Breaking News

ඉල්ලීම් 07ක් දිනා ගැනීම වෙනුවෙන් ගොවි ජාතික සමුළුව පොළොන්නරුවේදී

ගොවි ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු විසදීමට අදාළ ඉල්ලීම් 07ක් මූලික කරගෙන ගොවි සංවිධාන ඒකාබද්ධ කරගත් ගොවි ජාතික සමුළුව අද (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්වී තිබේ.

මෙම සමුළුවේ අරමුණ වන්නේ මේ මොහොතේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ දීර්ඝ කාලීනව මුහුණ දෙමින් සිටි ප්‍රශ්න ප්‍රධාන ඉල්ලීම් ලෙස මූලික කරගනිමින් අඛන්ඩ ගොවි අරගලයක් සඳහා ගොවින් ඒකරාශී කරන සංවිධානයක් ගොඩ නැගීමයි. මෙම ගොවි සමුළුවේදී ඉදිරිපත් කළ මූලික ඉල්ලීම් 07 වන්නේ,

පොහොර අර්බුදයෙන් ඇති වු වගා හානියට වන්දි ගෙවනු!
පොහොර සහනාධාරය කප්පාදු නොකර නිසි ප‍්‍රමිතියෙන් යුතු පොහොර ලබා දෙනු!
ගොවි ණය පොලී පහත හෙලනු!
කෘෂි යන්ත්‍රෝපකරණ සදහා බදු සහන ලබා දෙනු!
සමාගම් ග‍්‍රහණයෙන් ගොවියා නිදහස් කරනු!
කෘෂිකර්මාන්තයේදී තීන්දු තීරණ ගැනිමට කෘෂි විශේෂඥයන්ගේ හා ගොවීන්ගේ ජාතික සභාවක් පිහිටවනු!
භුගත ජලයට මීටර් සවි කිරිමට ගත් කැබිනට් තීරණය හකුලා ගනු!

ඉල්ලීම් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහත දැක්වේ.

පොහොර අර්බුදයෙන් ඇති වු වගා හානියට වන්දි ගෙවනු!
සෑමදාමත් සමාගම් වල ක‍්‍රියාකාරීත්වයත් රජයේ ප‍්‍රතිපත්තින්වලිනුත් බැට කමින් සිටි ගොවියාට ආණ්ඩුව විසින් ඇති කළ මෙම පොහොර අර්බුදය මෙම කන්නයේ ගොවීන් මුහුණ දෙන බරපතළම ප‍්‍රශ්ණයකි. රසායනික පොහොර හා පළිබෝධනාශක තහනම් කිරිමත් කිරීමත් සමග ඇති වූ මෙම අර්බුදයේ ප‍්‍රථිපලයක් ලෙස මෙම කන්නයේදි පෙර කන්නවලදී ගොවියා අතට ලැබුණ ආදායම අහිමි වීම අනිවාර්ය වන්නකි. ආණ්ඩුව ආරම්භයේදී ප‍්‍රකාශ කළේ මෙම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරිමේදී ගොවීන්ට අහිමිවන ආදායම රජයෙන් ගෙවන බවයි. මේ මොහොත වන විට ඒ පිළිබඳ වගේ වගක් නැතිව සිටින ආණ්ඩුවෙන් එය ලබා ගත යුතුයි.

පොහොර සහනාධාරය කප්පාදු නොකර නිසි ප‍්‍රමිතියෙන් යුතු පොහොර ලබා දෙනු!
ආණ්ඩුවම හැදු පොහොර අර්බුදයෙන් අවසානයේ සිදු වු එක් කරුනක් වුයේ පොහොර සහනාධාරය කප්පාදු කිරීමයි. අනෙක කාබනික යැයි පවසමින් කිසිදු ප‍්‍රමිතියකින් තොර පොහොර ලබා දීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී කළ ප‍්‍රධාන පොරොන්දුවක් වුයේ වී වගාව සඳහා නොමිලේ පොහොර ලබා දෙන බවයි. පසුගිය 2021 වර්ෂය සඳහා අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අය වැය ලේඛනයේ 22 වන පිටුවේ සඳහන් වනුයේ වී වගාව සඳහා නොමිලේ පොහොර දෙන බවත් අනෙකුත් කිලෝ 50 ක පොහොර මිටියක් රුපියල් 1500 කට වෙළද පොලෙන් මිලදී ගැනීමට හැකිවන ලෙස සහනාධාරයක් දෙන බවයි. 2021 වර්ෂය අවසාන වීමටත් පෙර එය කප්පාදු කර දැමු ආණ්ඩුව සමාගම්වලට අවශ්‍ය ආකාරයට කිසිදු මිල පාලනයකින් තොරව පොහොර ගෙන්විමට ඉඩ සලසා දෙනු ලැබීය. ඒ හරහා 1962 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක වූ පොහොර සහනාධාරය ආණ්ඩුව විසින් කාබනික පොහොර පෙන්වා කප්පාදු කරණ ලදී.

අනෙක් ප‍්‍රධාන කරුණ වනුයේ පොහොරවල ප‍්‍රමිතිය පිළිබඳ ගැටළුවයි. පසට වස විෂ එක්වීමටත් බල පෑ ප‍්‍රධාන කරුණක් ලෙස සාකච්ඡා කෙරෙන්නේ එහි ඇති විෂ රසායනික ද්‍රව්‍යයි. ප‍්‍රමිතියෙන් තොර රසායනික පොහොර හා පළිබෝධනාශක රට තුළට කිසිදු පරික්ෂාවකින් තොරව පැමිණි බවට දැන් හෙළිදරව් වෙමින් ඇත. ගොවීන් ලෙස අපද ඒ පිළිබඳ අත්දැක ඇත. ගබඩාවලට පොහොර ලැබුණද පරික්ෂණාගාර වාර්තා ලැබී නැති බැවින් ඒවා නිකුත් නොකළ අවස්ථා ඕනෑ තරම්ය. ඒ හරහා හෙළිදරව් වන්නේ නිසි ප‍්‍රමිති පරික්ෂාකිරීම් වලින් තොරව ප‍්‍රාදේශීය ගබඩා දක්වාම පොහොර ලැබි ඇති බවය. දැන් ලබා දෙන කාබනික පොහොර සඳහා ද විධිමත් ප‍්‍රමිතිය පරික්ෂා කිරිම් සිදු නොවේ. ඒ හරහා අනාගතයේ දි සිදු විය හැකි හානිය කුමක්දැයි කිසිවකුටවත් අදහසක්වත් නොමැත.

ගොවි ණය පොලී පහත හෙලනු!
ගොවියා සෑම කන්නයකදිම ණය ගන්නේය. සෑම කන්න රැස්වීමකදීම ණය නිකුත් කිරිම් පිළිබඳවද ගොවීන්ට උපදෙස් ලැබේ. එහිදී විවිධ බැංකු විසින් විවිධ පොලී අනුපාත යටතේ හා විවිධ කොන්දේසි යටතේ ගොවීන්ට ණය නිකුත් කරනු ලැබේ. එහෙත් වී මිලදී ගැනීම සඳහා විවිධ මහා පරිමාණ මෝල් හිමියන්ට 1-2%ක් වැනි අඩු පොලියට ණය නිකුත් කරනු ලැබේ. කෘෂි කර්මාන්ත ක්ෂේත‍්‍රයට පැමිණෙන ආයෝජකයන් සඳහා බදු සහන ණය පොලී සහන ලබා දුන්නද ගොවි ණය සදහා ක‍්‍රමවත් සහනදායි වැඩපිළිවෙළක් සකස් විය යුතුය.

කෘෂි යන්ත්‍රෝපකරණ සදහා බදු සහන ලබා දෙනු!
රජය විසින් මැති ඇමතිවරුන්ට, රාජ්‍ය සේවකයන්ට වාහන ගෙන්වීමේ බදු සහන දෙන අතර ආයෝජකයන්ටද තම ආයෝජනයන් සමග විවිධ උපකරණ හා අමුද්‍රව්‍ය ආනයන සඳහාද විශාල බදු සහන ලබා දෙනු ලැබේ. මේ වන විට ගොවීන්ට තම වගාවන් සඳහා යොදා ගන්නා ලද යන්ත්‍රෝපකරණ සඳහා අති විශාල කුලියක් ගෙවන්නට සිදුව ඇත. එම ගෙවීම්ද කන්නයෙන් කන්නයට වේගයෙන් ඉහළ යමින් ඇත. කෘෂි ක්ෂෙත‍්‍රයේ භාවිතා කරනු ලබන යන්ත්‍රෝපකරණ විශාල ප‍්‍රමාණයක් විවිධ රටවල්වලින් ආනයනය කරනු ලැබේ. ඒවා සඳහා ආණ්ඩුව අතිවිශාල බදු මුදලක් අය කරනු ලැබේ. ගොවීන්ගේ නිෂ්පාදන වියදම අවම කර ගැනිම සදහා කෘෂි යන්ත්‍රෝපකරණවලට බදු සහන ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.

සමාගම් ග‍්‍රහණයෙන් ගොවියා නිදහස් කරනු!
මේ මොහොත වන විට කෘෂිිකර්මාන්තයට අදාළ ප‍්‍රධාන සාධක ගණනාවක් සම්පුර්ණයෙන්ම අත්පත් කරගෙන ඇත්තේ සමාගම්ය. ගොවියාට සෑම කන්නයෙන් කන්නයටම අවශ්‍ය බීජ සමාගම් වලින් මිල දී ගත යුතු අතර එම බීජ වල මිල අනිවාර්යයෙන්ම කන්නයෙන් කන්නයට වැඩි වන්නේය. ගොවියා නිපදවිය යුත්තේ කුමන නිෂ්පාදනය දැයි තීරණය කිරීමේ අයිතිය ද ජනතාව ආහාරයට ගත යුත්තේ කුමන ආහාරද යන්න පවා තීරණය කිරීම ඒ හරහා සමාගම් අත්පත් කරගෙන ඇත.
පොහොර හා පළිබෝධනාශක නිපදවිමේ හා බෙදාහැරීමේ සම්පුර්ණ අයිතියද සමාගම් අත්පත් කරගෙන ඇත. ඒ හරහාද ගොවියා දැවැන්ත සුරාකැමකට ලක් වේ. අස්වැන්න බෙදා හැරීමේ හා අලෙවි කිරීමේ ජාලයද දැන් ක‍්‍රමයෙන් මහා පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයන් තම ග‍්‍රහණයට ගනිමින් සිටී. කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ භාවිතා කරන යන්ත‍්‍ර සුත‍්‍රවල අයිතියද සම්පුර්ණයෙන්ම අත්පත් කර ගෙන ඇත්තේ සමාගම්ය. එක්කෝ ඒවා නිෂ්පාදන සමාගම්ය. නැතහොත් ණය දෙන සමාගම්ය. එසේම මේ වන විට කෘෂිකාර්මික ඉඩම් ද ජලයද වේගයෙන් සමාගම් විසින් අත්පත් කර ගනිමින් සිටී. ගොවිතැනින් ජිවත් විමටනම් ගොවීන් අනිවාර්යයෙන්ම සමාගම් ග‍්‍රහණයෙන් නිදහස් කළ යුතුය.

කෘෂිකර්මාන්තයේදී තීන්දු තීරණ ගැනිමට කෘෂි විශේෂඥයන්ගේ හා ගොවීන්ගේ ජාතික සභාවක් පිහිටවනු!
කෘෂිකර්මාන්ත ක්ෂෙත‍්‍රයේ තීන්දු තිරණ ගැනීමේදී කිසිසේත් ගොවි ජනතාව සම්බන්ධකර නොගනී. ගොවි ජනතාව කෙසේ වෙතත් පසුගිය කඩිකුලප්පු පොහොර ප‍්‍රතිපත්තිය පිළිබදව තීරණ ගැනීමේදී කෘෂි විශේෂඥයන්ගේ අදහස් තුට්ටුවකවත් මායිම් නොකළ බව අනාවරණය විය.
කෘෂිකර්මාන්තය පිළිබඳ සැලසුම් සහගත මධ්‍යගත වැඩපිළිවෙළක් තුළ අවශ්‍ය තිරණ තීන්දු ගැනීම එම ක්‍ෂේත‍්‍රයේ මේ වන විට ඇති බොහෝ ප‍්‍රශ්ණවලට පිළිතුරක් වනු ඇත. ඒ සඳහා ස්ථාවර ජාතික සභාවක් පිහිටුවිය යුතු අතර කෘෂි විශේෂඥයන් මෙන්ම සැබෑ ගොවි නායකයන්ද එයට එක් කර ගත යුතු වීම අනිවාර්ය කරුණකි.

භුගත ජලයට මීටර් සවි කිරිමට ගත් කැබිනට් තීරණය හකුලා ගනු!
ආණ්ඩුව වර්ෂ ගණනාවක සිට ජලය විකිණිමේ උත්සාහයක නියැලී සිටි. එය ලංකාව තුළ ආරම්භ වන්නේ 1980 දශකයේ සිටය. ඒ සඳහා විටින් විට විවිධ ආණ්ඩු විසින් විවිධාකාර උත්සාහයන් ගන්නා ලදී. 2017. මාර්තු 16 වන දින අතිි විශේෂ ගැසට් පත‍්‍ර අංක 2010/23 දරන ගැසට් පත‍්‍රය නිකුත් කරමින් එවකට ආණ්ඩුව භුගත ජලය ලබා ගැනිමේදී අවසර පත‍්‍රයක් ලබා ගත යුතු බවත් ලබා ගන්නා ජලය මැනිම සදහා මීටර් සවි කිරිමට කටයුතු කළ යුතු බවත් නියෝග කළේය.
2021 ජුලි 12 වන දින කැබිනට් මණ්ඩලය විසින් එම ගැසට් පත‍්‍රය බලාත්මක කිරීම සදහා ජල සම්පත් පනත සංශෝධනය කිරීමට තීරණය කරන ලදී. ජලය විකිණීම සඳහා විටින් විට ගෙනා උත්සාහයන් ජනතාව විසින් පරාජය කිරීම නිසා අද වන විට එය පියවරෙන් පියවර ඉදිරියට ගෙන ඒමට සියල්ල සකස් වෙමින් ඇත. ජලය මුළුමහත් ජනතාවගේ අයිතියක් ලෙස සලකා එය වෙළඳපොළෙහි විකිණෙන භාණ්ඩයක් බවට පත් කිරීමට ඉඩ නොදිය යුතුය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply