Breaking News

මැතිවරණ වේදිකාවේ ස්වර්ග රාජ්‍යය පෙන්නපු ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව කෝටි හතරකට වෛද්‍ය උපාධිය විකුණයි.

පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් සරසවි උපාධි අලෙවි කිරීම ආරම්භ කරමින් වෛද්‍ය උපාධිය කොටි 4කට අලෙවි කිරීමට ආණ්ඩුව අවසර ලබාදී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි. ප්‍රකෝටිපති ව්‍යාපාරික අශෝක පතිරගේට අයත් ආසිරි රෝහල් ව්‍යාපාරය විසින් මෙම පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය ආරම්භ කිරීමට සූදානම් වේ.

උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට ඒරෙහිව අරගල කරමින් දීර්ඝකාලීන අරගලයක නිරත වූ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලබාගත් ජයග්‍රහණ ආපස්සට හැරවීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් අ.වි.ශි.බ.ම. පළ කළ ඒම නිවේදනය මෙසේය.

ගෝඨාභය ආණ්ඩුව අධ්‍යාපනය විකිණීම අරඹයි. වෛද්‍ය උපාධිය ⁣රු. කෝටි 04යි.

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ආසිරි රෝහල් ව්‍යාපාරය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සැරසෙයි. ඇබර්ඩීන් වෙබ් පිටුවේ සඳහන් පරිදි එය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. sri lankan pathway ලෙස නම් කරමින් ඇබර්ඩීන් මගින් ලබාදෙන MBchB උපාධිය මෙමගින් ලබාගත හැකි අතර පළමු වසර තුන ස්කොට්ලන්තයේදීත් අවසන් වසර දෙකෙහි සායනික පුහුණු මෙරට ආසිරි රෝහල් තුළදීත් සිදුකිරීමට සැලසුම් කර ඇත. අවශ්‍ය කෙනෙකුට ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කිරීමට හැකියාව තිබේ. sri lankan pathway ක්‍රමය අනුව මේ උපාධිය සඳහා සිසුන්ගෙන් අයකරන මුදල රුපියල් කෝටි 3.6 කි. ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කරන්නේ නම් මිල රුපියල් කෝටි 6.5කි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2008දී ආරම්භ කළ, යහපාලන ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය Saitm හොර උපාධි කඩය තුළින් උත්සාහ කළේ ද අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළඳභාණ්ඩ ලෙස භෞතීස්ම කිරීමයි. රු. ලක්ෂ 120කට වෛද්‍ය උපාධියට එහි මිල කර තිබිණි. අවසානයේදී ගමක් නගරයක් පාසා ඇවිළ ගිය දැවැන්ත ජනතා විරෝධය විසින් Saitm ව්‍යාපෘතිය අහෝසි කරන ලදී. පාලකයන් Saitm ව්‍යාපෘතියෙන් පරාජය වී වසර දෙකක් ඉක්ම යන තැන දැන් නැවතත් එවැනිම විකෘතියක් සමාජගත කරමින් සිටියි.

ජනාධිපතිවරණ වේදිකාවල නම් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන බව විනා විකුණන බවට පොරොන්දු දුන්නේ නැත. නමුත් ජනාධිපතිවරයා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කළ ඉදිරි ආර්ථික ඉලක්කයන්ගේ අධ්‍යාපනය විකිණීමට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. අධ්‍යාපන විකිණීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව දෙන බව ඔහු විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. ඇබර්ඩීන් සමඟ එක්ව උපාධි කඩයක් හැදීමට අවසර ලබා දී ඇත්තේ ඒ අනුවය. නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපය නමින් හොරණ මිල්ලණියේ ආරම්භ කිරීමට සැරසෙන කඩපිළට අනුමැතිය ඉල්ලමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ තිබුණේ එමගින් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි වන බවයි. මේ ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගෙන තිබෙන්නේ එහි යථාර්ථයයි. දෛනික වැටුපට වැඩකරමින් එදිනෙදා ජීවිතය ගැට ගසාගන්නා ජනතාව ජනගහනයෙන් 40% ක් වන රටක කෝටි හතරකට උපාධිය විකුණන්නට සැරසෙන්නේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යැයි පැවසීමම විහිළුවකි.

කොරෝනා වසංගතයට මුහුණ දීමට මහා ආර්ථික බලවතුන්ටවත් නොහැකි වී ඇති මොහොතක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව වැනි සමාජ ආරක්ෂණයන් නොවිකිණිය යුතු බවට ලෝක මට්ටමින් සාකච්ඡාවක් ගොඩනැගී තිබේ. වෙනකක් තබා පසුගිය දිනෙක ජාත්‍යන්තර සමුළුවක් අමතමින් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයට මේ මට්ටමින් හෝ මුහුණ දීමට හැකි වූයේ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා වන බවයි. නමුත් යථාර්ථයේදී එම නිදහස් සෞඛ්‍යම, එම නිදහස් අධ්‍යාපනයම වලපල්ලට යැවීම සඳහා පිඹුරුපත් අදිමින් සිටියි. ගෝඨාභය ආණ්ඩුවේ වැඩපිළිවෙළ ද ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ පන්නයේ වන බවට මෙයම කදිම නිදසුනකි.

අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළඳභාණ්ඩ නොවේ. එහෙයින් ගැටලුව උපාධියේ මිල අඩුද වැඩිද යන්න නොවේ. ගැටලුව අධ්‍යාපනයට මිලක් නියම කිරීමයි. නියම කරන මුදල ගෙවිය හැකි පිරිසකට පමණක් අධ්‍යාපනය වරප්‍රසාදයක් කිරීමයි. සමාජයේ සාතිශය බහුතරයක් ජනතාවට අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමයි. Saitm අරගලයේදී අප මතු කළ මූලික ගැටලුව ද එයයි. එහෙයින් උපාධි කඩයක් ඇරඹීම ආසිරි මුදලාලිට ආශිර්වාදයක් වූවාට ජනතාවට ආශිර්වාදයක් නොවේ. එය සමාජයට ඛේදවාචකයක් කැඳවන්නකි. රජයක් කටයුතු කළ යුත්තේ මුදලාලිලාගේ මනදොළ පිනවීමට නොව ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටය. මෙහි අරමුණ සේ දක්වා ඇත්තේ මෙරට වෛද්‍ය හිඟයට පිළිතුරු සෙවීමයි. එයට ආසිරි මුදලාලි මැදිහත් වී උපාධි කඩ ඇරීමට වෙහෙසිය යුතු නොවේ. දැනටමත් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ තුළ සිටින වෛද්‍ය සිසුන් සංඛ්‍යාව එම හිඟය පිරවීමට ප්‍රමාණවත්ය. සමාජයේ නිරෝගීභාවය පිළිබඳව එපමණ කැක්කුමක් සහිත නම් කොරෝනා වසංගතය හමුවේ ආසිරි ඇතුළු රෝහල් කඩවලට වගකීමෙන් කටයුතු කළ නොහැකි වූයේ ඇයි? ලාභ රේට්ටුවට කෑදරකමින් ආසිරි ඇතුළු පෞද්ගලික රෝහල් සිදුකළේ කොරෝනා වසංගතය නොදුටුවා සේ කර ඇරීමයි.

Saitm ව්‍යාපෘතිය පිටුපසින් මෙරටට රිංගීමට ⁣උපාධි කඩ පෝලිමක් සිටි බවත් ඒ පෝලිමේ ඉදිරියෙන්ම ඇබර්ඩීන් ද සිටි බවත් සයිටම් පරාජය කරමින් ජනතාව ජයග්‍රහණය කරනවිට ඇබර්ඩීන්ටද පලා යාමට සිදු වූ බවත් අපට අමතක නැත. දැන් කොරෝනා වසංගතයට මුවා වී නැවතත් පරාජිත උපාධි කඩ කරුවන් සමාජය ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. Saitm කඩය සේම මෙයද එන්නේ බොරු ප්‍රචාර රැසක් සමගිනි. ප්‍රචාරණ දැන්වීම්වල, අත්පත්‍රිකාවල සඳහන් කරන්නේ ලංකාවේ MBBS උපාධිය ලබා දෙන බවයි. වෛද්‍ය සභාවේ අනුමැතිය සමඟ මෙරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කළ හැකි බවයි. Saitm සඳහා ද වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදීමට සිදු කළ නිර්ලජ්ජිත දේශපාලන මැදිහත්වීම් අපි මනාව අත්විඳ ඇත්තෙමු. Saitm මුදලාලි වෙනුවෙන් වෛද්‍ය සභාවේ සභාපතිවරයා පවා වරෙක මාරු කිරීමට කටයුතු කළේය. අධිකරණ තීන්දු කැරකුණේද සයිටම් මුදලාලිට අවශ්‍ය පරිදිය. මෙහිද සිදුවිය හැකි දෙය එයයි.

පාලකයන්ගේ අවශ්‍යතාවය පැහැදිලිය. සමාජයම කොරෝනා ගිනි පෙනෙල්ලෙන් බැට කමින් සිටින මොහොතක ආණ්ඩුව දිය පොදත් මිල කිරීමට සැරසෙයි. කොරෝනා වසංගතය හමුවේ නිදහස් සෞඛ්‍යයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින්ම සෞඛ්‍ය විකිණීමට පිඹුරුපත් අදියි. එසේ ගඟෙන් පැන් බී මුහුදට ආවඩන ගෝඨාභය ආණ්ඩුවට අප Saitm ඉතිහාසය නැවත සිහිපත් කර සිටිමු. අධ්‍යාපනයට, සෞඛ්‍යයට අත තබන පළමු මොහොතේම කුමන බාධක මැද වූවත් පාරට බැසීමට අපට කිසිඳු පැකිලීමක් නැති බව අවධාරණය කරමු.

leave a reply