Breaking News

වසංගත කාලසීමාවේ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවාගැනීම් ඉහළ ගිහින්

පසුගිය වසරේ කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ දක්වා නීතිවිරෝධි රඳවාගැනීම් හා අත්අඩංගුවට ගැනීම්වලට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි එම කොමිසම සඳහන් කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ අත්අඩංගුවේ පසුවන හා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමුකරමින් කොමිෂන් සභාව මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසූරියගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබේ.

මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය හමුවේ එවැනි තත්ත්වයන් ඇති නොවීමට වගබලාගන්නා ලෙසද, අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස ද එම කොමිසම පොලිස්පතිවරයාට දන්වා තිබේ.

කොරෝනා තත්ත්වය හමුවේ සංචරනය සීමා කිරීම තුළ දීර්ඝකාලීනව රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන්ට තම නීතීඥයින් මුණගැසීමටත්, ඥාතීන් මුණගැසීටමත් අවස්ථාව තාවකාලිකව ලබා නොදීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු සුභසාධනය ගැටළුකාරී බවට විවිධ පාර්ශ්වයන් දන්වා ඇති බව ද කොමිසම සඳහන් කරයි. රැඳවුම් නියෝග මත රදවා සිටින රැඳවුම්කරුවන්ගේ සුබසාධන කටයුතු හා ඔවුන්ට ඥාතීන් හා නීතීඥයින් සමග සන්නිවේදනය කිරීමට ගන්නා සාධනීය හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග පිළිබදව 2021.05.15 දිනට පෙර කොමිසම දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද එම කොමිසම පොලිස්පතිවරයවාට දැනුම් දී ඇත.

එම කොමිසම යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.
“පසුගිය වසරේ ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේදී (2020.03.17 – 2020.05.15) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නීතිවිරෝධි රදවාගැනීම් හා අත්අඩංගුවට ගැනීමට අදාළව ලද පැමිණිලි සංඛ්‍යාවේ ඉහලයාමක් සිදුවු බව කොමිෂන් සභාව නිරීක්ෂණය කරන ලදී.
ඒ පිළිබදව 2020.08.27 දින ඔබ වෙත ලිඛිවත දැන්වීමක් ද සිදු කරන ලද අතර ඒ සම්බන්ධ නිරීක්ෂණ හා එවැනි තත්ත්වන් වළක්වාගැනීමට ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීමට දන්වා ඇත.

මේ වන විට නවතම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේදී එවැනි තත්ත්වයන් ඇති නොවීමටත්, අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් සම්බන්ධව නිතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට ඔබ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමු.

තවද මෙම තත්ත්වය මත සංචරනය සීමා කිරීම තුළ දීර්ඝකාලීනව රැදවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන්ට තම නීතීඥයින් මුණගැසීමටත්, ඥාතීන් මුණගැසීටමත් අවස්ථාව තාවකාලිකව ලබා නොදීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු සුභසාධනය ගැටළුකාරී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පාර්ශ්වයන් විසින් දන්වා ඇත. ඒ අනුව රැඳවුම් නියෝග මත රදවා සිටින රැඳවුම්කරුවන්ගේ සුබසාධන කටයුතු හා ඔවුනට ඥාතීන් හා නීතීඥයින් සමග සන්නිවේදනය කිරීමට ඔබ විසින් ගන්නා සාධනීය හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග පිළිබදවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2021.05.15 දිනට පෙර දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් මෙයින් දන්වා සිටිමු.

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 11(අ) වගන්ති ප්‍රකාරව මූලික අයිතිවාසිකම් පිළිබදව විමර්ශනය කිරීමත් 11(ඇ) වගන්තිය බලතල ප්‍රකාරව අධිකරණමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ ඳදවා ගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය සදහා විය හැකි නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කරයි.”

medialk.com වෙබ් අඩවිය ඇසුරිණි

leave a reply