Breaking News

චෙම්මනිවල අපරාධ සිද්ධ වෙලා – රාජ් සෝමදේව අධිකරණයට කියයි

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත් පහත් අතර යැයි ඇස්තමේන්තු කළ හැකි ගැහැණු ළමයෙකුගේ අස්ථි කොටස් බව අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණවන් සෙල්ලයියා විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන් බව Tamil Guardian වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

S-25 ලෙස ලේබල් කර ඇති එම අස්ථි කොටස් පරීක්ෂාවෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයා අධිකරණය යාවත්කාලීන කරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් අධිකරණයට කරුණු කරුණු දක්වමින් අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කර සිටින්නේ, S-48 සහ S-56 ලෙස ලේබල් කර ඇති තවත් ඇටසැකිලි දෙකක් දරුවන්ගේ දේහයන් බවට තමා සැක කරන බවයි. ඒ මෙම ඇටසැකිලි දෙකේ ඇඳුම් සහ විද්‍යාත්මක ව්‍යුහය S-25 අස්ථි කොටස්වලට සමානකම් පෙන්වන නිසා බවයි ඔහු සඳහන් කර ඇත.

මේ පිළිබඳව සංසන්දනාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, තවදුරටත් මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

යාපනය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා තහවුරු කළේ මේ දක්වා චෙම්මනිහි සිදු කරන ලද කැණීම් හරහා පළමු කැණීම් ස්ථානයෙන් 63 ක් වශයෙන් හා දෙවන කැණීම් ස්ථානයෙන් 02 ක් වශයෙන් අස්ථි කොටස් 65ක් හඳුනාගෙන ඇති බවයි.

අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණවන් සෙල්ලයියා මෙන්ම මහාචාර්ය රාජ් සෝමදේව ද මෙසේ අධිකරණය වෙත අතුරු වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර, එහි දී මහාචාර්යවරයා වැදගත් ප්‍රධාන කරුණු ලෙස දක්වා සිටියේ, හඳුනාගත් චෙම්මනි සමූහ මිනීවළ ස්ථානයේ අපරාධ ක්‍රියාකාරකම් සිදු වූ බවට ඇඟවීම් තිබෙන බවත්, එම සොයා ගන්නා ලද අස්ථි කොටස් ඔවුන්ගේ සංස්කෘතියට අනුව සිදු කරනු ලබන සම්ප්‍රදායික භූමදානවලින් ලබාගත් ඒවාට සමාන නොවන බවත් ය. එහෙයින් මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුර සවිස්තරාත්මක පරීක්ෂණ අවශ්‍ය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් පසුගියදා අත්හිටුවන ලද දෙවන අදියරේ කැණීම් කටයුතු නැවත ජූලි 21 වන දින නැවත ආරම්භ කරන බව ප්‍රණවන් සෙල්ලයියා තහවුරු කර තිබේ.

චෙම්මනි සමූහ මිනීවළ නඩුවේ ඊළඟ නඩු විභාගය අගෝස්තු 6 වන දිනට නියමිතයි.

leave a reply