Breaking News

රාජ්‍ය සේවයේ වැටුප් වියදම්වලින් වැඩිම ප්‍රමාණය අරක්ෂක අංශවලට

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා තිබේ.

ලංකාදීප පුවත්පත වාර්තා කරන පරිදි මධ්‍යම ආණ්ඩුවේ සෙසු අංශවල සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් සඳහා රුපියල් කෝටි 32729 ක් වැය කරද්දී ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් එම වර්ෂයේදී රුපියල් කෝටි 31200ක් වැය කර ඇති බවද මහාචාර්යවරයා පවසා ඇත.

එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ට පසුගිය වසරේ වැටුප් ගෙවීමට වැය කළ මුදල පළාත් පාලන ආයතන වල සියලුම සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා එම වසරේදී වැය කළ මුදලට වඩා වැඩි බවද ඔහු සඳහන් කරයි.

පළාත් පාලන ආයතන සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් ගෙවීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 30021 ක් බවද වසන්ත අතුකෝරළ කීය.

හමුදා සහ පොලිස් සාමාජිකයන්ට පසුගිය වසරේදී ගෙවූ වැටුප රාජ්‍ය සේවයේ වැටුප්වලින් සියයට තිස්තුනක් බව පැවසූ මහාචාර්යවරයා පසුගිය වසර පහේ දී ආරක්ෂක අංශවල වැටුප් ගෙවීමට වැය කරන මුදල සියයට දාහතකින් වැඩි වී ඇතැයිද සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 21787 ක්ද පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9413ක්ද වැය කර ඇති බවත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් ගෙවීම සඳහා මෙපමණ මුදලක් දරද්දී රජයේ ආයතනවල ආරක්‍ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන වෙනම වැටුප් ගෙවා ඇති බවත් අතුකෝරළ සඳහන් කළේය.

leave a reply