Breaking News

ගෙන්ගිස් ඛාන් සහ ජනමාධ්‍ය විකටරූප!!!

චන්දන සිරිමල්වත්ත

Visual contents concept. Social networking service. Streaming video. communication network. 3D illustration.

පැය කිහිපයකට පෙරාතුව අවසන් වූ කැබිනට් තීන්දු දැනුම්දීම සඳහා වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුව අවසානයේ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසා ඇත්තේ රජයේ මාධ්‍ය හැඳුනුම්පත හිමි මාධ්‍යවේදින්ට පමණක් මින් පසුව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවන්නට අවසර හිමිවන බවය.

ඒ අනුව, ආණ්ඩුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් පිළි නොගන්නා කිසිවකු රජයේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට සහභාගි වීමට අවස්ථාව අහිමි කෙරෙනු ඇත. වත්මන් ආණ්ඩුව පසුගිය දෙසැම්බරයේම මෙවැනි සීමාවක් පනවන්නට සූදානම් වුවද දක්නට තිබුණේ එක්වරම මාසයකට පෙර බලය ලබාගත් අලුත් ආණ්ඩුව ලෙස එවැනි තීරණයක් ක්‍රියාත්මක කරන්නට ධෛර්යයක් තිබුණේ නැති බවකි. නිරන්තරයෙන් ප්‍රශ්න අසන වෙබ් මාධ්‍යවේදින් කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවෙන් පිටමං කිරීම එහි අරමුණ බවට චෝදනා එල්ල විය. දැන් එම අරමුණ ක්‍රියාත්මක කරන්නට ධෛර්යමත් තීරණයක් ගෙන ඇත. මෙහි අර්ථය පැහැදිලිය.


ජනමාධ්‍යවේදියකු යන්න ගැන තමන්ට කැමැති නිර්වචන අනුව කටයුතු කිරීමට ජාතික ජනබලවේගය ආණ්ඩුව තීරණය කර ඇත. මාධ්‍යවේදියකු යනුවෙන් අදහස් කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල හැඳුනුම්පත අතැති අයකු යැයි කියමින් මාධ්‍යවේදින්ට තර්ජනය කරන සීමා පනවන පැරණි ප්‍රතික්ෂේපිත පාලකයන්ගේ ස්ථාවරයම වත්මන් ‘ඊනියා ප්‍රගතිශීලි ආණ්ඩුව’ විසින් ඔසවා ගෙන යන්නේ ඇයි?


ජනමාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනම ලෙස සිතිය හැකිය. එයින් සමාජයක ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය මෙන්ම අදහස් පළ කිරීමේ නිදහස ආරක්ෂා කෙරේ. ජනමාධ්‍යවෙිදීන්ට නිදහස අහිමි කිරීම යනු ඔවුන් විසින් වාර්තාකරණය කරන දේ පාලකයන්ට රුචි නොවන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යනු ආණ්ඩුවේ ප්‍රචාරක ආයතනයක් නොවේ. එහිදී ආණ්ඩුවේ තීන්දු තීරණ හා ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදින්ට අවස්ථාව ලබා දිය යුතුය. මෙම මාධ්‍ය හමුවට පැමිණෙන සියලු මාධ්‍යවේදින් ප්‍රශ්න අසන්නේ නැත. සමහර මාධ්‍යවේදින් හුදු වාර්තාකරණය කරනවුන්ය. එය ඔවුන්ගේ අයිතියයි. නමුත් සමහර මාධ්‍යවේදින් ප්‍රශ්න අසන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙනි. ඇසිය යුතු ප්‍රශ්න අසන්නට ඔවුන්ට අවස්ථා හිමි වන්නේද නැත. පසුගිය කාලයේ ඇතැම් මාධ්‍යවේදින් තමන්ට ප්‍රශ්න අසන්නට අවස්ථා අහිමි කරෛන බව කියා තිබිණි.


සූම් තාක්ෂණයෙන් ප්‍රශ්න අසන්නට අවස්ථා වැඩි කරනවා වෙනුවට එම අවස්ථා කපා හැරි බව දක්නට ලැබුණි. නමුත් දැන් සිදුවන්නේ ඒ කුමන ආකාරයෙන් හෝ මාධ්‍යවවේදින්ට අජයේ තීරණ දැනුම් දෙන තැන ප්‍රශ්න අසන්නට හෝ නිහඬව අසා ඉන්නට හෝ සහභාගිත්වයො නොදී වැට බැඳීමය.


ජේආර්ගේ 17 වසරක පාලනය යටතේ හෝ චන්ද්‍රිකාගේ පාලනය හෝ රාජපක්ෂ පාලනය සමයේ හෝ රනිල්ගේ පාලනය යටතේද මෙම නිදහස ජනමාධ්‍යවේදින්ට හිමි වූයේ නැත. එවැනි මර්දනකාරි පාලනයකදී මාධ්‍යවේදින්ට තර්ජනය කිරීමේ සිට පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම මහමග මරාදැමීම වැනි කෘර ඉරණමක් හිමි විය. නමුත් වත්මන් පාලනය පැමිණියේ ඒ සියල්ල වෙනස් කරන්නට පූර්ණ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට හා මාධ්‍ය නිදහස ලබා දෙන්නට පොරොන්දු වීමෙනි. නමුත් දැන් සිදුවන්නේ නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය ඇමතිවරයා, රජයේ තීරණ ගැන කියද්දී මාධ්‍යවේදින් ඒවා ප්‍රශ්න කරන විට ඇතිවන පීඩාවෙන් ගැලවීම සඳහා ‘කරදරකාර මාධ්‍යවේදින්ට පැත්ත පළාතේ එන්න නොදී දොර වසා දැමීමයි’.


කිසියම් පාලකයකු, තමන් කැමති තොරතුරු පමණක් ජනතාවට දැනගත යුතු යැයි තීරණය කළ දාට එම රටේ ජනමාධ්‍ය වෙත සීමා පනවනු ලබයි. ඉන්පසුව ජනමාධ්‍ය ඔස්සේ තමන් ට අවශ්‍ය වූ විට මාධ්‍ය හමු, සියලු විද්‍යුත් නාලිකාවල සජීවි ලෙස විකාශය කෙරෙන රූපවාහිනි සාකච්ඡා ආදි වශයෙන් විකාර සහගත සංදර්ශන පැවැත්විය හැකිය. අප ලාංකිකයන් වශයෙන් මෙවැනි විගඩම් ඇති තරම් අත්දැක තිබෙන නිසා නලින්දලා යන පාර ගැන අමුතුවෙන් කිසිවක් කිව යුතු නැත.


ආචාර්ය කේමදාසගේ ‘රජවැඩ’ ගීතාවලියේ එක් ගීතයක ප්‍රස්තුතය වන්නේ ඒකාධිපති ගෙන්ගිස් ඛාන් අධිරාජ්‍යයා පිළිබඳ පුරාවෘතයකි. ඒකාධිපති අධිරාජ්‍යයා වරක් සිය යටත්වැසියන්ට නියෝග කළේ මින් පසුව මගේ යටත්වැසියන් සියලු දෙනා මුලු දවස පුරා සිනා සිය යුතු බවය. ඔහුට උවමනා වූයේ තම පාලනය යටතේ සියලු දෙනා සතුටින් ඉතා තෘප්තියෙන් වාසය කරන බව ලෝකය හමුවේ කියාපෑමටය. එහෙත් එම ගීතයේ කියැවෙන ආකාරයට, රාජ නියෝගය පිලිපැදිය යුතු නිසා මුලු දවස පුරාම රටවැසියෝ දවස පුරා සියලු අවස්ථාවල සිනාසුනාහ. එහෙත්, ඒ සෑම දිනකම, මහ රාත්‍රියේ ඔවුහු හොර රහසේ ස්ටෙප්ස් තැනිතලාවට එකතු වී සිය ජීවිතයේ දුක්බරකම, පීඩාව ඉවසා දරාගත නොහැකිව ඇති තරම් හඬා වැළපුණ බවයි. ඒකාධිපතියකුට අවශ්‍ය ආකාරයේ සීමා පැනවීම් වත්මන් පාලනයෙන් අපේක්ෂා කෙරෙන්නේ නැත.

හැඳුනුම්පත් තිබෙන නිසා මාධ්‍යවේදින් වන්නේ යැයි ලෝකයේ කිසිම තැනක පිළිගැනීමක් ඇති වී නැත. මාධ්‍යවේදින්ගේ පහසුව සඳහා එක් එක් මාධ්‍ය ආයතන විසින් හැඳුනුම්පත් නිකුත් කරන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවැනි හැඳුනුම්පතක් නිකුත් කිරීම රජය විසින් මාධ්‍යවේදින්ට සිදුකරන පහසුවක් මිස එය ඔවුන්ගේ වගකිවයුතු වෘත්තිය හෑල්ලු කිරීමට යොදාගන්නා මිනුම්දණ්ඩක් නොවිය යුතුය.
නලින්ද ජයතිස්ස මාධ්‍ය ඇමතිවරයාගේ සහ අනෙකුත් අයගේ දැනගැනීමට ජනමාධ්‍යවේදියා යනුවෙන් ලෝකය පිළිගත් අර්ථයන් මෙසේ උපුටා දක්වමි.

📕Oxford
a person who writes for newspapers, magazines, or news websites or prepares news to be broadcast.

📕Cambridge
a person who writes news stories or articles for a newspaper or magazine or broadcasts them on radio or television:

📕Merriam Webster
Synonyms of journalist
a : a person engaged in journalism
especially: a writer or editor for a news medium
b : a writer who aims at a mass audience

leave a reply