Breaking News

ඉන්දීය ධීවර බලහත්කාරයට විරුද්ධව උතුරේ ධීවරයන් මාරාන්තික උපවාසයක

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදට බලෙන් ඇතුළු වී මසුන් මැරීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල වී ඇති බැවින් එම ආක්‍රමණය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් ධීවරයන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ මේ සම්බන්ධව කරන ලද අරගලයට පිළිතුරු නොලද බව පවසමින්.

යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනය සහ යාපනය දිස්ත්‍රික් ධීවර කර්මාන්ත සමුපකාර සමිති සම්මේලනය එකතුව පසුගිය අඟහරුවාදා (19) යාපනයේ ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය ඉදිරිපිට දී යි මෙම උපවාසය ආරම්භ කර තිබෙනවා.

මාරාන්තික උපවාසයට එක්ව සිටින යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනයේ ලේකම් සෙබමාලෙයි ඇන්ටන් සෙබරාසා පවසන්නේ වග කිව යුතු බලධාරියකු පැමිණ තම ගැටලුව විසදීමට ස්ථීර පොරොන්දු දෙන තෙක් උපවාසය අත් නොහරින බවයි.

“අපේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලැබෙනකල් උපවාස අරගලය අනිවාර්යෙන්ම මැරෙනකං දිගටම කරනවා. පාර්ලිමේන්තුවේ අපේ දෙමළ සියලුම මන්ත්‍රීවරුන්ට අපිව හමුවීමට අවශ්‍ය නම් මෙහි පැමිණ හමුවෙන්න පුළුවන්. නමුත් ඔවුන් අප වෙනුවෙන් කොතැනකවත් හඬ නැගූ බවක් පෙන්නට නෑ. ධීවර ඇමැති හරි, රටේ ජනාධිපතිතුමා හරි, එහෙම නැතිනම් මේ රටේ වගකිවයුතු නායකයෙක් ඇවිල්ලා අපට හරි පොරොන්දුවක් දෙන තුරු අපි මෙතැනින් නැගිටින්නේ නැති බව අපි තරයේ ප්‍රකාශ කරනවා”යි ඔහු පවසනවා.

යාපනය මර්දඩි හන්දියේ සිට යාපනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනය සහ යාපනය දිස්ත්‍රික් ධීවර කර්මාන්ත සමුපකාර සමිති සම්මේලනයේ ධීවරයන් එහිදී සාමකාමී විරෝධයක් දියත් කරමින් එම ස්ථානයේ මාරාන්තික උපාවසය ආරම්භ කිරීමට උත්සාහ ගෙන තිබුණා.

එහෙත් එම ස්ථානයේ උපවාසයක් ආරම්භ කිරීමට ඉඩ දිය නොහැකි බවට පොලිසිය පැවසීම නිසා පසුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමීපයේ පිහිටි ජෝන් බොස්කෝ විද්‍යාලය ඉදිරිපිට දී උපවාසය ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ මසුන් මැරීම නතර කිරීම සදහා වහාම පියවර ගන්නැයි බලකරමින් උතුරේ ධීවරයන් පසුගිය සමයේ ඉල්ලීම් මෙන්ම විරෝධතා රැසක් දියත් කළද ඉන් ප්‍රතිපලයක් අත් නොවු බැවින් තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බවට ධීවරයින් පවසනවා.

ඉන්දිය ධීවරයන් විසින් මෙරට මුහුදේ සිදු කරන මත්ස්‍ය සම්පත කොල්ලකෑම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස බල කරමින් මාර්තු 4 වැනිදා යාපනය මුහුදේ කලු කොඩි විරෝධයක් මෙන්ම උතුරු පළාතේ දිස්ත්‍රික් පහේම ධීවරයන් එකතුව මාර්තු 6 වැනිදා යාපනයේ දී උද්ඝෝෂණයක් ද පැවැත්වුවා.

leave a reply