එවකට තිබූ තත්වය අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අවම වශයෙන් 2000ක් වත් ලබාදිය යුතු බවට සටන් කළ නමුත් මේ වනවිට බඩුමිල අඩුවී ඇති බැවින් රුපියල් 1700ක් ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් පැවසීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.
එයට හේතුව කිට්නන් සෙල්වරාජ් යනු වතු කම්කරු සටන්වල පෙරමුණ ගෙන සිටි ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නය ගැන අවබෝධයක් සහිත පුද්ගලයෙකු වීම නිසයි.
පුදුමයට කාරණාවක් වී ඇත්තේ එවැනි පසුබිමක් සහිත පුද්ගලයෙකු පසුගිය ආණ්ඩු නියෝජනය කළ මැති ඇමතිවරුන් වතු කම්කරු ජනතාවගේ අරගල සම්බන්ධයෙන් දැරූ මතයක් ඔහුත් එළෙසම දැරීමයි.
වතු කම්කරු ජනතාව අයත් මලයග තමිල් ජන ප්‍රජාව නියෝජනය කරමින් මැතිවරණය සඳහා සම්බන්ධ වූ කිට්නන් සෙල්වරාජ් වැනි අය මැතිවරණ සමයේ පැවසුවේ එම ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරන බවයි.
එදාට සාපේක්ෂව අද තත්වය වෙනස් වෙනස් වී ඇති බව සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ තේ කර්මාන්තය යම් අර්බුධයකට මුහුණ පා ඇති අතර බදුල්ල දිස්ත්‍රිකයේ කර්මාන්ත ශාලා 51ක් පමණ වැසී ගොස් ඇති බවයි. සිරස නාලිකාවේ පැවැත්වුණු පැතිකඩ නම් වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
“ඇත්තටම එදා තිබිච්ච තත්වයට අනුව ඒ සටන එතකොට හේතුවක් තිබුණා. හතර දෙනෙක් ජීවත්වෙන පවුලක වියදම මෙච්චරයි නම් ඒකට අදාළ වාර්තාවක් හදලා තියෙනවා නම් මහබැංකුව ඊටපස්සෙ වැටුප් වැඩිකරනවා නම් ඒක පදනම් කරගෙන වැටුප වැඩිකරන්න ඕනෙ. දැන් අද ගත්තොත් එහෙම තත්වය වෙනස් වෙලා තියෙන්නෙ. සමහර බඩුමිල අඩුවෙලා තියෙනවා, සමහර සේවාවන් ඒගොල්ලොන්ට වෙන විදියට ලැබිලා තියෙනවා, ඒ නිසා ඒකට අනුව අද හොඳ වැටුප් සකස් වෙන්න ඕනෙ කියන අධිෂ්ඨානයෙන් සටනෙන් ඉන්නවා. ඒක අයින් කරගන්නත් බෑ. හැබැයි අද ගත්තොත් එහෙම වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ආණ්ඩුවත් එක්ක අපි කතා කළා. ඊටපස්සෙ සමාගම් තනි තනියෙන් ගෙන්නලා සාකච්ඡා කළා. සමහර සමාගම් – දැන් මෙතන කියන්න බෑ, ඒක අවසාන සාකච්ඡාවට තවමත් ඇවිල්ලා නෑ – සමහර සමාගම් 1700 දෙන්න ලෑස්තියි. එතකොට අපි වැවිලි කර්මාන්ත අමාත්‍ය අපේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න සහෝදරයාත් එක්කත් කතා කරලා ආණ්ඩුව පොදු තීන්දුවකට ඇවිල්ලා තියෙනවා 1700ක් දෙන්න ඕනෙ කියලා. අපේ යෝජනාව තමයි අනිවාර්යයෙන්ම 1700 වතු කම්කරුවන්ට දෙන්න ඕනෙ, ඒකෙ වෙනසක් නෑ. ඒක දැන් ජනාධිපතිතුමා ළඟට එවලා තියෙනවා. ඒකට විසඳුම ළඟදීම ලැබෙයි”
එසේම මෙම කර්මාන්තයද ආරක්ෂා කළ යුතු බව පවසමින් ඔහු කියා සිටියේ වැවිලි කර්මාන්තය මේ වන විට අභාවයට ගොස් ඇති බවයි. බදුල්ල දිස්ත්‍රිකයේ කර්මාන්ත ශාලා 51ක් පමණ වැසී ගොස් ඇති බව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ 1999 දී 65%ක් වූ තේ දළු නිෂ්පාදනය වර්තමානය වන විට 16%ක් දක්වා පහත වැටී ඇති බවයි. සමහර සමාගම් විසින් වතු රජයට භාර දී යන්නට සූදානම් බව පවසයි. නමුත් එලෙස අත්සන් කර ඇති ගිවිසුම් වල සඳහන් වන්නේ නැවත එම ඉඩම් ලබා දිය නොහැකි ලෙස ඔවුන්ටම නැවත පැවරිය හැකි ඉඩම් ලෙසය. මෙවන් තත්වයක් තුළ එම සමාගම් ද තබා ගනිමින් වතු කම්කරුවන්ට ද වැටුප් ගෙවමින් වෘත්තීය සමිතියක් ලෙසද කටයුතු කරමින් යන බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.