Breaking News

නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කරගත් නඩු ලැයිස්තුව මෙන්න 

නීතිපති දෙපාර්තමේන්තුව කලින් කලට බලයට එන දේශපාලන පක්ෂ අනුව සිය ස්ථාවරයන් වෙනස් කරන බව රහසක් නොවේ. හිටපු ජනාධිපතිවරු නීතිපතිපතිවරුන් ලෙස තමන්ට හිතවත් පුද්ගලයින් පත් කර ගත්හ.

ඒ ලැයිස්තුව දිගය. බැංකුවක සේවය කරමින් සිටි මොහාන් පීරිස් නීතිපති කළේ මහින්ද රාජපක්ෂය. සරත් සිල්වා අධිකරණයේ සිට නීතිපති තනතුරට ගෙන ආවේ චන්ද්‍රිකා කුමාරතුංගය. බැසිල් රාජපක්ෂගේ උවමනාව උඩ ගෝඨාභය රාජපක්ෂ සංජේ රාජරත්නම් නීතිපති බවට පත් කළේය. එම මහත්වරුන් ගැන මෙරට දේශපාලන සමාජය හොදින්ම දනී.

අප මීට කලින් ද පෙන්වා දුන් පරිදි වත්මන් නීතිපති පත් කරන ලද්දේ ද ජ්‍යේෂ්ඨතම නියෝජ්‍ය නීතිපතිවරිය වූ අයේෂා ජිනසේනට නොසළකා හරිමිනි. ඒ රනිල් රාජපක්ෂගේ සිතැගි අනුව ය. එය ද එක්තරා අන්දමක දේශපාලන පත්වීමකි.

වත්මන් නීතිපති ලසන්ත ඝාතනයට අදාල සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නිර්දේශ කරමින් කීවේ ඔවුන් ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ නැති බවය. එසේ නමුත් ඊයේ (13දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කීවේ එම සැකකරුවන් ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවයි.

එසේ නම් බොරු කියන්නේ කව්ද?

එපමණක් නොවේ. නීතිපති දෙපාර්තමේන්තුව නිදහස් කිරීමට නියෝග එකී මුල් ලිපිය ඉල්ලා අස්කර ගෙන ඇතයි පළ වූ මාධ්‍ය වාර්තා නිල වශයෙන් ම ප්‍රතික්ෂේප කළේ ය.

එසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණය හමුවේ කීවේ නීතිපති දෙපාර්තමේන්තුව දෙවැනි ලිපියක් එවමින් පළමු ලිපියේ සඳහන් නියෝගය ක්‍රියාත්මක නොකරන බව දැන් වූ බව ය. එම ලිපිය අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එසේ නම් නීතිපති දෙපාර්තමේන්තුව කීවේ මුසාවක් ද යන දෙනව ප්‍රශ්නයක් ද මතුවේ.

නීතිපති තෙවැනි ලිපියක් එවමින් කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සාක්ෂි උදෘත සළකා බලන තුරු පළමු ලිපියේ වූ නිදහස් කිරීමේ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවය.

ඉන් අදහස් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සිය මුල් ලිපිය නිකුත් කළේ එවැනි වාර්තා නිසි අධ්‍යනය නොකිරීමෙන් බවය.
කොයිතරම් විචක්ෂණ ආයතනයක්ද? ආණ්ඩුවට නීති උපදෙස් දෙන්නේ එවැනි ආයතනයකි.

නීතිපතිගේ දේශපාලන ලැඳියා පෙන්වන අපූරු උදාහරණයක් වන්නේ ශානි අබේසේකර සම්බන්ධයෙන් එය කටයුතු කළ ආකාරයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට මනුෂ්‍ය ඝාතනය පිළිබඳ නඩු පැවරූ අවස්ථාවෙහි දී වාස් ගුණවර්ධනට මරණ දඩුවම දීම කරා නඩුව මෙහෙය වූයේ නීතිපතිය. ඒ යහපාලන ආණ්ඩු සමයේය.

පසුව ගෝඨාභය සමයේ වාස් ගුණවර්ධන බොරු නඩුවකට පටලන ලදැයි ශානි අබේසේකරට විරුද්ධව නඩුවක් පවරන ලදී. එහි දි පැමිණිල්ල වූයේ ශානි අබේසේකර යටතේ ආයුධ තොගයක් ව්‍යාජව ගෙනවිත් දමා වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගත් බවයි.

පුදුමයකට මෙන් එම නඩුවෙහි ශානි අබේසේකරට විරුද්ධව පෙනී සිටියේ ද නීතිපතිය. එවකට ශානි අබේසේකර ගෝඨාභය විසින් අනීතිකව ගෙදර යවා තිබුණි. එම නඩුවෙහි දී ශානි අබේසේකරට ඇප දීමට විරුද්ධව පවා නීතිපති පෙනී සිටියේ ය. ශානි නිදහස් වූයේ එම ආයුධ තොගයෙහි වාස් ගුණවර්ධනට නිකුත් කරන ලද ආයුධ ගණනාවක් ද තිබූ නිසා ය.

ඒ තරමට නීතිපති වෘත්තීයබාවයෙන් ඉහළය.

ඉවත් කරගත් නඩු

දැන් මෑත කාලයෙහි නීතිපති විසින් ඉවත් කර ගන්නා ලද පහත සඳහන් නඩු දෙස බලන්න:

මහර බන්ධනාගාර නඩුව

2020.11.26 දින මහර බන්ධනාගාරය තුළ කොවිඩ් වසංගතයට අදාළ ව සිරකරු ‍නොසන්සුන්තාවයක් ඇති විය. එහි දී බන්ධනාගාර නියාමකයින් වෙඩි තබා සිරකරුවන් 11 ඝාතනය කරන ලදී. තවත් සිරකරුවන් ගණනාවකට බරපතල තුවාල සිදු විය.

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ බී 3118/2020 දරණ නඩුව පවරන ලද්දේ එම ඝාතනයන්ට සම්බන්ධයෙනි.

අධිකරණය මහර ඝාතන මිනීමැරුම් ලෙස දක්වා තිබිය දීත් නීතිපති 2024 අගෝස්තු 30 දින එම නඩුව (CR1/214/2020) ඉල්ලා අස්කර ගත්තේ ය. මෙම අනීතික ඝාතනයන්ට වරදකරුවකු දැන් නැත.

බලපිටිය සැකකරු ඝාතනය

2022.10.12 දින පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ඒ. මහේෂ් ඉන්දික ප්‍රභාත් යන අය වෙඩි තබා ඝාතනය කරන ලදී.
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි කැඳවන ලද නඩුවෙ හී දී මහේස්ත්‍රාත්වරයා එම මරණය ඝාතනයක් බව නිගමනය කරන ලදී. මේ පිළිබඳ දීර්ඝ වාර්තාවක් අප මීට පෙර පළ කර තිබේ.

AR 2049/2022 දරණ එම නඩුව 2024.08.27 දින සාක්‍ෂි ප්‍රමාණවත් නොවේ යැයි නීතිපති ඉල්ලා අස්කර ගත්තේය. චුදිත පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බව නීතිපති අධිකරණයට දැන්වීය. සැකකරුවන් නිදහස් කරන ලදී.
සාක්ෂි තිබූ මෙම අනීතික ඝාතනයට දැන් වරදකරුවකු නැත.

තිරප්පනේ ඝාතන

2016.04.30 දින අනුරාධපුර තිරප්පනේ පොලිස් වසමේ දී පුද්ගලයන් තිදෙනකුට T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එම නඩුවෙහි අංකය බී 1267/2016 වේ.

2024.09.24 දින වත්මන් නීතිපති විසින් එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.
වාර්තා වූ පරිදි නියෝජ්‍ය පොලිස්පති හෙට්ටිආරච්චිගේ සමුද්‍රජීව යන අයගේ මෙහෙයවීම මත විශේෂ බලකායේ සාමාජිකයින් විසින් සිදු කරණ ලද යමම ඝාතනය සඳහා උපයෝගි කර ගත් ගිනි අවිය සහ අපරාධ ස්ථානයේ තිබු පතුරම් කොපු සමඟ ගැලපුණි. ඊට අදාළ පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරෙහි ලේඛන වෙනස් කොට ඇති බවට, රස පරීක්‍ෂක වාර්තා කළේ ය.
එසේ නමුත් යළිත්වරක් සාක්‍ෂි ප්‍රමාණවත් නොවේ යැයි කී නීතිපති සැකකාර විශේෂ කාර්ය බලකා සාමාජිකයිනට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බව අධිකරණයට දන්වන ලදී. සැකකාර චූදිතයින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය.

11 දෙනෙකු පැහැර ගැනීමේ සිදුවීම

2016 වසරෙහි දී සිසුන් ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද බව දැන් ප්‍රසිද්ධ කරුණකි.

ලුතිනන් කමාන්ඩන්ට් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඒ හා සම්බන්ධ පරීක්‍ෂණයේදී චුදිතයකු බවට සාක්‍ෂි මගින් හෙළිදරව් විය. නඩුව වූයේ නීති විරෝධී ලෙස ඔහුට විදේශ ගත වීමට ආධාර අනුබල දීම ය. මෙම නඩුවේ අංකය CR1/237/2018 වේ.

මෙම අපරාධය සඳහා චෝදනා ලැබූයේ හිටපු නාවික හමුදාපතිවරයකු වන රවීන්ද්‍ර විජය ගුණරත්නය.

2023.11.29 දින හිටපු නීතිපති සංජය රාජරත්නම් සාක්‍ෂි ප්‍රමාණවත් නොවේ යැයි ඔහුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බව අධිකරණයට දැන්වීය. ඔහු නිදහස් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේ ය.

11 දෙනෙකු පැහැර ගැනීමේ දෙවන නඩුව

ඉහත කී චෝදනා යටතේ ම එනම් සිසුන් ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම හා සම්බන්ධ පරීක්‍ෂණයෙහි චුදිතයකු බවට කීරන්ගොඩ ගමගේ ලක්සිරි අමරසිරි සහ අද්මිරාල් රවින්ද්‍ර විජය ගුණරත්න යන අයට විරුද්ධව 2017.04.12 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි චෝදනා ගොනු කරන ලදී. එම බී වාර්තාව බී 9527/2018 වේ.

සාක්‍ෂි ප්‍රමාණවත් නොවේ යැයි චුදිත නිලධාරියා වන හිටපු නාවික හමුදාපතිවරයකු වන රවීන්ද්‍ර විජය ගුණරත්නට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බව 2023.12.27 නීතිපතිවරයා දැනුම් දුන්නේ ය.
හිටපු නාවික හමුදාපතිවරයා නිදහස් කර සෙසු සැකරුවන් හය දෙනාට ආගාමික හා විගාමික පනත 35 (අ) 45 (1)(ආ) යටතේ පමණක් නඩු පැවරීමට උපදෙස් දුන්නේය.

දෙදෙනෙකු පැහැරගෙන ඝාතනය කිරීම

පක්කලිසාමී ලෝගනාදන් සහ රත්නසාමී පරමනාදන් යන අයට අයත් වෑන් රථයක් කැලී 72 කට කපා තිබිය දී 2009 ජනවාරි මාසයේ දී වැලිසර නාවික හමුදා කඳවුර තුල තිබි සොයා ගන්නා ලදී. එම පුද්ගලයින් දෙදෙනා සතුව තිබු රන් ආභරණ විශාල ප්‍රමාණයක් හා මුදල් රුපියල් ලක්‍ෂ අටක් පැහැර ගැනීයමෙන් පසු එම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කල බවට චෝදනා එල්ල කරන ලදී. එහි චුදිතයින් වූයේ නාවික හමුදා කමාන්ඩන්ට්වරුන් වන දම්මික අනිල් මාපා සහ සුමේධ සම්පත් දයානන්ද යන දෙදෙනා ය.

නීතිපති මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දෙදෙනාට එරෙහිව පැහැර යෑම, එම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කිරීම හෝ ඔවුන් සතු රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමට නඩු පැවරීම වෙනුවට පැහැර ගෙන යන ලද පුද්ගලයන් දෙදෙනා සතුව තිබු වෑන් රථය යකාටස් 72 කට කැපිම සම්බන්ධයෙන් පමණක් නඩු පැවරීමට උපදෙස් ලබා දුන්නේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ඩිලාන් රත්නායක විසින් 2022.03.08 දින මෙම තීරණය දැනුම් දෙන ලදී.

මේ ලැයිස්තුව තව දිග විය හැකිය!

සුනන්ද දේශප්‍රිය

leave a reply