ලලිත් කූගන් නඩුවෙන් ගෝඨාභය එළියට – නීතිය පාලකයාගේ කැමැත්ත බවට පත්වෙමින් තිබේ.

Date:

දේශපාලන ක්‍රියාකාරින් වූ ලලිත් සහ කුහන් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවට අදාළව අද(24) අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසුවේ ලලිත් සහ කුහන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව දක්වමින් අභියාචනාධිකරණය එම සිතාසි බලරහිත කිරීම පිළිබඳ අදහස් දක්වමිනි. පුබුදු ජයගොඩ පවසන්නේ මෙම කැඳවීම සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටියදී සිදුවූ කරුණක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට වන බැවින් ඒ සඳහා බලයක් අධිකරණයට ඇති බවයි. ඒ අනුව මෙම තීන්දුව පිළිනොගන්නා බවත් මෙම අරගලය නෛතිකව මෙන්ම දේශපාලන වශයෙන් ඉදිරියට ගෙන යනබවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“2011 දෙසැම්බර් මාසේ 09 වනදා ලලිත් සහ කුහන් කියන අපේ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනාව අධි ආරක්‍ෂිත කලාපයේදී පැහැරගනු ලැබුවා. ඊට එරෙහිව අපි අභියාචනාධිකරණයේ හබයාස් කොපුස් පෙත්සමක් ගොනුකරා. අභියාචනාධිකරණය විසින් එහි සාක්ෂි විමසීම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට බාරදුන්නා. 2016 මැයි මාසයේ 03වනදා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සාක්ෂි දීමට පැමිණියා. එහිදී ඔහු අනාවරණය කළ කරුණු අනුව ආරක්ෂක අමාත්‍යංශය ඒ දෙදෙනාගේ අතුරුදහන් වීම සම්බන්ධව දැන සිටි බව තහවුරු වුණා. ඒ නිසා අපි අධිකරණයෙන් ඉල්ලීමක් කරා ඔය කියන වකවානුවේ, 2011 දෙසැම්බර් 09වනදා වනවිට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂව අධිකරණයට කැඳවලා ඒ පිළිබඳ සාක්ෂි විමසීමක් කරන්න කියලා.

ඒ අනුව 2019 ජනවාරි 11වනදා යාපනය අධිකරණය ගෝඨාභය රාජපක්ෂට එම වසරේ මැයි 03වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින්න කියලා නොතීසි නිකුත් කළා. නමුත් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයෝ අධිකරණයට ඇවිත් කිව්වා පුද්ගලික හේතුවක් මත ඔහුට පැමිණෙන්න බැහැ කියලා. ඊට පස්සේ ජුනි 21වනදා නැවත දිනයක් දුන්නා. එදා ඔහුගේ නීතිඥයෝ අධිකරණයට ඇවිත් කිව්වා ඔහුට අසනීප නිසා බැහැ කියලා. ඊට පස්සේ 2019 සැප්තැම්බර් 27වනදා තමයි නඩුව කැඳවීමට නියමිතව තිබුණේ. එහෙම තියෙද්දී සැප්තැම්බර් මාසෙ 24වනදා ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයෝ අධිකරණයට ඇවිල්ලා ඔහුව අධිකරණයට කැඳවන්න බැහැ කියලා වාරණ නියෝගයක් ගත්තා. ඉතාම අසාධාරණ විදිහට එම වාරණ නියෝගය නිකුත් කරලා තිබුණේ ජනාධිපතිවරයා පවත්වන තුරු. සැප්තැම්බර් 24 සිට දෙසැම්බර් 03 දක්වා ඔහුව අධිකරණයක් ඉදිරියට කැඳවන්න බැහැ කියලා නියෝගයක් නිකුත් කළා. ඔහු හේතුව ලෙස කියලා තිබුණේ අධිකරණයට එන එක ඔහුට ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් ඔහු ඒ වෙනකොට ජනාධිපතිවරණයේ හැම රැස්වීමකට සහභාගී වෙමින් හිටියා. අධිකරණයටත් වඩා ඉතාම අනාරක්ෂිත තැන්වලටත් ඔහු ගියා. මේකට එරෙහිව තමයි අපි අභියාචනාධිකරණයට නැවත ගියේ.

අද දුන්න තීන්දුවට අනුව අභියාචනාධිකරණය කරුණු දෙකක් කියලා තියෙනවා. පලවෙනි එක ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සිතාසි නිකුත් කිරීමේ බලයක් නැහැ කියලා. දෙවැනි එක ජනාධිපතිවරයෙක්ව අධිකරණය ඉදිරියට කැඳවන්න බැහැ කියන එක. මේ කරුණු දෙකම අපි පිළිගන්නේ නැහැ. එකක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොවෙයි ආරක්ෂක ලේකම්වරයාව සිටියදී එනම් ඔහු රජයේ නිලධාරියෙකුව සිටියදී සිදුවූ කරුණක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා ඔහුට සිතාසි නිකුත් කිරීමේ බලයක් අධිකරණයට තියෙනවා. මේ වෙනකොට පාස්කු කොමිසමේ සාක්ෂි දෙන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැඳවනවා. ඔහු කැඳවන්න සිතාසි නිකුත්කරන්න බෑ කියන්න බැහැ. ඒක කරන්න අධිකරණයට බලය තියෙනවා. ඊළඟට ජනාධිපතිවරයෙක්ව අධිකරණයට කැඳවන්න බැහැ කියන එක ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වෙන්නෙ ජනාධිපතිවරයෙක් කරන ලද වරදකට අදාළව චූදිතයා කරලා ඔහුව අධිකරණයට කැඳවන්න බැහැ කියලා. නමුත් දැන් මේ ගෝඨාභය රාජපක්ෂව අධිකරණයට කැඳවන්න යන්නෙ ඔහුව චූදිතයෙක් කරලා නෙමෙයි, සාක්ෂිකරුවෙක් ලෙස. ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ කරනකොට සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා. ජනාධිපතිවරයාට සාක්ෂිකරුවෙක් ලෙස ඇවිත් තමන් දන්නා තොරතුරු ප්‍රකාශ කරන්න කිසිදු බාධාවක් නැහැ.

ඒ නිසා මේ තීන්දුව අපි පිළිගන්නේ නැහැ. මේකට විරුද්ධව නීතිමය ක්ෂේත්‍රයේ අපි අභියාචනා ගොනුකරනවා. අපි නීතිමය පැත්තේ මේ අරගලය ගෙනියනවා වගේම දේශපාලන පැත්තෙත් මේ අරගලය ගෙනියනවා. 2019 නොවැම්බර් 16
ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් ලක්ෂ 69 ඇතුලේ ලංකාවේ හැමෝටම එක නීතියක්, විනයක්, යුක්තිය ස්ථාපිත කරන්න කියන විශාල පිරිසක් ඉන්නවා. අතුරුදන්වූවන්, මරා දැමුවන් සම්බන්ධ කරුණු මත පදනම්වෙලා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඡන්දය දුන්න හරි ඡන්දය කටු ගාපු තවත් ලක්ෂ 65ක් රටේ ඉන්නවා. එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නු අය බලාපොරොත්තු වුණේ මෙවැනි අයුක්ති සහගත දෙයක්ද කියන එක විමසනවා. ඒවගේම අපි ඉල්ලනවා ඔවුන්ගෙන් මේ අයුක්තියට එරෙහිව සාධාරණය වෙනුවෙන් වූ අරගලයට එකතු වෙන්න කියලා. ඒවගේම දැන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඡන්දය දීලා ඊළඟ මැතිවරණය වෙනකම් යුක්තිය ඉටුකරගන්න වෙන්නෙ නෑ කියලා දුර්මුඛ වෙලා නිහඬ වෙලා ඉන්න අයගෙනුත් අපි ඉල්ලනවා එහෙම ඉන්න එපා. පුළුල් මහජන බලයක් ගොඩනගමු.

මේක ලලිත් සහ කුහන් දෙදෙනා පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මේක අතුරුදහන්වූවන් පිළිබඳ දේශපාලන ඝාතනවලට ලක්වූවන් ඇතුළු ඒ සියලු දෙනාගේ ප්‍රශ්නයක් මේක. අතුරුදහන් කිරීමවලට එරෙහිව දැනට අධිකරණයේ පවතින එකම නඩුව. මේ නඩුව ඉදිරියට ගෙනියන්න මේකට අදාළ මහජන බලයක් ගොඩනගන්න පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට එකතුවෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. නෛතික ක්‍රියාමාර්ග ගත්තොත් අපි මේ සතිය ඇතුලත මේ තීරණයට විරුද්ධව අභියාචනා කරන්න බලාපොරොත්තු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...