Breaking News

රෝහල් පද්ධතිය අර්බුදයක – කොවිඩ් වාට්ටුවල ධාරිතාවය ඉක්මවා රෝගීන්

කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමත් සමඟ දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් බොහොමයකම ධාරිතාවය ඉක්මවා ගොස් තිබේ. ඇතැම් රෝහල් හදිසි අපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

බොහෝ රෝහල්වල කොවිඩ් ආසාදිතයන් සඳහා පහසුකම් සැලසීමට නොහැකි පවතින අතර කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්ව සිටින රෝගීන් සඳහා ප්‍රමාණවත් දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැතිවීම නිසා කොවිඩ් මරණ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද දැරිය නොහැකි මට්ටමට රෝගීන් වැඩිවී තිබේ.

කොවිඩ් වාට්ටු පිරී ඉතිරී ගොස් තිබීම නිසා රෝගීන්ට රෝහල්වල කොරිඩෝවල බිම වැතිරී සිටින ආකාරය සහ කළුබෝවිල වැනි රෝහලක වාට්ටුවල මිදුලේ රෝගීන් වැතිර සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා සංචරණය වෙමින් පවතියි.

කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණ කළුබෝවිල රෝහල, කරාපිටිය, රත්නපුර, කෑගල්ල, රාගම වැනි රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් බදාදා (අගෝස්තු 04) මරණ 82 ක් වාර්තා වූ අතර එය මෙතෙක් දිනක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

බදාදා හඳුනා ගනු ලැබ ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,543 කි. මේ වන විට රෝහල් ගතව සිටින සමස්ථ රෝගීන් සංඛ්‍යාව 29,586 කි.

කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්”

බොහෝ ප්‍රදේශයන්හි ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හමුවේ රෝගීන් සංඛ්‍යාව සහ ඔක්සිජන් මත ජීවිතය රඳා පවතින රෝගීන් සංඛ්‍යාව වඩාත් භයානක ලෙස ඉහළ යාමත් සමග ප්‍රතිකාර ලබා දීමේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඔක්සිජන් ඉල්ලුම වැඩිවීමත් සමඟම එහි සැපයුම නිසියාකාරව පවත්වාගෙන යාමේ ගැටලුවට ඉදිරි දින කිහිපයේදී මුහුණ පෑමට සිදුවිය හැකි යයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එවැනි තත්ත්වයක් තුළ ඔක්සිජන් හිඟය හෝ වඩාත් වැදගත් ලෙස ඇඳන් වෙත ඔක්සිජන් සැපයුම ලබා දීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා රෝගීන් මරණයට පත් වීමේ අවදානමක් ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

“ඔක්සිජන් අර්බුදය රජයේ සහ පුද්ගලික යන අංශ දෙකටම එකසේ අදාළ වනු ඇත.” යනුවෙන් ඉහත කී නිවේදනයේ දැක්වේ.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි” යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

රජය පසුගියදා සියලු රාජ්‍ය සේවකයන්ට වැඩට පැමිණෙන ලෙස නියෝග කරනු ලැබුවේ ඩෙල්ටා ප්‍රබේදය රට තුළ පැතිරී ඇති බව දැන සිටියදීයි. එසේම පෞද්ගලික අංශයේ සේවා ස්ථාන සියල්ලක් පාහේ සාමාන්‍ය පරිදි සිය කටයුතු සිදුකරමින් සිටියි. මෙම තත්ත්වයත් සමඟ පොදු ප්‍රවාහන සේවාවල. කාර්යාල ප්‍රවාහන සේවාවල කිටි කිටියේ තෙරපී වැඩට පැමිණීමට ජනතාවට සිදුවිය.

එසේම අනික් අතින් සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීම හරහා නැවත නැවත මතුවිය හැකි වසංගතය පාලනයට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොවීය. උදාහරණයකට රත්නපුර රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ පවතින්නේ ඇඳන් 04ක් පමණි. එම ඇඳන් 04ම පිරී ඇති බව ඊයේ දිනයේ වාර්තා විය.

එවැනි තත්ත්වයකදී කොවිඩ් පතුරුවන බවට තම අයිතීන් ඉල්ලා පාරට බහින ජනතාවට ආණ්ඩුව දොස් පවරමින් සිටියි.

leave a reply