Breaking News

වගකීම් විරහිත නොවී ජනතාව ගැන හිතලා තීරණ ගන්න කුමාර් ගුණරත්නම් මැතිවරණ කොමසාරිස්ට ලියයි.

කොරෝනා වසංගත තත්වය පහව නොගොස් තිබෙන අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා තීරණය ගැනීම පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධය දක්වා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් මගින් දැනුම් දී තියෙනවා. පහත පළ වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් මැතිවරණ මැතිවරණ කොමිෂන් සභවේ සභාපති, මහින්ද දේශප‍්‍රිය මහතා වෙත යොමුකළ ලිපිය.

සභාපති,
මහින්ද දේශප‍්‍රිය මහතා,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

සභාපතිතුමනි

මහ මැතිවරණය ජුනි 20 දින පැවැත්වීමට ගත් තීරණය පිළිබඳව

පසුගිය අප්‍රේයල් 21 වන දා දේශපාලන පක්ෂ කැඳවා මැතිවරණ කොමිසම පැවැත්වූ රැස්වීමේදී කොමිසම විසින් ප‍්‍රකාශ කරන ලද්දේ ජූනි 20 දා මහමැතිවරණය පැවැත් වීමට තීරණය කර ඇති බවකි. එමෙන්ම තවදුරටත් මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය බලධාරීන් සමග දැනට බස්නාහිර පළාතට බල පවත්වන ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමට යෝජනා කොට ඇති දිනයේදී එනම් අප්‍රේයල් 27 කෙරෙන සාකච්ඡුාවකින් අනතුරුව අප්‍රේයල් මස අවසානයේ පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් කැඳවන බවත් එහිදී ඒ වනවිට බලපවත්වන තත්ත්වය සලකා බලා ජුනි 20 දිනට ඡුන්දය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණයක් ප‍්‍රකාශ කරන බවත් කොමිසමේ ස්ථාවරය වී ඇත.

මීට ඉහතදී අප පක්ෂය මගින් වත්මන් කාල වකවානුව තුළ මහ මැතිවරණය පැවැත්වීමේ අවධානම පිළිබඳ ස්ථාවරය ඔබ වෙත යොමුකර ඇත. එහිදී අප සඳහන් කළේ මැතිවරණය කල් දමන ලෙසත් මහජන අභිලාෂයන්ගේ සැබෑ ප‍්‍රජාතාන්ත‍්‍රීය නියෝජනයක් මෙතෙක් පැවති සියලූ පාර්ලිමේන්තු මගින් නිරූපනය නොවූවා සේම පසුගිය පාර්ලිමේන්තුව තුළද නොතිබුණ බවත් එසේ වුවද ඒකාධිපති ස්වරූපයේ අත්තනෝමතිකත්වයක් වර්ධනය වීම වැළැක්වීම වෙනුවෙන් නැවත පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් රට තුළ සැබෑ ලෙස ජන සහභාගී ක‍්‍රියාවලියක් පණගැන්වීම සඳහා ජනතා සංවිධාන (කම්කරු, ගොවි, ධීවර, තරුණ, ශිෂ්‍ය හා කාන්තා සංවිධානවලට) වල ක‍්‍රියාකාරීත්වයට අදාළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාවක් ස්ථාපිත කළ යුතු බවත් ය. ඉහත කාරණා සියල්ලට මැදිහත් වීමේ බලයක් ඔබ වෙත නොමැති බවට වූ අපගේ වැටහීම එසේ තිබියදීත් වර්තමාන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අපගේ සමස්ත ස්ථාවරය ඔබ සභාපතිත්වය දරන කොමිසම වෙත පෙන්වාදීමේ අරමුණෙන් එය නැවත සඳහන් කරන ලදී.

මෙවැනි මොහොතක මැතිවරණය පැවැත්වීමට අප විරුද්ධ වන ප‍්‍රධාන කරුණ වන්නේ රටේ සියලූ පාර්ශවයන්ගේ ප‍්‍රමුඛතාව වසංගතය මැඩලීමත් ඊට අනුරූපීව ආර්ථිකය යළි පණ ගැන්වීමත් හා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම බවට පත්ව තිබියදී මැතිවරණ පැවැත්වීමට සිදුවන පසුබිමකදී එම මූලික හා ප‍්‍රමුඛ අවශ්‍යතාවය පැහදිලි ලෙසම දුබල වීමය. එමෙන්ම මහ මැතිවරණයක් පැවැත්වීමේ දී දේශපාලන පක්ෂවලට හා ස්වාධීන අපේක්ෂකයන්ට මහ ජනතාව වෙත තම ප‍්‍රතිපත්ති පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රචාරක කටයුතු කිරීම සඳහා සුදුසු වටපිටාවක් වත්මන් තත්ත්වය තුළ නොමැත බවද පවතින වටපිටාව තුළ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන ස්ථරයන් මුහුණ දෙන විවිධාකාර ආර්ථික අපහසුතාවයන් දඩමීමා කර ගනිමින් ඔවුන්ගේ දුප්පත්කම තම මැතිවරණ බල අවශ්‍යතා සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස කොල්ලකෑම සඳහා විවිධ දේශපාලන කණ්ඩායම්වලට මෙවැනි මොහොතක මැතිවරණයක් පැවැත්වීම තුළින් ඉඩකඩ සැලසෙන බවද අපගේ ස්ථාවරය විය.

කෙසේ වුවත් මැතිවරණ කොමිසමේ වත්මන් තීරණය වී ඇත්තේ ජුනි 20 ඡුන්දය පැවැත්වීම යි. මෙම තීරණය තුළ පැන නගින ගැටලූ ගණනාවක් ඇති අතර ඒ පිළිබඳ අවධානය යොමු කිරීම මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ.

මැතිවරණ කොමිසම වරින් වර කර ඇති ප‍්‍රකාශයන්ද දරන ලද ස්ථාවරයන් ද සමඟ මෙම තීරණයේ පරස්පරතාවක් ඇති බව අපගේ පළමු පළමු නිරීක්ෂණයයි. මාර්තු 19 දා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ ‘මැතිවරණය පවත්වන දින තීරණය කරන්නේ කොරෝනා වසංගතය’ බවයි. එලෙස ප‍්‍රකාශ කරමින් අප්‍රේයල් 25 මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවට නාම යෝජනා භාර ගැනීම අවසන් වූ මාර්තු 19 වනදා නාම යෝජනා භාරගත් සැණින්ම ප‍්‍රකාශ කළේය. එදා කොමිසමේ ස්ථාවරයට වැඩි බලපෑමක් කළ සාධකය වූයේ වසංගතය විසින් රට තුළ නිර්මාණය වෙමින් පැවැති අස්ථාවරත්වයයි. ගෙවුනු කාලය වන විට එම තත්ත්වය තව තවත් තීව‍්‍ර වූවා මිස එහි පහත වැටීමක් සිදු වූයේ නැත. එය ආණ්ඩුවට ප‍්‍රශස්ති ගායනා කරන මාධ්‍යවලට පමණක් සවන් දෙන්නකුට හැර අන් ඕනෑම අයකුට වටහාගත හැකි සරල කරුණකි. දෙවනුව කොමිසම අපේ‍්‍රල් පළමු වැනිදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටියේ පවත්නා ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තුව අසුන් ගැනීම 2020 ජූනි මස 02 වනදා යෙදී තිබුණත් වර්ධනය වන තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ සඳහන් එම අවශ්‍යතාවය තහවුරු වන අයුරින් මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බවයි. ඒ නිසා මෙහිදී ව්‍යවස්ථාව උල්ලංඝනය වීමේ තත්ත්වයක් මතු වන නිසා ජනාධිපතිවරයා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසයි. එහිදීද කොමිසමේ ස්ථාවරය පදනම් වී ඇත්තේ වසංගතය ව්‍යාප්ත වීමත් පැන නැගිය හැකි ව්‍යවස්ථා අර්බුදයත් ඒ සඳහා විධායකයේ මැදිහත්වීම හරහා අධිකරණයේ මැදිහත්වීමේ අවශ්‍යතාවයත් වෙතය.
එයට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලබා දුන් ප‍්‍රතිචාරය වූයේ මැතිවරණය පවත්වන දින තීරණය කිරීම කොමිසම මගින් ම සිදු කළ යුතු බවයි. ඉන් අනතුරුව කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය හූල් මහතා දැක්වූ අදහස් තුළින් හා එය සමාජගත වූ ආකාරය තුළින්ද මැතිවරණයක් පැවැත්වීමට නාම යෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසමට පැවරෙන බලය හා සම්බන්ධ ව්‍යවස්ථාමය හා පරිපාලනමය කරුණු ඉක්මවා යමින් යම් දේශපාලන බලපෑමකට කොමිසම මැදි වී ඇති බවට සැක පහළ කළ හැකි තත්වයක් ඉස්මතු විය.

සියල්ල මෙසේ පෙළ ගැසී තිබියදී ආණ්ඩුව අපේ‍්‍රල් 13 දා සිට මාධ්‍ය මෙහෙයුමක් ඇරඹුවේ ය. එහිදී ආණ්ඩුව විසින්ම කාර්යසාධක බලකායන්ගේ මුල් පුටුවල ඉන්ද වූ යම් යම් නිලධාරීන් හරහාත් සෞඛ්‍ය ඇමැතිවරිය හරහාත් ප‍්‍රකාශ කෙරුනේ වසංගතය පරාජය කර ඇති බවකි. එම ප‍්‍රචාරක ව්‍යාපෘතියේ පෙළ ගැස්ම සකසා තිබුණේ අප්‍රේ‍රල් 20 දා පැවැත්වීමට යෙදුනු මැතිවරණ කොමිසමේ සාකච්ඡුාවේදී පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් විටින් විට සමාජ ගත කරමින් සිටි අවශ්‍යතාව වූ මැයි 29 දා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ තීරණය ගැනීමට අවශ්‍යය පරිසරය සැකසීම සඳහා බව අපගේ ස්ථාවරය විය. එහෙත් ආණ්ඩුවේ ව්‍යාජ සංදර්ශනය අර්බුදයට යවමින් අප්‍රේයල් 20 දා එතෙක් එක් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ප‍්‍රමාණය වාර්තා වූ අතර මේ වන විට තත්වය තව තවත් අවදානම් වී ඇත. හඳුනාගත් ප‍්‍රදේශ වලට පරිබාහිර ස්ථාන කිහිපයකින් වෛරස ආාසාදිතයින් වාර්තා වීම, සමස්ත ආසාදිතයන් ප‍්‍රමාණය ක්ෂණිකව ඉහල යාම, නිරෝධායන කාලය පිළිබඳ පවා විවාද ඉස්මතු වීම තුලින් තත්වයේ සංකීර්ණභාවය වටහා ගත හැක. මැතිවරණය නිසි කලට පැවැත්විය යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ඕනෑම අයෙකුගේ ස්ථාවරයයි. එහෙත් වසංගතයක් වේගයෙන් ඔඩුදුවමින් පවතින තත්ත්වයකදී මැතිවරණයක් පැවැත්වීම වසංගතය මැඩලීමට බාධාවක් වනවා පමණක් නොව එවැනි මැතිවරණයක් පැවැත්වීම මගින් මුදල් බලය හා රාජ්‍ය බලය සහිත දේශපාලන කණ්ඩායම්වල දේශපාලනා අවශ්‍යතාවය පමණක් ඉටු කරන එහෙත් මැතිවරණයකදී පවත්වා ගත යුතු අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී තත්වයන් හෝ ආරක්ෂා නොකරනුු ඇත.

කෙසේ වුවත් තත්වය මෙතරම් සංකීර්ණ වී තිබියදී ව්‍යස්ථාව පවා උල්ලංඝණය කෙරෙන තීරණයක් ගැනීමට සිදුවූ තත්ත්වය අවධාරණය කරමින් ජුනි 20 දින පාර්ලිමේන්තු මැතිවරණයට ඔබ සභාපතිත්වය දරණ මැතිවරණ කොමිසම මගින් දින තීරණය කිරීම ගැටලූ සහගත නොවේ ද? යම් කිසි හෙයකින් අප්‍රේයල් 30 වන විට තත්වය තවත් නරක අතට හැරේ නම් නැවතත් ව්‍යවස්ථාව උල්ලංඝණය වන අයුරින් ජූනි 20 දිනයෙන් තවත් ඉදිරියට දින යොදනු ලබන්නේ ද? මැතිවරණ කොමිසමට එවැනි ක‍්‍රියා මාර්ගයක් ගැනීම සඳහා තත්ත්වයන් නිර්මාණය වීම පවත්නා අර්බුදකාරී වාතාවරණය තුළ තවදුරටත් අරාජිකත්වයක් වෙතට රට ඇද දැමීමත් අනෙක් පසින් ජනාධිපතිරයා විසින් හසුරුවන අත්තනෝමතික බලයකට වලංගුභාවයක් ලබා දීමකුත් වනු ඇත. එම තත්ත්වය නිර්මාණය වන්නේ ව්‍යවස්ථා අර්බුදයක් වළක්වාලීම සඳහා පැවැති පාර්ලිමේන්තුව කැඳවීමේ තත්ත්වයක් පැවැතිියදී හා මේ වනවිටත් ඔබ කොමිසම විසින්ම ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් ලබාගැනීමට යෝජානා කොට ඇති තත්ත්වයක් තුළ වීම විසින් කොමිසමේ ස්ථාවරයේ පරස්පරතාවය තවදුරටත් ඉස්මතු වී පෙනේ. අනෙක් අතට පසුගිය අප්‍රේයල් 20 වැනිදා ඔබ කොමිසම රැස්වූ අවස්ථාව වනවිටත් වසංගත අර්බුදයෙහි ඇතිව තිබූ තියුණු වර්ධනය ඔබගේ නිරීක්ෂණයට ලක් වී තිබූ බව පෙනේ. එසේනම් අප්‍රේයල් 27 නැවත සළකා බැලීමකට සිදු වන අයුරින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ජූනි 20 දිනයක්, කඩිමුඩියේ අප්‍රේයල් 20 වනදාම ව්‍යවස්ථාවද උල්ලංඝනය වන අයුරින් නියම කිරීම වෙනුවට දැනටමත් සැළසුම් කොට ඇති, දින 07 ක් වැනි සුළු කාලයක් තුළ එළඹීමට නියමිත අප්‍රේයල් 27 දිනයේදීම, අවශ්‍ය සෞඛ්‍යය හා පරිපාලන නිළධාරීන්ගේ නිර්දේශයටද අනුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට කල් නොගැනීම ප‍්‍රශ්නාර්ථයකි. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිනයක් පිළිබඳව සඳහනක් හෝ නොමැතිව මෙම තත්ත්වය දිගින් දිගටම පවතින්නට ඉඩ හැරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොගැලපෙන බව ඔබගේ පැහැදිලි කිරීම වුවත් මෙමගින් ජන ජීවිතය පරදුවට තබමින් තම බල අවශ්‍යතාවය සඳහා මැතිවරණ පැවැත්වීමේ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවය සඳහා පසුබිමක් නිර්මාණය වීමක් සිදුව ඇති බව අපගේ ස්ථාවරයයි. අනෙක් අතට කල් දැමීමේ ක‍්‍රියාවලිය දිගින් දිගටම සිදු කරන්නට සිදුවන තත්ත්වයක් විසින් පාර්ලිමේන්තුවක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් ද නොමැති තත්ත්වයක් දිගින් දිගටම පවත්වාගෙන යාම විසින් අත්තොනොමතික පාලනයක තවදුර පැවැත්ම මැතිවරණ කොමිසමේ තීරණ හරහාම කලින් කලට යාවත්කාලීන වනු ඇත.

මෙම වැරදි මාවතට රටත් ජනතාවත් ඇද දැමීමේ මූලික වගකීම ගත යුත්තේ විධායකය විසින් ය. විධායක ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණඩලය විසින්ය. කොරෝනා වසංගත අවදානමක් ලෝකය තුළ ම මතු වී තිබියදී, ලෝක වසංගත තත්ත්වයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් ගණනාවක් කර තිබියදී, ලංකාවේද කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ආරම්භ වී තිබියදී, ලංකාවේ අත්දැකීම් බහුල පිළිගත් සෞඛ්‍යය විශේෂඥයින් ඒ පිිිළිබඳව අනතුරු ඇඟවීම් කර තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණයක් කැඳවූ එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්ත්යය පිළිබඳ සිය නිළ නිවේදනය මාර්තු 10 නිකුත් කර තිබූ තත්ත්වයක් තුළ පවා නාම යෝජනා කැඳවීමේ දිනය අහෝසි කිරීම පිළිබඳ තමුන් ගත් තීරණය ආපස්සට කැඳවීමට ඉඩ තිබූ අවස්ථාවේ ද එය සිදු නොකල විධායකය විසින් වත්මන් අර්බුදයේ වගකීම ගත යුතුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් යැයි කියමින් ජුනි 20 දිනයක් නම් කළ ද යථාර්තයේදී කරුණු පෙළ ගැසෙන ආකාරය අනුව සිදු වන්නේ එක්කෝ පාලක පක්ෂයේ දේශපාලන අවශ්‍යතාවය තෘප්ත කරමින් ජනතාවගේ ජීවිත ගැන වගකීම පැහැර හරිමින් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවම හෝ තත්ත්වයන් ආරක්ෂා නොවන මැතිවරණයක් හරහා දේශපාලන බලය තහවුරු කරගැනීමේ උවමනාවට පසුබිම සැකසීමයි. එසේ නොමැතිනම් අත්තොනෝමතිකත්වක් යාවත්කාලීන කරමින් ජුනි 20 දිනයද නැවත කල් දමමින් ඉදිරියට ඇදෙන ක‍්‍රියාවලියක් සමාජය මතට ඇද දැමීමයි.

ජූනි 20 මැතිවරණය පවත්වන තත්වයක් ඇති වුවහොත් එය සිදු වන්නේ ජන රැළි, රැස්වීම්, කැන්වසින් හා පත‍්‍රිකා බෙදා හැරීම වැනි මැතිවරණයකදී භාවිතා වන සමාන්‍යය ප‍්‍රචාරක ආකෘති සියල්ල අකර්මණ්‍ය කරමින්ය. ප‍්‍රජාන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් පැවැත්වෙන එවැනි මැතිවරණයක නිසඟ වාසිය හිමි වන්නේ දේශපාලන බලය, රාජ්‍ය බලය සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් මත ආධිපත්‍යය අරා සිටින පාලක පක්ෂ කණ්ඩායම වෙතය.

අනික් අතට මේ වන විටත් සහනාධාර බෙදාහැරීමේ ක‍්‍රියාවලිය පාලක පක්ෂයේ දේශපාලන යාන්ත‍්‍රණයට නතුවී ඇති තත්ත්වයට කිසිවක් කළ කල නොහැකි බව කොමිසම සඳහන් කරයි. පොදුජන පෙරමුණේ ප‍්‍රබල නායකයෙකු වන බැසිල් රාජපක්ෂ කොරෝනා පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප‍්‍රධානියා ලෙස ප‍්‍රාදේශීය දේශපාලනඥයන් හරහා ද්‍රව්‍යාධාර බෙදා හැරීමට මැදිහත් වෙමින් සිටී. ඒ සඳහා කළ හැකි මැදිහත්වීමක් නොමැති බව කොමිසම කියයි. ජාත්‍යන්තරව ලැබුණු විශාල ණය හා ආධාර ප‍්‍රමාණයක් බෙදාහරිමින් අනෙකුත් දේශපාලන පක්ෂවල ප‍්‍රචාරක අයිතිය පවා අහිමි කරමින් සිදු කරන්නට යන මැතිවරණ නාඩගමේ කොමිසම රඟපාන්නේ කුමන චරිතයටද යන්න කොමසම විසින්ම තීරණය කළ යුතුය. එවැනි තත්වයකට මැතිවරණ කොමිසමේ ක‍්‍රියා කලාපය නියමින් හෝ අනියමින් ගොදුරු වනවාද යන්න කොමිසමේ තීරණයක් වුවත් එහි අනිටු ප‍්‍රතිඵලය මුළුමහත් සමාජයටම අදාළ ය.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජූනි 20 දිනය නම් කිරීම හරහා විවර වන මාවත් දෙක වන ජුනි 20 දිනටම මැතිවවරණය පැවැත්වීම හා ජුනි 20 මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැතැයි තක්සේරු කරමින් නැවත දිනකට කල් දැමීම යන මාවත් දෙකම හරහා නිර්මාණය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්ත්වයක් බව නැවත සිහිපත් කරන අතර කොමිසමට සලකා බැලිය හැකි වෙනත් විකල්ප තිබුණු බවද පෙන්වා දෙමු. ඉහත මාවත් දෙක තුළම පැහැදිලිවම ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් ගැබ් වී ඇති අතර එමගින් ඔවුන්ට තම දේශපාලන වාසි අත්කර දීමට අවශ්‍ය වටපිටාව සකසනු ලබයි. බරපතලම කරුණ වන්නේ මේ හරහා නිර්මාණය වන ප‍්‍රජතාන්ත‍්‍ර විරෝධී තත්ත්වයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වන අනතුරයි. ඉහත තීරණය හරහා ජනතාවට ලැබෙන්නේ ජුනි 20 පැවැත්වෙන ප‍්‍රජතන්ත‍්‍රවිරෝධී මැතිවරණයක් හෝ ජුනි 20 සිට නැවත නැවතත් දිර්ඝ කෙරෙන අත්තනොමතිකත්වයක් පෝෂණය කරන හෝ තත්වයන්ය. මේ සියලූ කරුණු සලකා බලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ජුනි 20 මැතිවරණයක් පැවැත්වීමට ගත් ඉහත තීරණයට අපගේ විරෝධය ඉදිරිපත් කරන කරන අතර එම තීරණය ඉහත සඳහන් කළ කරුණුවල පදනමේ තබා නැවත එය සලකා බලන ලෙස අවධාරණය කරමු.

ස්තුතියි.

මෙයට,
ප‍්‍රධාන ලේකම්

කුමාර් ගුණරත්නම්
2020 අපේ‍්‍රල් 23

leave a reply