වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියානු සංචාරය නිමාකර පෙරළා දිවයිනට පැමිණි පසු නැවතත් කරළියට එනවා. ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීමේ යෝජනාව. මේ ඩිජිටල් හැදුනුම්පත ලබාදීමේ ක්‍රියාවලියේ සේවා සපයන්නා බවට තෝර ගන්නට සූදානම් වන්නේ ඉන්දියානු සමාගමක්.
වැඩ බලන ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ජනවාරි 14 වෙනිදා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ ක්‍රියාවලියේදී රුපියල් බිලියන 20කට වැඩිය වියදම් වන බවයි. ඉන් 50% ක ප්‍රමාණයක් ඉන්දියාව ආධාරයක් හැටියට ලබාදෙන බව කියනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපති වීමෙන් පසුව පිහිටුවා ගත් භාරකාර ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස කටයුතු කෙරුවේ විජිත හේරත්. ඔහු ඒ දවස්වල මේ ගැන කැබිනට් තීන්දු දැරුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කළ විට කියා සිටියේ ඉන්දියාව සමඟ එවන් එකඟතාවයකට සූදානමක් නැහැ කියලයි.
ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ විවාදය
මේ හැඳුනුම්පත සම්බන්ධ කතාබහ මුලින්ම කරළියට එන්නේ 2015 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වෙලා හිටපු කාලේ. මෛත්‍රිපාල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත වෙනස් කරමින් ඩිජිටල් හඳුනුම්පත හඳුන්වා දෙන්න ඕනෑ කියලා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත වෙනස් කෙරුවා. ඒ වෙනස් කිරීමෙන් පසුව තමයි ජෛවමිතික දත්ත හැඳුනුම්පතට ඇතුල් කරන්න ඕන කියලා තීරණයක් ගන්නේ. මේ ජෛවමිතික දත්ත 76ක් පිළිබඳ කතාවක් මතුවෙනවා.
ඒ සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධය නිසා මෛත්‍රිපාලගේ ආණ්ඩුවට මේක කරගන්න බැරිවෙනවා.
යළි මේ සම්බන්ධ ක්‍රියාවලිය එලියට එන්නේ 2022 ගෝඨාභයගේ දුර කාලය ආරම්භ වීමත් සමඟයි. ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දෙන්න ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පවා ඒ කාලයේ පියවර ගන්නවා. ගෝඨාභයගේ ආණ්ඩුව කාලෙත් මේ වැඩේ බාරගන්න යන්නේ ඉන්දියානු සමාගමක්. ගෝඨාභය රාජපක්ෂ ඉන්දියානු සමාගමක් හරහා ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දෙන්න උත්සාහ දරන විටත් විරෝධය මතුවෙනවා… කෙසේ වෙතත් ගෝඨාභයට දුරය අවසන් කරන්නට මත්තෙන් ජනාධිපතිකම හැර යන්න වෙනවා.
යලිත් මේ ප්‍රශ්නය අරගෙන කරළියට එන්නේ 2023 දී අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දෙන්න අවශ්‍ය කරන වැඩේට අදාළ කැබිනට් මණ්ඩල අනුමැතියත් ලබාගන්නවා. සමාගමක් තෝරාගන්න ටෙන්ඩර් කැඳවීමක්ද කරනවා. රනිල් වික්‍රමසිංහ ඒ හරහා උත්සාහ දරන්නෙත් ඉන්දියානු සමාගමක් වෙත මේ ක්‍රියාවලිය භාරදෙන්න. රනිල්ගේ ආණ්ඩුව මේ ක්‍රියාවලිය සඳහායි තෝරාගන්නා ඉන්දියානු සමාගම අසාධු ගත සමාගමක් නිසා ඒ ක්‍රියාවලිය ඉදිරියට යන්න බැරිවෙනවා. මෙහිදීත් බලපාපු ප්‍රධාන කාරණය ඒක නෙමෙයි. පැන නැගෙන විරෝධය නොතකා රනිල්ටත් ඒ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා.
මෛත්‍රීටත් බැරුව ගිය, ගෝඨාභයටත් බැරුව ගිය, රනිල්ටත් බැරුව ගිය, ඒ වැඩේ දැන් අතට අරගෙන කරන්න ලෑස්ති වෙනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා .
දැනට ලෝකයේ භාවිතා කරන හැඳුනුම්පත් වලට බහුලව යොදන්නේ ජීවදත්ත පමණයි. නම, ගම, වයස, ඉන්න තැන, රැකියාව, උපන්දිනය වගේ දේවල්. ඉන් මදක් ඉදිරියට ගිහිල්ලා සමහර රටවල හැඳුනුම්පතට ඇඟිලි සලකුණු යොදනවා.
මේ හැදුනුම්පතටත් ඩිජිටල් හැදුනුම්පත කියලා කියනවා. යුරෝපයේ රටවල් ගණනාවකම මේ හැඳුනුම්පත තියෙනවා.
නමුත් ඉන් ඔබ්බට ගිහින් විශාල වශයෙන් ජෛවමිතික දත්ත ඇතුළත් කරන්නට උත්සාහ දරපු බොහොමයක ඒවා පරාජයට පත් කරන්න ජනතාව අරගල කරලා ජයග්‍රහණය කරලා තියෙනවා. උදාහරණයකට මේ සම්බන්ධයෙන් එංගලන්තයේ පැන නැගුණු විරෝධය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ උත්සාහය සම්පූර්ණයෙන්ම යටපත් කරන්න එරටේ ජනතාව මැදිහත් වුණා.
මේ ජෛවමිතික දත්ත අරගෙන හදන හැදුනුම්පතට අපි විරෝධය දක්වන්නේ ඇයි කියන ප්‍රශ්නයට ඉතා සරල කෙටි පිළිතුර නම් මේ හරහා සිදු කරන්න යන්නේ රාජ්‍ය විසින් පුරවැසි නිදහස අවම කිරීමයි. අපේ සියළු දත්ත ලබාගෙන මොවුන් කරන්න සූදානම් වන්නේ පාලනය කිරීමේ සියලු හැකියාව ඔවුන් වෙත ලබා ගැනීම . ලෝකයේ මිනිසුන් මේ ජෛවමිතික දත්ත ඇතුළත් කරලා නිර්මාණය කරන්න උත්සාහ දරන ඩිජිටල් හැඳුනුම්පතට විරෝධය දක්වන්නේ මේ පදනම මත ඉඳගෙන.
ඉන්දියාව මේ සඳහා මැදිහත්වීමට ඇයි විරෝධය දක්වන්නේ
අපේ රටේ මිනිසුන්ගේ සියලු තොරතුරු කියන්නේ අපේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කියන එකයි. මේ තොරතුරු ලබා ගැනීමෙන් පසුව අපිව පාලනය කිරීමේ අයිතිය ඉන්දියාවට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකේ අපි ඕනෑ තරම් පුද්ගල දත්ත වංචා කළ අවස්ථා අහල තියෙනවා. ආණ්ඩුව කියන්න උත්සාහ කරනවා මේ දත්ත එකක්වත් ඉන්දියාවට ලැබෙන්නේ නැහැ ඒවා අපි ළඟ තියාගන්නව කියල. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ මොකද මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ ඉන්දියාවේ මැදිහත්වීම මත. මේ සඳහා මුදල් යොදවන්නෙත් ඉන්දියාව. තමන්ගේ රටේ මිනිස්සුන්ට වැසිකිලි හදලා දෙන්න වත් වුවමනාවක් නැති ඉන්දියාව අපේ රටේ මිනිස්සුන්ට ඩිජිටල් හැඳුනුම්පතක් හදලා දෙන්න තියෙන රුදාව මොකක්ද.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න කියන්නේ මේ සඳහා රුපියල් බිලියන 20ක් පමණ යනවා කියලා. නමුත් අපට දැනගන්නට තිබෙන කරුණුවලට අනුව රුපියල් බිලියන 40කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා වියදම් වෙනවා. ඉන් භාගයක් රුපියල් බිලියන විසි එකක් පමණ ඉන්දියාව දෙන්න යෝජනා කරලා තියෙනවා. මේ කතාව හරහාත් පැහැදිලි වෙන්නේ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව රටේ ජනතාවට කොලේ වහන්න උත්සාහ කරන බවයි.
මේ ක්‍රියාවලියට විරෝධය මතුවෙද්දී ආණ්ඩුව උත්සාහ දරනවා මේ ලබාගන්න දත්ත සුරක්ෂිතව තියාගන්න පුළුවන් කියලා ඒත්තු ගන්වන්න . ඉන්දියාව තමන්ගේ රටේ මිනිසුන්ගේ ජෛවමිතික දත්ත ඒකරාශී කළා, හැබැයි ඒක ඔවුන්ට සුරක්ෂිතව තියාගන්න බැරි වුණා. 2018 පමණ මේ දත්ත හොරකම් කිරීමකට ලක්වුණා. එහෙම අත්දැකීමක් තියෙන මොහොතක ඔබ කල්පනා කරනවද අපේ දත්ත ටික සුරක්ෂිතව අවභාවිතා නොකර ඉන්දියාව තියාගනි කියලා.
අනුර කුමාර දිසානායක හොඳ විය හැකියි. එහෙත් වර්තමාන ලෝකය හොඳ නැති බව අප දනී. වර්තමාන ලෝකය තුළ මිනිස් දත්ත යනු ඉතාමත් මිල අධික දෙයකි.
මේ පිළිබඳව ඊළඟ ලිපියකින් තවත් වැඩිදුර විස්තර කතා කරමු .