Breaking News

අධ්‍යාපනය ගැන අනුරගෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ

අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක්වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පලකළ අදහස් කෙරෙහි බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.

විශේෂයෙන් අඩු දරුවන් ප්‍රමාණයක් සිටින පාසල් වසා දැමීමට සම්බන්ධයෙන් ඔහු කරන ලද ප්‍රකාශය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුන ලෙස ඔහුම කියන කිසිදු පාසල් දරුවෙක් අතරමැදදී පාසල් හැර නොයා යුතු බවට වන ප්‍රකාශය අතර පරස්පරයක් ඇති බව බොහෝ පිරිසකගේ අදහස වී තිබේ.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ, ඒ සඳහා දරුවන්ගේ ආර්ථික පසුබිම්, දෙමව්පියන් අතර ඇතිවන ගැටුම් මෙන්ම දෙමව්පියන් විදෙස් ගත වීම් ආදී විශාල සාධක ප්‍රමාණයක් දරුවන් පාසල් හැර යාමට බලපා ඇති බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෑම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

2023 වසරේ එකම සිසුවෙක්වත් ඇතුලත් නොවුණු පාසල් 98ක් තිබෙන බවත්, සිසුන් 10ට වඩා අඩු පාසල් 115ක්ද, සිසුන් 20ට වඩා අඩු පාසල් 406ක්ද, සිසුන් 30ට වඩා අඩු පාසල් 752ක්ද, ළමුන් 40ට වඩා අඩු පාසල් 1140ක්ද, ළමුන් 50ට වඩා අඩු පාසල් 1506ක් ඇති බවට ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනපතිවරයා පවසන්නේ ළමුන් 100ට වඩා අඩු පාසල් ගණන 3144ක බවත් ආසන්න වශයෙන් එය රජයේ පාසල්වල ආසන්න වශයෙන් ගත් විට තුනෙන් එකක ප්‍රමාණයක් බවයි .

ජනාධිපතිවරයා සඳහන් කළේ, මුළු පාසල් පද්ධතියෙන් 15%ක ළමුන් 50 වඩා අඩු බවයි.

මේ අනුව සමහර පාසල් වසා දැමිය යුතු බවත් ඇතැම් පාසල් ඒකාබද්ධ කළ යුතු බවත් තවත් ප්‍රදේශවල නව පාසල් ආරම්භ කළ යුතු බවත් ඔහු පවසා ඇත.

දරුවෙකුට අධ්‍යාපනය සඳහා සුදුසුම වන්නේ එම දරුවා ඔහුගේ නිවසට ආසන්න පාසලක ඉගෙනීම් කටයුතු කිරීමයි. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේදී මෙය අනිවාර්ය දෙයක් ලෙස සළකයි. නොමිලේ බස් රථ සැපයීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත.

එසේම ජනාධිපතිවරයා කියන ආකාරයෙන් ආර්ථික ප්‍රශ්න සහ ගෙදරදොර ප්‍රශ්නවලට මුහුණ දෙන දරුවෙකු දුර කතර ගෙවා වෙනත් පාසල් වෙත යන්නේ නැත. පහසු දෙය වන්නේ පාසල් ගමන අතරමග නතර කර දැමීමයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුව තවමත් පැහැදිලි විස්තර ඇතුළත් වාර්තාවක් නිකුත් කර නැත. ඒ වෙනුවට විවිධ කරුණු ඇතුළත් slides පමණක් නිකුත් වී තිබේ. එවැනි තත්ත්වයකදී මේ ආකාරයට කඩිකුලප්පුවකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මැදිහත් වීම සැක උපදවන්නකි.

leave a reply