Breaking News

සීනි ව්‍යාපාරිකයෝ වරද පිළිගත්තා, රජයට ගත් සීනිවල වටිනාකම ඔවුන්ට ගෙවනවා – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් ඊයේ (1) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බවත් එම සීනි තොග ජනතාවට පාලන මිලට දීමට කටයුතු කරන බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල පැවසූ බව රජයේ මාධ්‍ය නිවේදනය කර තිබේ.

සීනි ආනයන සමාගම් හතරකට අයත් ගබඩා තුළ සඟවා තිබියදී මෙම සීනි තොග හමු වී ඇත.

එහෙත් කොමසාරිවරයා ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බවයි.

එසේම මෙම ගබඩා හිමියන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇතැයිද එම සීනි අයත් ව්‍යාපාරිකයන්ට පසුව ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් ගෙවීමට කටයුතු කරන්නේ යැයිද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

මින් සීනි ටොන් තිස් දහසක් සතොස සහ සමුපකාරවලට ඊයේ (1) බෙදා හැරි බවද ඔහු සඳහන් කර තිබේ.

එම ආයතනවලට බෙදා හැර ඉතිරි වෙන සීනි තොග මහජනතාවට අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලට ලබාදෙන බව පැවසූ නිවුන්හැල්ල රටපුරා සඟවා ඇති සීනි, සහල් සහ වී තොග සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයිද පවසා තිබේ.

මෙම සීනි තොග සොයාගනු ලැබුවේ සිදුව ,කැලණිය වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත සහ රහිත ගබඩා පහක තිබියදීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගබඩා වලට පසුව මුද්‍රා තබනු ලැබ ඇති බවද සඳහන් වේ.

සහල්, වී සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසිද පනවනු ලැබීය.

(2021-09-01 රජයට පවරාගත් සීනි තොග පිළිබඳ විස්තර පහතින් දැක් වේ) වෙළෙඳ ආයතනය ලිපිනය ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන්. මෙම තොරතුරු දක්වා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියෙයි.

Pyramid Wilmar Company මුතුරාජවෙල -ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 6200
Global Trading Company 809/5, මීගමුව පාර, මාබෝල, වත්තල-ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 4800
Global Trading Company 242, උස්වැටකෙයියාව, වත්තල-ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 4100
Wilson Trading Company (ගබඩා සංකීර්ණ 04)-ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 14,000
R.G. Stores හුණුපිටිය පාර, කිරිබත්ගොඩ-ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 800

ප්‍රමාණය
මෙට්ට්‍රික් ටොන් -29,900

leave a reply