ගාලු පාරදිගේ පැමිණි බස්රථය කොල්ලුපිටිය හන්දියෙන් වැල්ලවත්ත දෙසට හැරෙව්වේ පාලනය කරගන්නට අපහසු වේගයෙනි. රියදුරාගේත් කොන්දොස්රගේත් අභිප්‍රාය තවත් දහයේ කෑලි කීයක් හෝ වැඩිකර ගන්නටය. කොල්ලුපිටිය හන්දියේ බස්රථය නවත්වා කොන්දොස්තර බෙරිහන් දෙන්නේ ය.
“මතුගම, මතුගම, මතුගම”
“බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, අඟුලාන, මොරටුව, පානදුර, කළුතර, මතුගම, මතුගම… “.
කොන්දොස්තරවරයාගේ හඬ නොතකා දිනාලි මතකය අවදි කරමින් සිටියා ය. දිනාලිට කොල්ලුපිටිය හන්දිය පසුකරනා විටත් කොරළවැල්ල පසුකරනා විටත් හදවත අභ්‍යාන්තරයෙන් පැනනගිනා කිතියක් ශරීරය පුරාම දිවයයි. හිත හිරිවට්ටන ඒ හැඟීමට ඉඩදෙමින් දිනාලි දෑස් පියාගත්තේ මුව අගට සොඳුරු සිනහවක් නංවා ගනිමින් ය.
මරාවේෂයෙන් පැමිණි බස් රිය කොල්ලුපිටිය හන්දියේදී එකවරම තිරීංඟ යෙදූ නිසා බස් රථය තුළ සිටි තරුණියක බසයෙන් එළියට වීසිවූවේය. මොහොතකට නිහැඬියාව රජ කළේ සියලු දෙනාගේම ඇස් උඩ ඉන්දවමින් ය. තරුණිය අපහසුවෙන් නැගී සිටියාය. ඇය බියට පත්ව වටපිට බලන්නට වූවාය.
“හයියෙන් අල්ල ගන්න එපැයි නංඟි, තව ඩිංගෙන් අපි ඔක්කෝ ම අමාරුවේ …..”
“හයියෙන් අල්ල ගන්න, තෝ ආවේ අල්ල ගන්න පුළුවන් වේගෙකින් ද ? ඉඟුරු පුකේ තිබ්බා වගේ නේ තෝ බස් එක අරගෙන ආවේ.”
“රුපියලට, සත පනහට ජීවිත ලංන්සු තියෙන බල්ලෝ”.
පිරිසගේ විරෝධය එන්න එන්න වැඩිවූයෙන් රියදුරාත්, කොන්දෙස්තරත් බසයෙන් බැස තරුණියගෙන් සමාව ඉල්ලුවෝය.
“හරි හරි කියලා හරි යනවා ද ? කෙල්ල මරණයෙන් බේරුනේ අනූ නවයෙන්. සත පනහා, රුපියල වමට ගැහුවා වගේ ද යකෝ මනුස්ස ජීවිත ?”.
දිනාලිත්,චානකත් මුලින්ම හමුවූයේ එසේ ය.
“මට ආයේ ම ඒ බස් එකේ යන්න බෑ අයියේ. ටිකක් වෙලා මෙතැන ඉඳිලා යනවා. හිත බය උනා”.
දිනාලි තම පිහිටට පැමිණි ගැලවුම්කාරයාට තම සිත තුළ වූ හැඟීම විස්තර කළාය.
“විශ්ව විද්‍යාලෙට තේරීලා ඉන්නේ අයියේ, ඉංග්‍රීසි කොර්ස් එකක් කරනවා ටෙක් එකේ. කැම්පස් පටන් ගන්නකං”.
“ගම අයියේ මතුගම, මතුගම කිව්වට මීගහතැන්නේ. මතුගම ඉඳලා තව දුරයි”.
“තාත්තා අපි පුංචිම කාලෙම නැතිවෙලා අයියේ. අම්මා ඉන්නේ බහරේන්වල. තව අයියා කෙනෙක් ඉන්නවා. එයා පේරාදෙණිය කැම්පස්. ආච්චි තමයි අපි බලාගන්නේ”.
කොල්ලුපිටිය හන්දියේ ලිබර්ටි ප්ලාසා වෙළඳ සංකීර්ණය ඉදිරිපිට බස් නැවතුමේ කාලය ගතවී යන අයුරු දෙදෙනාට ම නොදැනුනේ ය.
“මමත් එන්නම් මගට හරි. නංඟිගේ හිත ගැස්සිලා තියෙන්නේ”.
වෙලාවේ හැටියට පිහිටට පැමිණි ආගන්තුකයා සමග විස්තර හුවමාරු කරගත්තා වැඩි දැයි දිනාලිට සිතුනාය. දිනාලිට මොරටුව හරියේදී ආසනයක් ලැබුන ද දෙදෙනාට ම එක ළඟ හිඳ ගන්නට ලැබුනේ කළුතර බස් නැවතුමෙන් සෙනඟ බැස ගිය පසු ය.
“අයියා කොළඹ කැම්පස්, අම්මෝ අඳුනා ගත්ත එක ලොකු දෙයක්”.
“අපරාදේ අයියේ මම රුහුණනේ ඉල්ලුවේ”.
දිනාලි වරින් වර කියෙව්වෙි ගිරවියක මෙනි.
“ආයෙත් ලබන ඉරිදා කෝස් එක අයියේ”.
දිනාලි චානකගෙන් සමුගත්තේ ජීවිතයේ කිසිදා නොවිඳී මිහිරි හැඟීමක් සිතතුළ ගුලි කරගනිමින් ය.
ඊළඟ සතියේ කාර් මික විද්‍යාලයේ ඉංග්‍රිසි පාඨමාලාව හමාරවන වේලාවට චානක ගේට්ටුව ඉදිරිපිට ය. දිනාලි යටි සිතින් බලාපොරොත්තු වූ මේ දසුනෙන් ඇගේ සිත පුරා අමුතුම මිහිරක් දිව ගියේය. කොපුල් වල ගැසෙන සිනාවකින් ඇය චානක පිළිගත්තාය. උණුසුම් හැඟීමක් සිත පුරා දෝරේ ගැලුවේය.
“අයියා …. මම හිතුවේ නෑ ආයෙමත් හම්බවෙයි කියලා…..”
ඇගේ වතකමල විකසිත වූයේ ය. නෙත් කාන්තියෙන් බැබලුනේය. එදා බසයේ අවසාන පේලියේ ආසනයක අසුන් ගතව එකිනෙකාට වඩාත් සමීප වෙන්නට ඔවුනට හැකි වූහ. ඉර අවරට යන්නට පටන්ගෙන ය. ගිනියම් වූ පරිසරයට සිසිලසක් කැඳවාගෙන එන මොහොතේ දිනාලිගේ හදවත තුළ මිහිරි හැඟුම් ගොනුවෙමින් තිබුණි. කොළඹ විශ්ව විද්‍යාලයේ අයියා කෙනෙක්, උසට සරිලන මහත, රවුම් මුහුණ, කොන්ඩය කැරලි කැරලි චිත්‍රපට නළුවෙක්ගේ වගේ, කතා කරන විදිය උනත් හදවතේ ගැඹුරු ම තැන ආමන්ත්‍රණය කරනවා, ආවේගශිලියි, දිනාලිගේ හදවත පුරා සිතුවම් වූයේ චානකගේ රුව ය. මොරටුව පසුකොට බස් රථය වේගවත් වූයේය.
“කොහොමත් බස්එක මේ මුඩුක්කු පහුකරන කොට වේගයෙන් යනවා”.
දිනාලිගේ කටින් ඉබේ ම පිට වුනේය. චානකට සිනහව නවතා ගන්නට නොහැකි වුවේය. දිනාලිගේ ඇස් නැවතී ඇත්තේ ජනෙල් කවුළුවෙන් එහා පෙනෙනා තාවකාලික නිවාස පේළිවල ය.
“මොකක් ? ”
“නෑ අනේ අයියේ, මේ මුඩුක්කු තියෙන හරියෙදි බස්එක හයියෙන් යනවානේ කොහොමත්”.
දිනාලිගේ මුහුණ රතු වූයේය. ඇය බිම බලා ගත්තාය. ඇයටත් නොදැනුවත්ව ම චානකගේ අතකින් අල්ලා ගත්තාය. දිනාලි චානකගේ උරහිසට හේත්තු වූවාය. මෘදු ස්ප ර්ශයෙන් පටලැවුණු දෙඅත් මිදුනේ මතුගමින් බසය නැවැත් වූ විටය.
ඉංග්‍රිසි පාඨමාලාව නිමාවුණි. දිනාලිගේ විශ්වවිද්‍යාල ජීවිතය ඇරඹිණි. දිනාලි සතිඅන්තයේ ගෙදර නොගොස් නේවාසිකාගාරයේ රැඳී සිටියේ චානක එනතෙක් පෙරමග බලාගෙන ය. ශිෂ්‍ය සංගම් වැඩ නිසා චානක කාර්යබහුල ය. එක්කො ශිෂ්‍යයන්ගේ පංති තහනම්ය, එසේත් නැතිනම් ශිෂ්‍ය කණ්ඩායමක ශිෂ්‍යභාවය අහෝසි කර තිබුණි. තවත් දවසක නේවාසිකාගාර අර්බුධයකි. ශිෂ්‍ය සුබසාධනය කප්පාදු කිරීම් ය. මෙකී නොකී ප්‍රශ්නවලට මැදිහත් වන්නට සිදුවීම නිසා අධ්‍යයන ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් අසීමිතව කැපකළ චානක ගැන දිනාලිගේ සිතෙහි අප්‍රමාණ ගෞරවයක් ඉපදෙමින් තිබුණි.
“මම ආසයි දියුණු සංස්කෘතික ජීවිතයකට. ඒත් කොහෙද එහෙම ජීවිතයක් විඳින්න වෙලාවක් ? එහෙම මානසික මට්ටමක්, සියලු සාරයන් සිඳීගිය සමාජයක අපි ජීවත් වෙන්නේ”.
දිනාලි කැටුව කෞතුකාගාරය බලන්නට ගියදා චානක පැවසුවේය. චානකගේ අතේ එල්ලී කෞතුකාගාර පරිශ්‍රය පුරා ඇවිද්ද අයුරුත් දිනාලිගේ මතකයට නැගුනේ ය. විශ්වවිද්‍යාලයේ විභාග දවසින් දවස විවිධ හේතු නිසා කල් දමනා චානකත්, පළමු වසරේ සිසුවියක වූ දිනාලිගේත් වයස් පරතරය ගැන දිනාලි ගණන් බැලුවාය. දිනාලිගේ ජීවිතය පවතින්නේ අන්තිම අවදානමක බව දිනාලිට වැටහුනේ එදාය. දිනාලිගේ හිත ගිනි ගත්තේය. දෙනෙත් පුංචි කොට චානක දිහා බලාගෙන සිටියාය.
“අපි අදට වඩා හෙට ගැන හිතලා වැඩකරන්න ඕනෑ”.
චානක ස්වරය ශාන්තය. තවත් දිනයකදී දිනාලිට මාතර නගරයේදී අහම්බෙන් චානක මුනගැසුනේය. දිනාලිට දෙනෙත් අදහා ගන්නට නොහැකිව බලා සිටියාය.
“අද මොකක්ද කරන්නේ නංඟි ? මම ශිෂ්‍ය සංගමයේ වැඩකට ආපු ගමන්”.
දිනාලිගේ සිත පොළඹවන්නේ ඔහු සමග සුරතල් වීමටය.
“චිත්‍රපටයක් බලන්න යමුද ?”.
යෝජනාව චානකගේ ය. දිනාලි චානක සමග බැල්කණියේ පඩිපෙළ නැංගේ සිතපුරා දෝරේ ගලන සතුටකිනි. දර්ශනය ආරම්භවීමේ සීනුව නාදවිය. දෙදෙනාම බලාසිටියේ ශාලාව අඳුරු වන තෙක් ය. චානකගේ හුස්ම ගන්නා හඬ පවා ඇසෙන තරමට සමීප වූ දිනාලි මීට පෙර කිසිම දිනෙක විරුද්ධ ලිංඟිකයෙක්ට ඒ තරම් සමීප වී නොතිබුණි. දිනාලි චානකගේ අත්ල අල්ලා ගත්තාය. දිනාලිගේ අත සීතල වී තිබුණත් චානකගේ අත ගිනි අඟුරක් මෙන් උණුසුම්විය. චානකගේ අතෙහි රැඳි උණුසුම ඇඟිලි දිගේ විත් මුළු සර්වාංගය පුරාම ගලායන සෙයක් දිනාලිට දැනුනි. චානකගේ ප්‍රාශ්වාසයේ උණුසුම දිනාලිගේ කම්මුලෙහි දැවටුනේ ය. චානකගේ දෙතොල් දිනාලිගේ කොපුල් මත තැවරෙන විට දිනාලි චානකගේ ඇකයට තව තවත් තුරුළු වූයේ සිහිසුන් වූ අයුරින් ය. ඇගේත් ඔහුගේත් වයස් පරතරය සිතින් අමතක කර දැමූයේ එදාය. චානකගේ ආදරය දිනාලි විශ්වවිද්‍යාලයේ ප්‍රීතිමත් ම ශිෂ්‍යාව බවට පත් කළේය. කෙදිනකවත් ආදරය පිළිබඳ කතා නොකළ ඔවුනොවුන් සිතින් ස්ථිර ආදරයකින් බැඳී සිටියෝය.
“අද අපි යමුද ලෝකයේ ලස්සන ම මුහුදු වෙරළක් බලන්න ?”
“ලෝකයේ ? ලස්සන ම මුහුදු වෙරළක් ?”
“ඔව්, ආතර් සී ක්ලාක් කියලා තියෙන්නේ ලෝකයේ ලස්සන ම මුහුදු වෙරළක් කියලා රූමස්සල වෙරළ. මෙතන ඉඳලා ලොකු දුරකුත් නෑ”.
අවකාශයට ඉමක් මායික් නොමැති මුහුදත්, නිල්වන් පැහැයෙන් අනික් පසින් දිස්වන කඳුවැටියේ දසුනිනුත් මත්වී සිටි දිනාලි එදා වරුවම චානකගේ උණුසුම් දෑතේ වෙලී සිටියාය. ග්‍රහණයෙන් මිදෙන්නට නොසිතෙනා තරමට එදා දවස රසවත් ය. රූමස්සල හා බැඳුණු ඓතිහාසික කතාවක පසුබිමත්, ඒ ඓතිහාසික කතාව සමග බැඳුණු විද්‍යාත්මක කතා ප්‍රවෘත්තියත් ලස්සනට චානක විස්තර කළේය. හිතේ ඇති තරම් සතුටකුත් ඒවගේ ම දැනුමකුත් රැගෙන දිනය නිමා කරන්නට දිනාලිට හැකි විය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයකදී අනවසරයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කඩා වැදීම, එහි දේපලවලට අලාභහානි කිරීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සිරඅඩස්සියේ තබා ගැනීම යන චෝදනාවලට චානක අත්අඩංගුවට පත් වූ පුවත දිනාලි නැරඹූයේ රාත්‍රී අටට විකාශයවන ප්‍රවෘත්ති තුළින් ය. ඒ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පෙළපාලි සහ උද්ඝෝෂණ නිසා දෛනික ජනජීවිතය අඩාලවන බව කියාපෑමේ වැඩසටහනක් විකාශය වූයේ නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන්ගේ හූ හඬ මධ්‍යයේ ය. චානකගේ ශිෂ්‍යභාවය තවත් වසර දෙකකට අහෝසිවීම පිළිබඳ අල්ප මාත්‍රයක හෝ හැඟීමක් නොමැතිව වැලිකඩ සිරමැදිරියක සිරවී සිටින්නේය. දිනාලි චානක බලන්නට වැලිකඩ ගියේ හදවතේ ගල් එල්ලාගෙන ය. දිනාලි ඔහු අභියස මිමිනුවේ ජිවිතයේ බලාපෙරොත්තු සිත කොනක දල්වා ගනිමිනි. ජීවිතයේ කවදා හෝ සැබෑ උණුසුම් ප්‍රේමයක් අත්විඳ ගැනීමේ අරමුණ ඒ තුළ ශේෂ වී තිබුණා නොවේදැයි දිනාලි තමාගෙන්ම ප්‍රශ්න කරගත්තාය. නමුත් චානක ප්‍රති උත්තර සැපයූවේ නොපැහැදිලි හඬකින් ය. ඇය දෑස පියා ගනිමින් චානකගේ හඬට සවන් දුන්නාය.
“ඔය නිසා තමයි මම කිව්වේ අපි ඈත්වෙලා ඉඳිමු කියලා. හැඟීමක් නැතිව නොවෙයි. මමත් එක්ක ජීවිතයක් ආරම්භ කළොත් ඔයාට හිමිවෙන්නේ දුක ම විතරයි”.
තිගැස්මකින් ඇගේ හදවත ස්පන්දනය වෙමින් තිබුණි. වර්තමාන ලෝකයේ ඔහු සමග ප්‍රේමයේ ප්‍ර මෝදය අත්විඳිමන් සිටිය ද අනාගතයේ ඔහු සමග ජීවිතය ඉදිරියට තල්ලු කිරීමේ අවකාශ නොමැති බව දිනාලිට අවබෝධවෙමින් තිබුණි. දිගින් දිගට ම ඇයගේ ප්‍රශ්න හමුවේ මුනිවත රකින චානක හමුවේ තව දුරටත් කතා කිරීම නිශ්ඵල කටයුත්තක් බව දිනාලි වටහා ගත්තාය.
“ඔයාට ආදරේ නිසා තමයි කියන්නේ, ඈත් වෙන්න මගෙන්”.
දිනාලි හිස් බැල්මෙන් චානක දෙස බලා සිටියාය. දිනාලි උත්සාහ කළේ සිදුවූ සියල්ල අනුපිළිවෙලින් මතක්කොට, වචනයෙන් ප්‍රකාශනොවූව ද සිතේ පිළිසිඳ ගැනුන ප්‍රේමය හේතුකරගෙන චානකගේ සිත වෙනස් කිරීමයි. ජීවිතයේ ඉතිරි කාලය සන්තුෂ්ටියක් වෙනුවෙන් විවර කර ගැනීම සඳහා චානක කැමති කරවා ගැනීමයි. එම සිතුවිලි සිත පතුලේ ම ශේෂව තිබියදී ඇය සිත හදාගෙන එළියට බැස්සේ බිමට නැඹුරු කරගත් මුහුණින් ය.
දිනාලි ජයතිලක දැන් සංචාරක අමාත්‍යංශයේ ව්‍යාපෘති නිලධාරිනියකි. ඇය යෝජනාවකින් මේ වසර අගදී විවාහවන්නීය. අනාගත සැමියා සමග ඉඳහිට පානදුරේ සිට කොළඹට මෝටර් රථයෙන් පැමිණෙන්නීය.
“බස්එක මුඩුක්කු පහුකරන කොට හයියෙන් යනවා”.
අතීතය මතකයට නැගී නිරායාසයෙන් ඇගේ මුවගට සිනාවක් නැගේ. ඇගේ අතගන්නට බලාපොරොත්තුවෙන් සිටින තරුණයාට අඟුලාන පසුකරනා විට දිනාලිගේ මුහුණේ ඇඳීයන ලස්සන සිනාරැල්ලට යටින් ඇති කතාව කුමක්දැයි තේරුම් ගන්නට දිනාලිගේ මුහුණට එබී බැලුවේය.