Breaking News

වසර 06කදී ජනතා මර්දනයට ICCPR යොදාගත් හැටි

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

තොරතුරු දැනගැනීමේ පනත අනුව සමාජය හා සාමයික කේන්ද්‍රය යොමු කළ ඉල්ලීමකට අදාළ තොරතුරු මුදාහරිමින් පොලිසිය මේ බව සඳහන් කරයි.

මෙම පනත යටතේ 2017 වසරේදී 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සියලුදෙනා නීතිපති උපදෙස් අනුව මුදා හැර තිබේ. 2017 වසරේ ගිංතොට සිදුවීමට අදාළ ව ‍මෙම පිරිස අත්අඩංගුවට ‍ගෙන තිබුණේ 2017 නොවැම්බර් මස 16 වැනිදා ය. ඊට අදාළ පැමිණිල්ල ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර, සැකකරුවන් 19 දෙනා මුදාහරින ලෙස නීතිපති උපදෙස් ලැබීමෙන් පසු සැකකරුවන් මුදා හැර තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරේදී ය. ඒ මහනුවර – දිගන ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිතව ඇති වූ සිංහල – මුස්ලිම් ගැටුම්වලට සමගාමී ව වේ. 2018 වසරේ දී ‍මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් 43කට අදාළ ව මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

2019 වසරේ දී මෙම පනත යටතේ 08 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් දෙදෙනකු නීතිපති උපදෙස් අනුව මුදා හැර තිබේ. 2019 සැප්තැම්බර් පස් වැනිදා අත්අඩංගුවට ගත් පුත්තලමේ පුද්ගලයකුට අදාළ ව අධිචෝදනා ගොනු කිරීමට නියමිත අතර, සෙසු පිරිසට අදාළ ව මේ වන තෙක් නීතිපති උපදෙස් ලැබී නැත.

2019 වසරේ මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් පිරිස අතර ආරණ්‍ය සේනාසනයකට යන මාර්ගයේ ගසා තිබූ බෞද්ධ කොඩි සොරා ගත් බව කියන දෙදෙනෙකු ද සිටිති. ඔවුන් දෙදෙනා වැලිකන්ද පොලිසියෙන් 2019 මාර්තු 28දා අත්අඩංගුවට ගෙන මාර්තු 29දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ සිට 2021 ජුනි 07 වැනිදා ඇප ලබා තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ 2020 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 26 දෙ‍නෙකි. ඔවුන් කිසිවකුට එරෙහිව අධිචෝදනා ගොනු කර නොමැත.

මෙම පිරිසෙන් හත් දෙනෙකු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නාවික හමුදාවේ දෙදෙනකුට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙනි. 2021 වසරේ දී ‍මෙම පනත යටතේ එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට වෙනත් නීතියක් යටතේ අධිචෝදනා බාරදීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

2022 වසරේ දී මෙම පනත යටතේ කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත්, 2023 වසරේ පළමු මාස හතරේ තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. එම තිදෙනාගෙන් එක් අයකු වරද පිළිගැනීම මත නඩුව අවසන් කර ඇති බවත්, තවත් අයකුට එරෙහිව අධිචෝදනා ගෙනු කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිසිය ලබා දුන් මෙම තොරතුරුවල ඇතැම් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් නොමැති බව ඒවා පරීක්ෂා කරද්දී පෙනී යයි. 2019දී ICCPR යටතේ අත්අඩංගුවට ගත් ලේඛක ශක්තික සත්කුමාරගේ, 2020දී අත්අඩංගුවට ගත් රම්සි රාසික්ගේ නම් පවා මෙම ලැයිස්තුවේ නොමැති වීම විශේෂත්වයකි.

උපුටා ගැනීම – The Time

leave a reply