීම සඳහා පමණක් එක් පරීක්ෂණයකට රු 1000කට වඩා වැඩි අමතර වියදමක් දැරීමට පෞද්ගලික අංශයට සිදුවී ඇත. තවද PCR පරීක්ෂාවේ නිදර්ශකය ලබා ගැනීමේ සිට පෞද්ගලික අංශය වෙත යොමු කිරීම දක්වා සියළු කාර්යයන්හී වගකීම සහ පිරිවැය රජයට දරන්නට සිදු වන අතර පරීක්ෂණය සිදු කිරීම සඳහාඳ රජයේ මුදල් විශාල වශයෙන් පොද්ගලික අංශය වෙත ගෙවීමට සිදුවේ.

7. මේ වන විට අපට ලැබී ඇති අභ්‍යන්තරික තොරතුරු වලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විශ්වවිද්‍යාලයක් වෙත PCR පරීක්ෂණය වෙත යොමු කරනු ලැබූ සැළකිය යුතු නිදර්ශක ප්‍රමාණයක් සඳහා කොරෝනා වෛරසය හඳුනාගත් බවට සාවද්‍ය වාර්තා ලැබී ඇත. මෙවන් තත්වයකදී ඒ පිළිබඳව විද්‍යාත්මක විමර්ශනයක් කඩිනමින් සිදු කිරීම අත්‍යාවශ්‍ය වන නමුත් එම තත්වය ඔබ ඇතුළු අදාල සියළු වගකිවයුත්තන්ගෙන් සඟවා තැබීම මඟින් අනවශ්‍ය බරපතල ව්‍යාකූලත්වයක් ඇති විය හැකි වීම.

8. වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි වෛරසවේදීන් කිහිපදෙනෙකු අදාල අධ්‍යක්ෂවරයා නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සහ විවිධ බාහිර අංශයන් වෙත තොරතුරු සහ උපදෙස් ලබා දීම හේතුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල තීරණ ගැනීමේ ක්‍රියාවලිව බරපතල ලෙස පිරිහී යාම.

9. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල රසායනාගාර සේවාව පිළිබඳව හා කොරෝනා මර්ධන වැඩපිළිවෙල පිළිබඳව තීරණ ගැනීමේ ක්‍රියාවලිය කිහිපදෙනෙකුට සීමා වී ඇති අතර අදාල සියළු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීරණ ගැනීම සම්පූර්ණයෙන්ම අහෝසි කොට පෞද්ගලික හිතෛෂීන් දෙතුන් දෙනෙකු විසින් දෙනු ලබන උපදෙස් මත ජාතික ප්‍රතිපත්ති සැකසීම. මෙහිදී වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන් කිසිදු සාකච්ඡාවකට කැඳවා නොමැති අතර ඒ හේතුවෙන්ම රෝග හඳුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා භාවිත කළ හැකි උපාය උපක්‍රම මෙන්ම තාක්ෂණික හා විද්‍යාත්මක භාවිතාවන් නොසලකා හැරීමකට ලක්ව ඇත.

10. මුල්ලේරියාවේ පිහිටුවන වෛද්‍ය රසායනාගාරයක් මඟින් තව නොබෝ දිනකින් කෝවිඩ් 19 PCR පරීක්ෂණ 1000 ක් සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මාධ්‍යයට වරින් වර වාර්තා නිකුත් කරනු ලැබූවද එවන් රසායනාගාරයක් ඉදිකිරීම, එහි කටයුතු සිදු කරන ආකාරය, ඊට අදාල වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් අනුයුක්ත කරන ආකාරය, රසායනාගාර උපකරණ ගෙන්වීම, එම උපකරණ පිළිබඳ පිරිවිතරයන් සැකසීම හා තාක්ෂණික අගැයුම් සිදු කිරීම, ආදී කිසිදු කරුණක් පිළිබඳව පර්ශ්වකරුවන්ගේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නොමැති වීම.

11. රසායනාගාර සේවාව විධිමත්ව සිදු කිරීම පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා සිදු වීම ඉතා අවම මට්ටමක පැවතිය ද සම්මත ක්‍රමවේදයන්ට පරිබාහිරව රසායනාගාර සේවාව සඳහා උපකරණ හා ප්‍රතික්‍රීයක ගෙන්වීම සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. මේ සඳහා රජයෙන් ලබා දෙන මුදල් වලට අමතරව ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් ආයතනය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ගෝලීය අරමුදල ඇතුළු අංශ ගණනාවකින් මිලියන ගණනක මුදල් ආධාර ලබා දී ඇති බවද වාර්තා වේ. නමුත් එකී ප්‍රතිපාදන මඟින් මිලදී ගැනීමට අපේක්ෂිත උපකරණ හෝ ප්‍රතික්‍රීයක පිළිබඳ පිරිවිතර සැකසීමේ කමිටු (PEC) සහ තාක්ෂණික ඇගයීම් කමිටු (TEC) සඳහා, එම උපකරණ සහ ප්‍රතික්‍රීයක භාවිතා කරන අවසන් පාරිභෝගිකයා ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ඇතුලත් කර නොමැත.

12. වෛරසවේදීන් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරය ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික පරීක්ෂණ සිදු කිරීම සහ ඊට අදාලව නිරවද්‍යතාවයෙන් ඉහල පරීක්ෂණ කට්ටල පිළිබඳව අධ්‍යයනය කිරීමට ඇති අවස්ථාවන් සියල්ල බලහත්කාරී ලෙස අත්හිටුවීම. අධ්‍යයනයන්ට අදාලව පරීක්ෂණ කට්ටල හෝ උපකරණ වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා නියැදි (Sample) ගෙන්වා ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අවසරය ලබා ගත යුතුය. නමුත් එම අධිකාරිය විසින් එම අවසරය අහේතුක ලෙස අත්හිටවා ඇති නමුත් තොරාගත් ආයතන කිහිපයක පමණක් නියැදි පරීක්ෂාවන් සිදු කිරීම නිළ වශයෙන් සිදුවෙමින් පවතී. ඒ අනුව වලංගු කිරීමේ (validation) පරීක්ෂා වලින් අසමත් වීමකින් තොරව නියැදි ගෙන්වීම වැලැක්වීමද විද්‍යානුකූල නොවන අතර නියැදි ගෙන්වීම වලක්වා ඇති තත්වයක් යටතේ වලංගු කිරීමේ පරීක්ෂණ සිදු කිරීමද බරපතල ගැටළුවකි. එනයින් මෙම ක්ෂණික පරීක්ෂණ වැලැක්වීමේ ප්‍රතිපත්තිය මෙන්ම හිටිහැටියේ ආරම්භ කිරීමේ ප්‍රතිපත්තියද ජාවාරමක ස්වරූපය ගෙන ඇති අතර එම තත්වය වඩා නිවැරදි ක්ෂණික පරීක්ෂණ කට්ටල කල්තබා ගෙන්වා ගැනීමට බාධාවක් ලෙස ක්‍රියාත්මක වේ.

උක්ත සියළු කරුණු ඔබගේ අවධානය වෙත යොමු කරනු ලබන්නේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩපිළිවෙල විවේචනය කිරීමේ අරමුණෙන් නොවන අතර එහි ඇති අඩුපාඩු සකස් කර ගැනීමේ ජාතික වගකීමක් අප සතුව ඇති බැවිනි. එසේම මේ මොහොතේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින ආකාරයට අනුව රසායනාගාර සේවාව පිළිබඳ අතිශය වැදගත් සමහර තොරතුරු නිවැරදිව ඔබ වෙත වාර්තා වීමට ක්‍රමවේදයක් නොමැති බව අප දන්නා නිසාත්, ඊට අදාලව ඉතා සුළු වරද්දා ගැනීමකින් වුවද, වසංගතය ව්‍යසනයක් බවට පරිවර්තනය කරවීමේ හැකියාවක් පවතින නිසාවෙනි.

රවී කුමුදේශ්
සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

leave a reply