ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කරන ලෙස ඩයස්පෝරාවේ දෙමළ ජනතාවගෙන් ජනාධිපතිවරයා කරන ඉල්ලීමට ඇමරිකා එක්සත් ජනපදයේ ද සහාය පලවී තිබේ.
දෙමළ ජනතා නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී කොළඹ එක්සත් ජනපද තානාපතිනිය විසින් යෝජනා කර ඇත්තේ උතුරු නැගෙනහිර තරුණ විරැකියාවට එමගින් විසදුම් සොයා ගත හැකි බවයි.
“රැකියා අවස්ථා නැතිව අපේ තරුණ තරුණියන් මුහුණ දෙන දුෂ්කරතා ගැන අපි කතා කළා. මෙහි රැකියා අවස්ථා නොමැති විට තරුණ තරුණියන් රට හැර යන දුක්ඛිත තත්වය පිළිබඳව අපි එහිදී සදහන් කරා. ඔවුන්ට ලබාදිය හැක්කේ සීමිත උපකාර ප්‍රමාණයක් පමණක් බවත්, ඩයස්පෝරා දෙමළ ජනතාවට මෙහි ආයෝජනය කරන ලෙස ඉල්ලා සිටීමෙන් මෙම ගැටලුව විසඳාගත හැකි බවත් ඇය යෝජනා කළා.”
කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් සමග 2025 ජනවාරි 08 වැනිදා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ දී පැවැත්වු සාකච්ඡා නිමා වීමෙන් පසුව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් වැඩි දුරටත් කියා සිටියේ, සාධාරණ සහතිකයකින් තොරව ශ්‍රී ලංකාව තුළ ආයෝජන කිරීමට ඩයස්පෝරාව සුදානම් නොමැති බව පෙන්වා දෙමින් දෙමළ ජනතා නියෝජිතයන් කොළඹ එක්සත් ජනපද තානාපතිනියට ප්‍රතිචාර දැක්වු බවයි.
“ඩයස්පෝරා ඥාතීන් මෙහි පැමිණිය යුත්තේ ඔවුන්ට සාධාරණ සහතිකයක් ලබා දෙන්නේ නම් පමණක් බවත් නොඑසේනම් ඔවුන් මෙහි නොපැමිණෙන බවත් අපි පෙන්වා දුන්නා.”
ජනාධිපතිවරණයේ අවසාන අදියරේදී යාපනයේ පැවති ඡන්ද රැස්වීමක් අමතමින් අනුර කුමාර දිසානායක ද ඉතා ඕනෑකමින් යුතුව විදේශගත දෙමළ ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙසයි.
එම සාකච්ඡාව සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය ඔස්සේ පනිවිඩයක් නිකුත් කරමින් කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් නිවේදනය කර ඇත්තේ “වගවීම, යුක්තිය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ සහාය අඛණ්ඩව ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ITAK මන්ත්‍රීවරුන් සමග පලදායී සාකච්ඡාවක් පැවැත්වූයෙමි. සංවාදය පෝෂණය කිරීම සඳහා ගන්නා උත්සාහයන්ද, කල්පවත්නා සෞභාග්‍යය සහ අන්තර්ග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව ගමන් කරන මාවත නගා සිටුවීමටද අපි දිගටම කැපවී සිටිමු,” යනුවෙනි.
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් පවසන්නේ ජාතික ප්‍රශ්නයට විසදුම ෆෙඩරල් ක්‍රමයක් බව පෙන්වා දුන් දෙමළ ජනතා නියෝජිතයන් ඒ සදහා එක්සත් ජනපදය සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බවත් කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් හමුවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි බවයි.
“ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගැන සාකච්ඡා කළා. ශ්‍රී ලාංකීය ජාතික ජනවාර්ගික ගැටලුවට විසඳුම ෆෙඩරල් ක්‍රමයක් විය යුතු බවත් ඒ සඳහා එක්සත් ජනපදය සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් අපි කිව්වා. ජිනිවාහිදී සාකච්ඡා කරන පසුගිය යුද සමයේ සිදුවූ ප්‍රශ්න පිළිබඳ සත්‍ය සෙවීම, සත්‍ය සොයා ඒ සඳහා යුක්තිය ඉටුකිරීම, නැවත එවැනි දේ සිදුනොවීම වැළැක්වීම පිළිබඳව සාකච්ඡා කළා.”
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ඉඩම් සහ පොලිස් බලතල නිසි ආකාරයෙන් පළාත් සභා වලට ලබා නොදීම නිසා මුල්‍ය බලතල ක්රියාවේ යෙදවීමේදී පැන නගින අර්බුදකාරී තත්වයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
“ඉඩම් සම්බන්ධ කරුණු සාකච්ඡා කළා. ඉඩම් ප්රශ්නය ගැන කියන විට, පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දුන්නත්, ඒ ඉඩම් බලතල නිසියාකාරව ලබා දී නොමැති බව සාකච්ඡා කළා. පොලිස් බලතල ලබා නොදෙන තත්වයක් යටතේ මුල්‍ය බලතල භාවිත කළ නොහැකි වීමත් එහිදී සාකච්ඡා කළා.”
මෙම සාකච්ඡාව සදහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන්, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන්, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්ද්‍රන් කෝඩිෂ්වරන්, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලයතම්බි ශ්‍රීනාත්, පක්ෂයේ ලේකම් ජාතික ලැයිස්තු මන්ත්‍රී පත්මනාදන් සත්‍යලිංගම් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂන්මුගම් කුගදාසන් යන ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජනතා නියෝජිතයන් සහභාගී වී තිබේ.