යුද්ධය අවසන් වී වසර 16ක් ගෙවී තිබුනද යුක්‍තිය ඉටු කිරීම සඳහාත් නැවත එවැනි යුද ගැටුමක් සිදුවීම වැළැක්වීම සඳහාත් ගතයුතු අත්‍යවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය අද (19) දින ප.ව. 1.00 ට නුගේගොඩ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී. එහිදී ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ පළ කළ අදහස
” මේ වනවිට රටේ යුද්ධය සහ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් කතාබහක් නිර්මාණය වෙමින් තියනවා. 2009 වසරේ දී යුද්ධය අවසන් වීමෙන් පසුව යුද්ධයෙන් පස්සෙ ගෙවුණු කාලය දිහා හැරිලා බලද්දි අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි යුද්ධය නිසා අපිට මොනවද ලැබුණේ ? කියන ප්‍රශ්නය. ඇත්තටම මේ යුද්ධය නිසා උතුරේත් දකුණේත් ජනතාවට ඉතුරු වුනේ අහිමිවීම් විතරයි. වේදනාව සහ කඳුළු එක්ක අඳුරු මතකයන් ගොන්නක් අදටත් ඔවුන්ගේ මනස තුළ හොල්මන් කරනවා. ජනතාව එවැනි ඉරණමකට ඇදලා දාලා උතුරේත් දකුණේත් දේශපාලකයෝ තිස්වසරක යුද්ධයෙන් බලය ධනය වර්ධනය කරගත්තා විශාල දේශපාලන වාසි ලබාගත්තා.
සමාජය තවමත් කතාකරනවා තිස් වසරක අඳුරු යුද්ධයට හේතු වුණ දේශපාලන තත්වය ගැන. උතුරේ දෙමළ ජනතාව සුළුතර ජනතාව විදිහට සළකමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලබා දුන්නෙ නෑ. අඩුමතරමින් මනුෂ්‍යයන් විදිහට ඔවුන්ට මේ රටේ පිළිගැනීම ලැබුණේ නෑ. දේශපාලකයෝ වසර ගණනාවක් කලේ මේ ප්‍රශ්නය මාකට් කරලා දේශපාලන වාසි ගන්න එක. එහෙම තත්වයක් ඇතුලේ තමයි දෙමළ ජනතාව සන්නද්ධ අරගලයක් සඳහා යොමු වුණේ. ඒ ක්‍රියාමාර්ගය ගැන අපිට දේශපාලන විවේචන තියනවා. නමුත් ඒකෙන් එහි වගකීමෙන් නිදහස් වීමේ අයිතියක් අපිට නෑ. අපි දන්නවා උතුරේ සහ දකුණේ සියලු දේශපාලන පක්ෂ යුද්ධයක් පවත්වාගෙන යන්න අඩු වැඩි වශයෙන් දායක වුනා. වර්තමාන ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණට පවා එහි වගකීමෙන් නිදහස් වෙන්න බෑ.
ආණ්ඩුව යුද ජයග්‍රහණය සමරන රාජ්‍ය උත්සවයට අනුර දිසානායක ජනාධිපතිවරයාත් සහභාගී වෙන්න නියමිතයි. නමුත් අපිට අහන්න තියෙන ප්‍රශ්නය තමයි ඇත්තටම මේ යුද්ධයේ අපිට සමරන්න ජයග්‍රහණයක් තියනව ද ? ඉස්සර අපි TV එක ඉස්සරහා ප්‍රවෘත්ති අහන්න වාඩි වුණාම අපිට අහන්න ලැබුණා භූමිය අත්පත් කරගැනීම් ගැන. අද තොප්පිගල අත්පත් කරගත්තා. මුලතිව් අත්පත් කරගත්තා, වව්නියාව අත්පත් කරගත්තා මේ විදිහට භූමිය අත්පත් කරගැනීම තමයි දකුණේ සිංහල ජනතාවට යුධ ජයග්‍රහණය විදිහට පෙන්නුවේ. ඒ භූමිය අත්පත් කරගැනීම වෙනුවෙන් දකුණේ සිංහල බෞද්ධ තරුණයන් දස දහස් ගණනින් උතුරේදී ජීවිතය අහිමි කරගත්තා. ඒ භූමිය අත්පත් කරගැනීම වෙනුවෙන් උතුරේ දෙමළ තරුණයන් දහස් ගණනාවකගේ ජීවිත අහිමි කළා. නමුත් අද ඒ ජයග්‍රහණයක් විදිහට අපිට පෙන්නුව භූමිය අද අපිට අයිති ද ?
අපි දන්නවා මේ ආණ්ඩුව පසුගිය අප්‍රේල් 5 ඉන්දියාව සමග ගිවිසුම් ගණනාවක් අත්සන් කලා. ඒ ගිවිසුම්වල තියනවා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සම්බන්ධ ගිවිසුමක්. ඒ ගිවිසුම අනුව ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය දක්වා තෙල් නළ එලන්න උතුරේ ඉඩම් පවරගන්න අයිතිය ලබා දීලා තියනවා. බලශක්ති ගිවිසුම අනුව ඉන්දියාවට ලංකාවේ ඉඩම් ලබාදෙන්න එකඟ වෙලා තියනවා. ආරක්ෂක ගිවිසුමේ තියනවා ඉන්දියාවට යුධ අවි නිශ්පාදනය කරන්න ලංකාවේ භූමිය පාවිච්චි කරන්න පුලුවන් කියලා. අපි දන්නවා මහින්ද රාජපක්ෂගේ කාලේ නැගෙනහිර ප්‍රදේශයේ වර්ගකිලෝමීටර් 684ක භූමියක් ඉන්දියාවට ලබාදෙන්න ගිවිසුම් ගත වුණා. රනිල් වික්‍රමසිංහ ත්‍රිකුණාමලේ අක්කර 7000ක භූමියක් ඉන්දියානු ආර්ථික කලාපයක් විදිහට සංවර්ධනය කිරීම සඳහා ලබා දෙන්න එකඟ වුණා. දැන් එතකොට අපිට අහන්න තියෙන්නතිය එදා යුධ ජයග්‍රහණයක් විදිහට අපිට පෙන්නුව ඒ භූමියේ අයිතිය අද අපිට තියනවද ? අද ඒ ඉඩම් සිංහල , දෙමළ , මුස්ලිම් කිසිඳු ජනතාවකට අයිති නෑ. අද ඒ භූමිය ඉන්දියානු උවමනාවන්ට පාවාදීලා. ඒ ඉඩම්වල සම්පත් අද ඉන්දියාව මංකොල්ල කනවා.
අද හවස පාර්ලිමේන්තුව ඉදිරිපිට රණවිරු ස්මාරකය අභියසට එනවා දකුණේ මියගිය හමුදා සෙබළුන්ගේ ඥාතීන්. අපි අහනවා ඒ ජීවත අහිමි කරගත්ත ඔවුන්ගේ අරමුණු අද ඉෂ්ට වෙලාද ? එහෙම වෙලා නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ යුද්ධයේ කිසිඳු ජයග්‍රහණයක් නෑ. ඒ නිසා යුධ ජයග්‍රහණයක් සමරන්න කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නෑ.
ජනාධිපතිවරයා මුලින් තීරණය කරලා තිබුණේ මේ සැමරුමට නොයා ඉන්න. නමුත් අද වෙද්දි ඔහු සැමරුමට සහභාගී වෙන්න තීරණය කරලා තියනවා. අපි හිතනවා මේ සඳහා ඔහුට බලපැම් කරන්න ඇත්තේ අදිටන රණවිරු සාමූහිකය මගින්. දැන් මේ ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ බූරුවගේ පිටේ ගිය තාත්තටයි පුතාටයි වෙච්ච වැඩේ. අයි එම් එෆ් එක කිව්වම දෙන්න බූරුවගේ පිටේ නැඟලා යනවා. ඉන්දියාව ඇවිත් කිව්වම පුතාව බූරුවගේ පිටේ තියලා තාත්තා පයින් යනවා. රණවිරු සාමූහිකය කිව්වම පුතාව බස්සලා තාත්තා බූරුවගේ පිටේ යනවා. අපිට පැහැදිලී ආණ්ඩුව ලඟදිම දවසක බූරුවව කරේ තියාගෙනත් යාවි. එක එක්කෙනා කියන කියන පදේට නටමින් තමන්ගේ ප්‍රතිපත්ති පාවාදෙන දේශපාලනයක් ක්‍රියාත්මක කරන්න ගියාම ඒක තමයි වෙන්නේ.
අපි දැක්කා ඊයේ වැලවත්තේ තිබුණා යුද්ධය නිසා මිය ගිය අය සිහිපත් කිරීමක්. නමුත් ඒක කඩාකප්පල් කරන්න යම් කිසි කල්ලියක් සංවිධානාත්මකව මැදිහත් වුණා. මේක ඉතාම බරපතළ තත්වයක්. යුද්ධය නිසා මියගිය අය සිහිපත් කිරීමේ අයිතියත් අද වෙද්දි දෙමළ ජනතාවට අහිමි වෙලා තියනවා. නමුත් ඔවුන් පසුගිය ජනාධිපතිවරණය මහමැතිවරණය වෙලාවේ මේ ආණ්ඩුවට තමන්ගේ ඡන්දය පාවිච්චි කලේ ඇයි ? ඒ ජනතාව විස්වාස කලා මේ ආණ්ඩුව තමනගේ ප්‍රශ්නවලට විසඳුම් දෙයි කියලා. ත්‍රස්තවාදට වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරේ ඉඩම් නැවත එම ජනතාවට ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම නමුත් මේ එකදු බලාපොරොත්තුවක්වත් අද වෙනකල් ඉටු වෙලා නෑ. ආණ්ඩුව කියනවා ආණ්ඩුවට තාම මාස 8යි ඒ නිසා ඉවසන්නලු. ආණ්ඩුවට මාස අටක් වුණාට උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට අද වෙද්දි අවුරුද් 40කට වැඩී. අදටත් ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ඔවුන්ට ලැබිලා නෑ. යුද්ධය නිසා 14000කට වඩා අතුරුදන් වෙලා තියනවා. අදටත් ඒ දරුවන් ගැන තොරතුරු නෑ. ඝාතනය වූවන්ගේ පවුල්වලට අදටත් යුක්තිය නෑ. මේවා මේ ආණ්ඩුව ඡන්දෙ ගන්න උතුරට ගිහිල්ලා දුන්න පොරොන්දු. හැබැයි ඒ පොරොන්දු අමතක කරලා තමයි ආණ්ඩුව ඉස්සරහට යන්නේ.
ආණ්ඩුවේ මේ හැසිරීම් නිසා තමයි පළාත් පාලන මැතිවරණයේදී උතුරේ ජන්තාව නැවත සාම්ප්‍රදායික දේශපාලන මතවාදය දිහාවටම තල්ලු වුණේ. ඒ තත්වයට ආණ්ඩුව වග කියන්න ඕන. දැන් නැවත වටයකින් රාජපක්ෂලා ප්‍රමුඛ ජාතිවාදී කල්ලිය තමනගේ දේශපාලන වුමනාවන් වෙනුවෙන් ජාතිවාදය පෝෂණය කරන්න පටන් අරගෙන. ඔවුන් බලාගෙන ඉන්නෙ නැවතත් ජාතිවාදය පාවිච්චි කරල බලයට එන්න.
අපි ජන අරගල සන්ධානය විදිහට ජනතාවට කියනවා සැමරුම් ජයග්‍රහණ තුලින් යට යන යුද්ධය සම්බන්ධ ඇත්ත සංවාදය එළියට ගමු. මුස්ලිම්, දෙමළ, මලහෛ තමිල් ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් මේ රටට අවශ්‍යයි. ඔවුන්ට තමන්ගේ ප්‍රදේශ ස්වයං පාලන ප්‍රදේශ විදිහට පවත්වාගෙන යන්න පුලුවන් ව්‍යුහයක් නිර්මාණය වෙන්න ඕන. මේ රටේ සියලු ජන වර්ග සමානයන් විදිහට මනුෂ්‍යයන් විදිහට පිළිගන්න නව ව්‍යවස්ථාවක් මේ රටට ඕන. නැවත මේ රටේ ජාතිවාදී යුද්ධ ලේ වැගිරීම් ඇති වන්නට ඉඩ හැදෙන දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. ඒ සඳහා වන සාකච්ඡාව පෙරට ගමු කියන යෝජනාව අපි මේ රටේ ජනතාවට කරනවා.”