Breaking News

ලසන්ත වික්‍රමතුංග ට වෙරෝනිකා ගුවරින් (Veronica Guerin) හමුවීවේද?

අරුණි සමරකෝන්

මෙම ලිපිය ලිවීමට මා පෙළඹ වූ අත්යාසන්න හේතුව නම් , අයිරිෂ් ජාතික ජනමාධ්‍යවේදිනියක් වන Veronica Guerin ගේ මරාදැමීම අල්ලා සැකසුනු චිත්‍රපට නැරඹීමෙන් පසුවය. Joel Schumacher විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2003 දී ප්‍රදර්ශනය කරන ලදී. චිත්‍රපට ආඛ්‍යානය කෙටියෙන් පවසෙන්නේ නම්, අයර්ලන්තය තුල පවතින මත්ද්‍රව්‍ය වෙළඳාම හේතුවෙන් වැඩකරන පංතියේ විශේෂයෙන් ම එම පංතියේ තරුණ ප්‍රජාජිවිත වෙත වන බලපෑම සහ එම වෙළඳාම හරහා උත්පාදනය වන අතිරික්ත ලාභය පුද්ගල කණ්ඩයාම් හි ප්‍රාග්ධනය බවට පත්වීමත් ඒ අනුව විශාල ප්‍රාග්ධන හිමිකාරිත්වය ඇතිකරනවන ව්‍යපෘති හි කොටස්කරුවන් බවට පත්වීමේ ක්‍රියාවලිය Veronica අයර්ලන්ත පුවත්පතක් වන Sunday Independent වෙත වාර්තකිරිමය. එහිදී ඇය අප්‍රකාශිතව උපයාගනු ලබන දේපළ වෙත අවධානය යොමුකරන අතර එම දේපළ හිමිකාරිත්වය සහ මත්ද්‍රව්‍ය කණ්ඩායම් අතර සම්බන්දය පෙන්වා දීමට උත්සහ කරයි. මෙහි ප්‍රථිපලය නම්, මහමඟ, ඇයගේ රථය තුළදී ම , ඇයව වෙඩි තබා මරාදැමීමය. එම අශිෂ්ට ඝාතනයට විරුද්ධව විදි බට ජන බලකාය හේතුවෙන් තව දුරටත් නිහඬ වී සිටීමට නොහැකි වූ අයර්ලන්ත රජය විසින් Criminal Assets Bureau ව පිහිටුවමින් කඩිනම් සහ විධිමත් විමර්ශන මගින් මත්ද්‍රවය වෙළදාමේ කොටස්කරුවන් සහ , ඝාතනයේ හවුල්කරුවන් වෙත නිතිය ක්‍රියාත්කමකරමින් ද , ඔවුන් ගේ මහාපරිමාණ දේපළ අත්හිටුවීම ට ද කටයුතු කරන ලදී. එම අවසානය හරහා Veronica Guerin ජීවිතය අහිමි කිරීම ට යම් සාධාරණයක් හිමි වූ බව මට හැඟුනි. චිත්‍රපට නරඹන විට මගේ සිහියට නැඟුනේ ලසන්ත වික්‍රමතුංගය.

2009 ජනවාරි 08 උදැසන කාර්යාලය වෙත, තම මෝටර් රියෙන් පැමිණෙමින් සිටි Sunday Leader පුවත්පතේ ප්‍රධාන කතෘ වූ ලසන්ත වික්‍රමතුංග ,ඝාතනය වන්නේ කොළඹ රත්මලාන අත්තිඩිය පාරේදී හිස් ආවරණ පැළඳි ව පැමිණි යතුරුපැදි ධාවකයන් විසින් තැබූ වෙඩි පහරෙනි (https://www.omct.org/en/resources/urgent-interventions/assassination-of-mr-lasantha-wickrematunge). වෙරෝනිකා ගේ අඛ්යානයේ දී මෙන් නොව ලසන්තගේ කතාවේ දී, මෙම යතුරුපැදි ධාවකයන් අදටත් හඳුනා නොගත් පිරිසක් වී ඇත. එසේම ඒ මොහොතේ දී ආරක්ෂක ලේකම් ලෙස ධුරය හෙබවූ නන්දසේන ගෝටාබය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සපත කරමිනි. එහෙත් 2009 දී මෙන්ම 2021 දී ද නන්දසේන ගෝටාබය රාජපක්ෂ හට ජාතික ආරක්‍ෂාව යටතේ මාධ්‍යවේදීන් ගේ ආරක්ෂාව සැලසීමට හැකියාව තිබේ දැයි ගැටලුවකි. මන්දයත්, 2009 දී ඔහු ආරක්ෂක ලේකම් ධුරය දරණ මොහොතේ දී ඝාතනය වූ ලසන්ත වෙත මේ ගෙවෙන මොහොතේ දී ද යුක්තිය ඉටු නොවීම හේතුවෙනි. එසේම ලසන්තගේ ජිවිතය ද ජාතික ආරක්ෂාවේ කොටසක් වන අතර එය මහ මඟ දී අනාරක්ෂිත වන පසුබිමක, ජාතික ආරක්‍ෂාවද එදා මෙන්ම අදටත් අනාරක්ෂිත නොවේද ? කෙසේ නමුත් ජනමාධ්‍ය අමාත්‍යංශ වෙත මාධ්‍යවේදීන් වෙත ප්‍රධානය කල “ඇසිදිසි අනතුරු සහ වෛද්‍ය” රක්ෂණය හරහා අතුරුදහන් කිරීම්, පහර දීම්, අධිආරක්ෂිඅත කලාප තුළදී ඝාතනය කිරීම් වෙනුවෙන් ආවරණය සැලසීම තවමත් අපැහැදිලි කරුණකි (https://media.gov.lk/media-gallery/latest-news/2798-a-free-insurance-scheme-for-the-journalists).

වෙරෝනිකා ගේ මරණය අයර්ලන්තය තුල නව දේශපාලනික පරිච්චේදයක් අරම්භ කරන ලදී. එනම් Criminal Assets Bureau පිහිටුවීම මගිනි. 1996 ඔකොත්බර් 15 වැනිදා පනතක් මගින් සම්පාදිත මෙම ආයතනයේ මුලික කාර්යභාර්ය නම් අපරාධකරුවන් ගේ වත්කම් අත්හිටුවීම, සහ එම වත්කම් උපයාගනු ලබන මාර්ග වන මත්ද්‍රව්‍ය වෙළඳාම, මහජන දේපළ කොල්ලකෑම, වංචා සහ මුල්‍ය අපහරණය වැළැක්වීමය (https://www.cab.ie/about-us/). ලසන්තගේ මරණය හරහා 2015 දී බලයට පැමිණි 7 වන විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ද බරපතල වංචා, දුෂණ, සහ රාජ්‍ය බලය, සම්පත් සහ වරප්‍රසාද අවභාවිතය පිලිබඳ විමර්ශනය වෙනුවෙන් වූ ජනාධිපති කොමිසන් සභාවක් (https://www.newsfirst.lk/2017/09/03/2000-complaints-400-selected-17-investigated-precifac-term-ended/) පත්කරන ලද නමුත් එම කොමිසම ද ලසන්ත ලෙසම ඝාතනය විය. ඒ හේතුවෙන් ලසන්ත මරාදැමීම ට හේතුවූ මුලිකම කරුණක් වන බරපතල වංචා හෙලිකිරීම ට සාධාරණයක් පොළොවෙන් උපන් වැඩකරන පන්තියේ පියාගෙන් හෝ ලිබරල්වාදයේ පියා ගෙන් ද සිදු නොවිය.

ලසන්තගේ ඉතිහාසය ද මෙහිදී සිහිකැද විය යුතුය. ඔහුගේ දියණිය අහිම්සා විසින් 2021 දී මෙසේ ලියා ඇත; “2007 දී මගේ පියා, ලසන්ත වික්‍රමතුංග විසින්, ඒ මොහොතේ දී ආරක්ෂක ලේකම් වූ ගෝටබය රාජපක්ෂ මහතා ද සම්බන්ද වූ ඩොලර් මිලියන 10ක රාජ්‍ය මුදල් වංචා කරමින් සිදු වූ අවි ආයුධ ගනුදෙනුව ගැන ලියා තිබේ. එම ලිපිය ට එදිරිව අපහාස චෝදනා යටතේ රාජපක්ෂ විසින් වික්‍රමතුංග ට එදිරිව අධිකරණ ක්‍රියා මාර්ගයකට එළඹ ඇත. මෙහි අත්‍යසන්න ම ක්‍රියාව නම්, මුහුණු ආවරණය කළ හඳුනා නොගත් කණ්ඩායමක් විසින් Sunday Leader පුවත්පතේ හි මුද්‍රණාලය වෙත ප්‍රහාරයක් එල්ල කර තිබුණි. එහිදී කාර්යමණ්ඩල දෙදෙනෙකු වෙත පහර දී මුද්‍රණාලය ගිනිබත් කරන ලදී. මෙම දුෂිත ගනුදෙනුව වෙනුවෙන් සාක්ෂි විමර්ශනයට සති කිහිපයකට ප්‍රථම මගේ පියා මහමඟ දී මරා දමන ලදී ” (අහිම්සාගේ අඛ්යානයේ කෙටි අනුවාදනයකි; https://www.washingtonpost.com/opinions/2021/03/02/lasantha-wickrematunge-ahimsa-rajapaksa/). ලසන්ත මෙසේ මරා දමන විට අයර්ලන්ත යේ වෙරෝනිකා ද මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ සමඟ බැදී වංචා හි වගකිව යුතු පාර්ශව පොදු අවකාශය වෙත නිරාවරණය කරමිනි. වෙරෝනිකා වෙත ද පහර දීම්, වෙඩි තැබීම්, දරුවා පැහැරගෙන යාම ට තර්ජන කිරීම් නිරන්තරයෙන් සිදු වන්නේ මෙම නම් හෙළි කිරීමෙනි. නම් සහිතව ගසක් නිර්මාණය කිරීම හේතුවෙන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ බවද අමතක නොකළ යුතුය.

යථෝක්ත ව පැවසී ලෙසට වෙරෝනිකා ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කඩිනම් පියවර ගනු ලැබූ අතර, වංචාකරුවන් ගේ ලේ තැවරුණු ඉපයීම් අත්හිටුවීමට අයර්ලන්ත රජය කරයුතු කල නමුත් 2015 දී යහපාලන රජය ලසන්ත නැවත මරා දමමින් ද , ප්‍රගීත් නැවත අතුරුදහන් කරමින් ද මුල්‍ය වංචා වෙත වගකිව යුතු පාර්ශව හට සුරක්ෂණය සැපයීම පමණක් සිදුකල බව මගේ මතය වේ. එහි ප්‍රතිපලය නම්, මාතෘභුමිය බේරා ගැනීමේ නව ව්‍යපෘතියක් ආරම්භ වී, මෙම මරා දැමීම් ද්‍රෝහීන් වෙත කරන දඬුවම් ලෙසට නම් කරන අශිෂ්ට දේශපාලනයක් වෙත ජන මනස ගෙන ඒමය. එසේම මෙම ඝාතන වෙනුවෙන් යුක්තිය සෙවීම යනු සිංහල -බෞද්ධ ජාතිකවාදය ට එදිරි බටහිර ක්‍රියාවලියක් ලෙස නම් කරමින්, මෙම ඝාතන මෙන්ම මුල්‍ය වංචා ද යටපත් කර දැමීමය. එසේ ජන දේශපාලන විඤ්ඤානය වර්ධනය කිරීමට අවශ්‍ය පසුතලය යහපාලන ආණ්ඩුව ගොඩනගන ලදී. ජනමාධ්‍ය ද මෙම ජන දේශපාලන විඤ්ඤානය වර්ධනය කිරීමේ මුලිකත්වය ගනු ලැබූ අතර “බටහිර කුමන්ත්‍රණ බිල්ලා සහ මව්බිමේ ද්‍රෝහීන් වීමේ ” වේශ නිරුපණය හරහා මිත්‍යාකරන දේශපාලන භාක්තිකරණයක් අරඹන ලදී. අවසානයේ දී 2019 දී පත් වූ 8 වැනි විධායක ජනාධිපතිවරයා විසින් පත් කල විශේෂ ජානාධිපති කොමිසම හරහා මුල්‍ය වංචා වෙත වගකිව යුතු පාර්ශව නිදොස් කොට නිදහස් විය (http://www.colombopage.com/archive_21A/Jan31_1612078300CH.php). මෙය ලසන්ත ද ඇතුළු මරා දැමී සියලුම මාධ්‍යවේදීන් වෙත කරන ලද බරපතලම අපහාසයක් වේ.

2022 ජනවාරි 08 වැනිදා ට ලසන්ත මරා දමා වසර 13ක් සපිරේනු ඇත. ඔහුගේ දේහය සැතපෙන භුමියේ ඒකරාශී වී ඉටිපහන් දැල්වීම මෙන්ම ඔහුට සාමකාමී නින්දක් වෙනුවෙන් ද සටන් කිරීම ට දේශපාලන ධාරාවක් අවශ්‍ය වේ. එවැනි ධාරාවක් පිලිබඳ අපේක්ෂාවක් හෝ තිබේද? ??

අරුණි සමරකොන්

 

leave a reply