Breaking News

එන්නත අත්හදා බැලීමට දරුවන් යොදා ගන්න එපා – ඕමල්පේ සෝභිත හිමියෝ ඉල්ලති

දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් නිශ්චිත එකගතාවයක් නොමැති බවත්, ඒ නිසා දරුවන්ට එන්නත් ලබාදී පර්යේෂණ සදහා සහ අත්හදාබැලීම් සදහා යොදා නොගන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක‍්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි සෝභිත හිමියෝ දේශීය වෛද්‍ය විද්‍යාව අනුව ප‍්‍රතිශක්තිය වර්ධනය වන ආකාරයේ ක‍්‍රමවේදයන් ගැන අවධානය යොමු කළ යුතු බවද කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් සෝභිත හිමියෝ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.

කොරෝනා වෛසරය නිසා අපි හැමෝම මුහුණදෙන අර්බුදය තුල දුර දිග බලා කටයුතු කළ යුතු වෙනවා. මේ වන විට ඒ ආකාරයට දුර දිග බලා කටයුතු කරන ආකාරයක් පෙනෙන්න නැහැ.

වෛරසවේදය පිළිබද මහාචාර්ය තිස්ස විතාරණ මහතා සමග මම අද සාකච්ඡුා කළා. ඒත් එක්කම ස්වසන විශේෂඥ චන්නද සිල්වාගේ අදහස් ප‍්‍රකාශ කිරීම්වලටත් මම ඇහුම් කන් දුන්නා. හැමෝම දරන අදහස වෙන්නේ දරුවන්ට එන්නත් ලබාදීම පිළිබද ප‍්‍රශ්ණය මෙතරම් ඉක්මනට ගන්න එපා කියන එකයි.

දරුවන්ට එන්නත් ලබාදීම සදාචාර විරෝධී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහෙනම් දරුවන්ට එන්නත් ලබාදීම ගැන තීන්දු ගන්නේ කවුද? එන්නත් ගත් විට රෝගය වැලදෙන්නේ නෑ කියලා මුලින් කිව්වා. ඊට පස්සේ රෝගය වැළදුනත් එන්නත් ගත් අයට අසාද්‍ය වෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ අසාද්‍ය වුනත් මැරෙන්නේ නෑ කියලා කිව්වා. ඒත් එන්නත් ගනිපු හැමෝම මරණයෙන් බෙරුනාද? මෙවැනි අස්ථාවර තත්වයක් තුළ, ස්ථාවර විද්‍යාත්මක ක‍්‍රිවයාවකට අපේ දරුවන් යොමු කරන්නේ ඇයි?

හර්ෂ අතපත්තු වෛද්‍යවරයා කියන්නේ අවුරුද්දකට දරුවන් හැදීම කල් දමමු කියන අදහසත් අපිට සැකසහිතයි. පවුල් සංවිධාන මුවාවෙන් කරපු එකම දේ වෙන්නේ උපත් පාලනය විතරයි. තවත් අවුරුදු තුන හතරක් වෙනකොට පළමු ශ්‍රේණියට දරුවන් නැති වෙන්න පුලුවන්. සිංහල බෞද්ධ ජනවර්ගයේ අනාගතය ගැන හිතන අය අදහස් දක්වා තිබෙනවා.

මේ තත්වයේ අලුත් පෙරහුරුවක්ද දරුවන්ට එන්නත්කරණය හරහා එන්නේ. මේ අවුරුද්ද තුළ පිළිසිදගැනීම් නැවතීම යනු උපත් පාලනයේ අලුත් පිටුවක්ද පෙරලන්නේ?

කුසේ සිටින දරුවන්ට එන්නත නිසා බලපෑමක් එනවා නම්, කුඩා දරුවන්ට එන්නත ආරක්ෂිතයි කියන්නේ කොහොමද? වැඩිහිටියන්ට එන්නත් ලබාදීම ගැන තවම පර්යේෂණ සිදුවෙනවා. මේ අත්හදාබැලීම්වලට දරුවන් යොමු කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

තිස්ස විතාරණ මහාචාරයතුමන් කියන ආකාරයට දරුවන්ට එන්නත් ලබාදීමට කලබල වෙන්න එපා. මේ එන්නත ගැන අපේ රටේ දේශීය වෛද්‍ය නිගමන කෝ? අපේ රටේ වෛද්‍ය විද්‍යාවල පර්යේෂණාගාරවල වාර්තා? ඒ ඒ රටවල නිෂ්පාදනය කරන එන්නත් ඒ ඒ රටවල ජනතාවගේ ජාන ශක්තිය අනුව සකස් කරන එන්නත් අපේ ජාන ශක්තියට දක්වන ප‍්‍රතිචාරය මොකක්ද කියලා කවුරුවත් දන්නේ නෑ.

දරුවන් අත්හදාබැලීම්වලට යොමු කරන්න එපා. මේ විශය ගැන දන්න විශේෂඥයින්ගේ මතයට ගරු කරමින් තමයි මම මේ අදහස් ඉදිරිපත් කරන්නේ.

කොවිඩ් අර්බුදය ඇතිවුන අවස්ථාවේ සිටම දේශීය වෛද්‍ය ක‍්‍රමයට තැන දෙන්න කියලා අපි ඉල්ලා සිටියා. මේකට රසායනාගාර පරීක්ෂණ වාර්තා නෑ කියලා සමහරු කිව්වා. ජන සමාජය නැමති පර්යේෂණාගාරයේ වසර දහස් ගණනක් කළ පර්යේෂණවල ප‍්‍රතිඵල ජනතාව අතර සජීවීව තිබෙනවා. ඒකම ඇති.

පාසල් විවෘත කිරීමට ගත් තීරණය ක‍්‍රියාත්මක කරන්න. ඒ අතරම දේශීය වෛද්‍ය ක‍්‍රමය අනුව ආරක්ෂක බෙහෙතක් නිර්මාණය කරගන්නා හැටි අපි දෙමාපියන්ට කියලා දෙමු. දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව කැදක්, සුප් එකක්, දේශීය බෙහෙතක් නිර්මාණය කරලා අපි දරුවන්ට දෙමු. මාපිය සංගම් ඒකට තියෙනවා. ඒකට කැපවූ දේශීය වෛද්‍යවරු ඉන්නවා.

දරුවන්ට ස්වභාවික ප‍්‍රතිශක්තිකරණය මගින්ම කොරෝනා වෛරසය පරදවමු. දරුවන් අත්හදාබැලීම්වලට යොමු කරන්න එපා.

leave a reply