රැකියාවක් කරන ඔබ, දවසින් වැඩි වෙලාවක් එනම්, ඉර ආලෝකය තියෙන වෙලාවෙන් වැඩි වෙලාවක් ගත කරන්නේ රැකියා ස්ථානයේ ය. සේවා මුරයකට අනුව රාජකාරියේ යෙදෙන අය ද දවසින් වැඩි වෙලාවක් ගත කරන්නේ රැකියා ස්ථානයේ මය.
එබැවින් රැකියා ස්ථානය ප්‍රියජනක ස්ථානයක් වීම ඉතා වටී.
එහෙත්, බොහෝ අවස්ථාවල රැකියා ස්ථානය අප්‍රිය වු අය අපට මුණ ගැසේ. ” අයියෝ, මට නම් එපා වෙලා තියෙන්නේ වැඩට එන එකත්” කියා කරන අවලාද, ප්‍රකාශ, ඔබට මට බොහෝ අවස්ථාවල අසන්නට ලැබේ.
දවසෙන් වැඩි වෙලාවක් රාජකාරී ස්ථානයේ රැඳී සිටින අයට එම ස්ථානය ප්‍රිය ජනක ස්ථානයක් බවට පවත්වාගෙන යන්නේ හෝ පත් කර ගන්නේ කෙසේදැයි විමසා බලමු.
අනෙකුත් සියළුම ස්ථාන වලදී මෙන්ම රැකියා ස්ථානයේ දී අපිට මුණගැහෙන්නේ විවිධ අදහස්, උදහස්, මති මතාන්තර දරන අයවලුන් වේ. විවිධ මානසික මට්ටම් වල අයවලුන් සමග වේ. උසස් අධ්‍යාපන තත්වයක් ඇති අය සේම, පහල අධ්‍යාපන මට්ටම් වල අය සමග ද කටයුතු කිරීමට සිදුවේ.
මෙහිදී මේ සෑම තරාතිරමක ම අය සමග කටයුතු කිරීමේදී, ප්‍රසන්න මුහුණ, ගැලපෙන ඇඳුම් ආයිත්තම් සේම ඉතා හොද හැසිරීම ඇති තැන, ප්‍රසන්න රැකියා ස්ථානයට ඉතාම වැදගත් පලමු කාරණය ලෙස දකිමි.
රාජකාරී ඉටු කිරීමේදී උද්ගත වන ඉතා අප්‍රසන්න අවස්ථා අවම කිරීමට ඔබේ මුවේ සිනහවට, වැදගත් හැසිරීමට හැකිය. සෑම බැරෑරුම් අවස්ථාවක සිනාමුසුව, කලබලයෙන් තොරව කටයුතු කිරීමෙන් ඉතා බැරෑරුම් අවස්ථා සතුටුදායක ලෙස කළමණාකරනය කර ගත හැකි බව මගේ අත්දැකීමයි.
දෙවනුව, ඔබ සමග කටයුතු කරන කා සමග වුවද සුහදව කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි වාද විවාද, රාජකාරී පැහැර හැරීම් අවම කර ගත හැකිවා මෙන්ම , නොසලකා හැරීම් සහ වැරදි ආකල්ප ඇති අය පාලනය කර නිසි මාර්ගයට අවතීර්ණ කර ගැනීමට හැකිවීමෙන් එසේ නොවීමෙන් ඇති වන කලකිරීම් සහිත රාජකාරී වටපිටාව ප්‍රසන්න වටපිටාවකට පරිවර්තනය කර ගැනීමට හැකිය.
වැරදි භාවිත, වැරදි හැසිරීම්, වැරදි ආකල්ප පාලනයට පෙර ඔබ නිවැරදි හාවිතයක් සහිත, පූර්වාදර්ශයක් සැපයිය හැකි පුද්ගලයෙක් හෙවත් නිලධාරියෙකු වීම තුලින්ම ඔබේ රාජකාරී පරිසරය ප්‍රිය මනාප ව ඔබටම ග්‍රහණය කර ගත හැකිය.
තෙවනුව, ඔබේ වැඩ පරිසරය නෙතට ප්‍රිය, පිරිසිදු, පිලිවෙල ඇතිව, සංවිධානාත්මකව ලෙස හසුරුවා ගැනීමට තුලින් හිතට ප්‍රිය රැකියා ස්ථානයක ඔබ සතුටින් රැකියාවේ යෙදෙනු ඇත.
සිව්වැනිව, ඔබ ඔබේ රැකියාවේ ගුණාත්මය වැඩිදියුණු කර ගත යුතුමය. පලදායි සේවාවක් සේවා ස්ථානයට සපයන ඔබට ඔබේ සේවා ස්ථානයෙන් නිසි පිලිගැනීමක් පෙරලා සැපයේ. ඉහල නිලධාරීන්ගේ මෙන්ම, විවිධ මට්ටම් වල සේවයේ නිරත, පුද්ගලයන් අතර මෙන්ම සේවාලාහී කොයි කාගේත් පැසසුමට ඔබ ලක් වෙනු ඇත. “කොච්චර කරත් හොඳක් නෑ අනේ” කියනවට වඩා ඉන් ඔබ ලැබූ ආත්ම තෘප්තිය විමසා බැලීම වටී.
පස්වැනිව, ඔබ ඔබේ සේවා තත්වය ඉහළටම රැගෙන යන්න. ඉන්න තැනින් එක අඩියක් හෝ පෙරට තබන්න. සෑමදාකම යමක් ඉගෙන ගන්න. කරන රැකියාවට සම්බන්ධ සෑම ඉසව්වකම දැණුම එකතු කර ගන්න. දැණුමින් හා මනසින් පොහොසත් ඔබට රැකියා ස්ථානය කිසිදින අප්‍රිය නොවනු ඇත.