ලංකා ඉතිහාසයේ වැඩිම වන්දි මුදලක් වන ඩොලර් බිලියනයක වන්දියක් වින්දිතයන් වෙත ගෙවන ලෙස පරිසර දූෂණයේ යෙදුණු ලංකාවේ මුහුදු තීරයට හානි කරපු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් වන සමාගමට නියම කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරපු මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් තීන්දු කළා.
ජුලි 24 වැනිදා ලබාදුන් ඒ තීන්දුව තුළින් එවකට විෂයභාර රාජ්‍ය ඇමතිවරයා වූ නාලක ගොඩහේවා සහ ඔහු යටතේ තිබුණු සමුද්‍රීය ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර සහ නීතිපති දෙපර්තමේන්තුව වගකීම් පැහැරහැරිය බව තීන්දු කර තිබුණා.
මෙම නෞකාවෙන් සිද්ධවෙච්ච හානියට අදාලව හිතුවක්කාරී, අතාර්කික සහ අත්තනෝමතික ලෙස පියවර ගනිමින්, මෙයට එරෙහිව අපරාධ නීතිය යටතේ පියවර නොගත් නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වගකීම් පැහැරහැර ඇති බව තීන්දුවෙහි සඳහන් වෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව ලවා මාස තුනක් ඇතුළත සිදුවීම ගැන විමර්ශනයක් සිදු කරන ලෙසත්, සිදුවීමට අදාලව නඩු පවරන ලෙසත් නියෝග කර තිබෙනවා.
එක්ස්ප්‍රස් පර්ල් සමාගමට ඩොලර් බිලියනයක වන්දියක් වසරක් ඇතුළත ගෙවන ලෙස නියෝග කර තිබෙනවා. සැප්තැම්බර් වන විට එහි මුල් වාරිකය ගෙවිය යුතුයි.
X-Press Pearl සමුද්‍රීය පාරිසරික දූෂණ සිද්ධිය, 2021 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ කොළඹ වෙරළ තීරය ආසන්නයේ සිදු වුණ අනතුරක්. මේක ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකයේම සිදු වූ දරුණුම පරිසර හානියක් විදියට සලකනවා.
විනිසුරු කෝදාගොඩ විසින් ලීව තීන්දුවේ මුල සඳහන් කරනවා ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන දූපතක් වන ශ්‍රී ලංකාව මිලියන විසිදෙකක ජනගහනයක් ඉන්න, විශේෂ කඳුළු බිංදුවක හැඩයක් තිබෙන රටක් බව. එතුමාගේ රචනය තුළ පිටු තුන්සිය ගණනක් වන මෙම ඓතිහාසික නඩු තීන්දුව කියවන ඕනෑ කෙනෙකුට එහි බරපතලකම ගැන මනා හැඟීමක් පහළ කරවනවා. ස්වාභාවික විස්මයන්ගෙන්, පොහොසත් සහ බහුවිධ පාරිසරික පද්ධතීන්ගෙන්, අසමසම ජෛව විවිධත්වයකින්, ස්වර්ණමය පාංශු සම්පතකින්, නීලහරිත ජල සම්පතකින් සහ පෞරුෂ සම්පන්න ස්වාභාවික සුන්දරත්වයකින් යුක්ත බව ඔහු විස්තර කර තිබෙනවා. මේ නීලහරිත බව 2021 මැයි සහ ජුනි මාසවලදී කම්පනයට පත් වූ බවත් ඉන්දියන් සාගර ඉතිහාසයේ දරුණුම සාගර විනාශයට මුහුණදුන් බවත් තීන්දුවෙන් පෙන්වා දෙනවා. ලෝක ඉතිහාසයේ පවා දරුණුම විනාශයක් ලෙස තින්දුව තුළ මෙය හඳුන්වනවා.
X-Press Pearl කියන්නේ සිංගප්පූරුවේ ලියාපදිංචි Super Eco 2700-පන්තියේ බහාලුම් නෞකාවක්.
මෙම නෞකාව ඉන්දියාවේ හසිරා සිට කොළඹ වරාය බලා ගමන් කරමින් තිබුණා. එහි බහාලුම් 1,500ක් පමණ තිබුණා. මෙයින් 81ක් නයිට්‍රික් අම්ලය (මෙට්‍රික් ටොන් 25ක්) සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු භයානක ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබුණා.
2021 මැයි 20 වන දින, කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා සිටියදී, නෞකාවේ නයිට්‍රික් අම්ල කාන්දුවක් වාර්තා වුණා. මැයි 25 වන දින ගින්නක් හටගත්තා. ජුනි 2 වන දින වන විට නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ, කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිලී ගියා.
මෙයින් අතිශය දැවැන්ත පාරිසරික බලපෑමක් එල්ල වුණෘ. විශේෂයෙන්ම මෙය ලෝකයේ විශාලතම ප්ලාස්ටික් සමුද්‍ර දූෂණ සිද්ධිය විදියට හඳුන්වනවා. ප්ලාස්ටික් පෙති හෙවත් නර්ඩ්ල්ස් බිලියන ගණනක් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට ගොඩගැසුණා. තීන්දුවේ සටහන් වන ආකාරයට අදටත් බටහිර වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල මෙම ප්ලාස්ටික් පවතිනවා.
නර්ඩ්ල්ස් වලට අමතරව, නයිට්‍රික් අම්ලය, කෝස්ටික් සෝඩා, ඊයම්, තඹ, ඉෙපොක්සි රෙසින් සහ තෙල් වැනි වෙනත් භයානක රසායනික ද්‍රව්‍ය මෙම විනාශයේදී මුහුදට එකතු වුණා.
ඊට අමතරව මත්ස්‍යයන්, කැස්බෑවන් සහ ඩොල්ෆින් ඇතුළු බොහෝ සමුද්‍ර ජීවීන්ගේ මරණය මෙම විනාශයෙන් සිද්ධ වුණා. කි.මී. 300ක් පමණ දිග වෙරළ තීරයක් පුළුස්සා දැමූ භාණ්ඩ, නර්ඩ්ල්ස් සහ වෙනත් අපද්‍රව්‍යවලින් වැසී ගිය බවත් නඩුවේදී සඳහන් වුණා.
මෙම විනාශයෙන් නෞකාව ගිලී ගිය ප්‍රදේශයේ කිලෝමීටර් 80ක අරය තුළ ධීවර කටයුතු තාවකාලිකව තහනම් කිරීමට සිදු වුණා. ඒ හේතුවෙන් ධීවර පවුල් 12,000කට පමණ බලපෑම් එල්ල වුණා.
තොරතුරු වසන් කිරීම පිළිබඳ මේ තීන්දුවෙන් පෙන්වා දෙනවා. නෞකාවේ මාස්ටර්, ක්‍රියාකරු සහ ප්‍රාදේශීය නියෝජිතයා විසින් කොළඹ වරාය මාස්ටර් වෙත නෞකාවේ පැවති තත්ත්වය පිළිබඳ ඇත්ත තොරතුරු වසන් කරපු බව තීන්දුවෙන් නිරීක්ෂණය කරලා තියෙනවා. මේ නෞකාවේ මාස්ටර්, හිමිකරු, සේවය කරපු කාර්ය මණ්ඩලය සහ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරපු සමාගම සිදුවීම යටපත් කරපු නිසා විනාශය දරුණු වූ බවත් ඔවුන් තනි තනිව සිදුවීමට වගකිව යුතු බවත් නිගමනය කරලා තියෙනවා.
මාස්ටර්, ක්‍රියාකරුවන් සහ දේශීය නියෝජිතයා ශ්‍රී ලංකාවට සිය ජාත්‍යන්තර නීතිය යටතේ කරන්න ඕනෑ දැනුම් දීම් නොකිරීමෙන් ජාත්‍යන්තර නීතියත් කඩ කරපු බව නිගමනය කරලා තියෙනවා.
ඒ නිසා ප්‍රතිචාර දැක්වීමට වෙලාවක් නොතිබුණු බවත්, එම නිසා වළක්වාගත හැකිව තිබුණු විනාශයක් සිදු වූ බවත් තීන්දුවේ සඳහන්.
සී කොන්සොර්ටියම් ලංකා පුද්ගලික සමාගම දේශීය වශයෙන් තොරතුරු වසන් කරමින්, වංචාවක් සිදු කර ඇති බවත් තීන්දුවේ සඳහන් වෙනවා. එම සමාගමේ සියලු අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නම්, ලිපිනයන් සහ සම්බන්ධතා පිළිබඳ විස්තර වහාම ප්‍රකාශයට පත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සමුද්‍ර පරිසර කවුන්සිලය පිහිටුවීමට අපොහොසත් වීම සහ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 14 වගන්තිය යටතේ ඇති ඔහුගේ ව්‍යවස්ථාපිත වගකීම ඉටු නොකිරීම හේතුවෙන් එවකට විෂය භාර අමාත්‍ය නාලක ගොඩහේවා වගකියන්න ඕනෑ බව තීන්දු කරලා තියෙනවා. සමුද්‍ර දූෂණ්‍ය වැළැක්වීමේ පනතේ 52(3) වගන්තිය යටතේ ඔහුට පැවරුණු අධීක්ෂණ රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වූ බවත් තීන්දුවේ සඳහන්. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකරියේ සභාපතිනිය ලෙස කටයුතු කළ දර්ශනී ලහඳපුරත් සිදුවීමට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වී ඇති බව තීන්දුවේ තියෙනවා. ඒ අනුව ව්‍යවස්ථාපිත රාජකාරී ඉටු නොකරපු බව සඳහන් වෙනවා.
මෙම තීන්දුවේ වැදගත්ම කොටසක් වන්නේ නීතිපතිවරයා වගකිව යුතු බව නිගමනය කිරීමයි. සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනතේ 26(අ) වගන්තිය යටතේ MV X-Press Pearl හි හිමිකරුට සහ ක්‍රියාකරුවන්ට එරෙහිව අපරාධ වගකීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට අපොහොසත් වීම නිසා නීතිපති දෙපාර්තමේන්තුව වගකිව යුතු බව තීන්දුවේ සඳහන්.
අප මුලින්ම සඳහන් කළ ආකාරයට නීතිපතිවරයා විසින් සිදුවීමට අපරාධ නඩු ගොනු නොකර සිංගප්පූරු අධිකරණයක සිවිල් නඩු පැවරීමට ගත් තීරණය අසාධාරණ, අතාර්කික සහ අත්තනෝමතික තීරණයක් බව මේ තීන්දුවේ සඳහන් වෙනවා. එය ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ගත් තීන්දුවක් නොවන බවත් සඳහන් වෙනවා.
මෙම තීන්දුව හරහා MV X-Press Pearl වන්දි කොමිෂන් සභාව පිහිටවූවා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර එහි සභාපති ලෙස පත් කළා. ඔවුන්ගේ කාර්යභාරය වන්දි මුදල ගැන පියවර ගැනීම.
මීට අමතරව එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර හා වෙරළබඩ පරිසර ප්‍රතිසංස්කරණ හා ආරක්ෂණ කමිටුව පිහිටුවීමට තීන්දුවෙන් කටයුතු කර තිබෙනවා. පරිසර අමාත්‍යාංශයේ ලේකම් (නිල බලයෙන්) එහි සභාපති ලෙස පත් කර තිබෙනවා. එම ආයතන දෙකේ වියදම් මීපා එක හෙවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගෙවිය යුතුයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙසත් මාස තුනක් ඇතුළත පරීක්ෂණ අවසන් කරන ලෙසත් උපදෙස් දී තිබෙනවා. මේකත් විශේෂත්වයක්, මාස තුනක කාලයක් ඇතුළත විමර්ශන අවසන් කරන ලෙස නියෝග කරලා තියෙන්නේ දැනටමත් සිදුවීම පිළිබඳ අපරාධ වරදකට අදාල සාක්ෂ්‍ය රැසක් හෙළි වී තිබෙන නිසයි.
ඒ නිසාම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වෙනවා නීතිපතිවරයාට වහාම දැනට පවතින සාක්ෂ්‍ය නැවත අධීක්ෂණයකට ලක් කරලා, සියලු වැරදිකරුවන්ට එරෙහිව අපරාධ නඩු පවරන ලෙස.
නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට සෑම මාස තුනකට වරක් පරීක්ෂණ සහ නඩු පැවරීමේ ප්‍රගතිය පිළිබඳව වාර්තා කළ යුතු බවත් නියෝග කරලා තියෙනවා.
මේ සිදුවීමට අදාලව අල්ලස් ගත්ත බවටත් චෝදනා එල්ලවෙලා තිබුණා. එයට අදාලවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තියෙනවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට. වහාම මෙයට අදාලව අල්ලස් විමර්ශනයක් කරන්න කියලා.
මෙම පෙත්සමේ සියලු කටයුතු අවසන් කර නොමැති බවත්, 2025 සැප්තැමබර් 25 වැනිදාට යළි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩුව කැඳවන ලෙස දැනුම් දී තිබෙනවා.
මෙම නඩුවට වැය වූ වියදම් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට හැකියාව ඇති බවත් තීන්දුවේ නියම කර තිබෙනවා.
මෙම තීන්දුව පිටු 361කින් සමන්විතයි. විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ලීව තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, විනිසුරු අචලා වෙන්ගප්පුලි, සහ විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඒකාබද්ධව අත්සන් කර තිබෙනවා.
තරිඳු උඩුවරගෙදර