Breaking News

තෙල් සංස්ථාව පාඩු ලබන්නේ කොහොමද? – දවසකට කෝටි 08ක් අහිමිවෙන හැටි පුබුදු කියයි

මේ දිනවල තෙල් සංස්ථාව පාඩු ලබමින් තිබෙන බවත් එයට හේතු ලෙස විවිධ කරනු ඉදිරිපත් කරමින් සිටියි. ඉන් එක් හේතුවක් ලෙස ඇමතිවරයා සඳහන් කරේ සංස්ථාව තුළ වැඩකරන සේවකයන් අකාර්යක්ෂම බවයි. තවත් හේතුවක් ලෙස සහන මිලට නිෂ්පාදන අලෙවිය සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අතිරික්ත සේවක සංඛ්‍යාව, අකාර්යක්ෂම සහ අනවශ්‍ය ලෙස ඉහළ වැටුප් ලබන සේවකයින්, 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ 25% වැටුප් වර්ධක, තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳා පැවතීම සහ ඉහළ බෙදාහැරීමේ පිරිවැය ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතු වී ඇති බව ය.

ඇමතිවරයා ඉතා ලේසියෙන් ඒවාට විසඳුම් ලෙස ඉදිරිපත් කරන්නේ මෙම ආයතන ප්‍රතිවියුහ ගතකර යුතු බවයි. ඒ අනුව දැනටම චීනයේ සහ ඉන්දියානු සමාගම් මෙරට තෙල් බෙදාහැරීම් සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. එලෙස ලබාදීමට සැරසෙන ඉන්ධනහල් ප්‍රමාණය 700ට ආසන්න බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

නමුත් තෙල් සංස්ථාව පාඩු ලැබීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියන්නේ වෙනස් කතාවකි.

ඔහු තෙල් සංස්ථාව පාඩු ලැබීමට බලපාන කරුණු අතරින් එක් කරුණක් අද හෙළිකර තිබුණි. තෙල් සංස්ථාව තුළ රුපියල් කෝටි 600ක පමණ අති දැවැන්ත අලාභයක් සංස්ථාවට සිදුවන ආකාරයේ අමනෝඥ තීරණ ප්‍රමාණයක් අරගෙන තිබෙන බවත් එම තීරණවලට ඇමතිවරු, ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් වගකිවයුතු බවත් අද පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ පැවසීය.

” සාමාන්‍යයෙන් සංස්ථාව තෙල් බෙදාහරින්නන්ට කොමිස් එකක් ලබාදෙනවා. 2019 වෙනකොටත් මේක තිබුණේ ලීටරයකට සියයට 2.5ක් වගේ. ඉන්පසු තෙල් බෙදාහරින්නන් කරපු ඉල්ලීමට අනුව 2019 ජුනි මාසයේ මේ මිල සියයට 3ක් කරා. එවකට 92වර්ගය පෙට්‍රල් ලීටරයක් තිබුණේ රු 117ට 3.30 වගේ ලැබුනා මේ කොමිස් මුදල ඉහළ නැංවීම හරහා. තෙල් මිල ඉහළ යනකොට ලබාදෙන ප්‍රතිශතය වැඩිකරන්නේ නැහැ. තෙල් මිල පහළ ගියත් ලබාදෙන කොමිස් මුදලේ අවම ප්‍රමාණය කියලා නිර්දේශයක් තියෙනවා. නමුත් 2021 ජුනි 21වැනිදා ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුකලා. ඒ මිල සංශෝධනයේදී 92වර්ගයේ පෙට්‍රල් මිල රු 157දක්වා ඉහළ නැග්ගුවා. 95 රු184ක් වුණා.ඔටෝ ඩීසල් 111ක් වුණා. සුපර් ඩීසල් 144ක් වුණා. 95වර්ගයේ පෙට්‍රල් ලීටරයක කමිෂන් එක වැඩිකළ හැකි උපරිම මිල විදිහට තිබුනේ රු 170න් සියයට 05ක්. නමුත් තෙල් මිල 184ට වැඩිවීමත් සමඟ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් හරහා ලබාදීලා තියෙන නිර්දේශ ගැන තැකීමකින් තොරව රු 184කට සියයට 5ක කමිෂන් එකක් දීලා තියෙනවා. ඊටපස්සේ 2021 දෙසැම්බර් මාසයේ නැවත මිල වැඩිවෙනවා. උදාහරණයකට 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට දෙන්න පුළුවන් උපරිම කමිෂන් මුදල විදිහට දෙන්න තියෙන්නේ රු 5යි ශත 10යි. නමුත් රු 5.52ක් ගානේ ගෙවලා තියෙනවා. ඇමතිවරුන්ගේ සිට සියලුදෙනාට පිරවුම්හල් අයිතියි. මේක නැවත වෙනස් වුණා 2021 වසරේ දෙසැම්බර් මාසයේ නැවත ඉන්ධන මිල වැඩිවූ අවස්ථාවේ. 92වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 177 දක්වා ගියා. නමුත් කොමිෂන් මුදල ලබාදෙන සීමාව තිබුනේ 167. 9 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 207 දක්වා ගියා. කොමිෂන් මුදල ලබාදෙන සීමාව තිබුනේ 170ට. එතකොට 170න් සියයට 05ක් දෙන්න ඕන. නමුත් 207න් සියයට 3ක් ගෙව්වා. මේ ආකාරයට ඉන්ධන මිල වැඩිවෙද්දී කමිෂන් එක වැඩිකරගෙන ගියා. 2022 ජනවාරි 18 දක්වා කමිෂන් එක කිසිදු විචාරයකින් තොරව වැඩිකරගෙන ගියා. 2022 ජනවාරි 18වැනිදා නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මුදල් කළමනාකාර අධ්‍යක්ෂකවරයාට ලිපියක් යොමුකරමින් මේ වැඩිපුර ගෙවීම ගැන අහලා තියෙනවා. නමුත් 2022 මාර්තු මාසයේ විශේෂ චක්‍රලේඛයක් නිකුත්කරම්න් වැඩිපුර ගෙවලා තියෙන කොමිස් මුදල වාරික හතරකින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවන්න කියලා ඉල්ලා තියෙනවා. නමුත් ඉන්ධන හල හිමියෝ පිරිසක් ඇවිත් එවක ඛනිජ තෙල් ඇමති ගාමිණී ලොකුගේ හමුවුණාම ඇමති කියලා තිබුණා මේක ගෙවන්න අවශ්‍ය නැහැ කියලා. ඊටපස්සේ ඉන්ධන හල් හිමියෝ මේ නැවත අයකරගැනීම නවත්වන්න කියලා වාරණ නියෝගයක් ඉල්ලලා තිබුණා. මේ අනුව කොළඹ දිසා අධිකරණයෙන් ඒකපාර්ශවිකව වාරණ නියෝගයක් ලබාදුන්නා. ඔයවෙනකොටත් දවසකට රු කෝටි 08ගානෙ සංස්ථාවට අහිමිවෙනවා. දෙවැනි නඩු වාරයේදී මේ වාරණ නියෝගය සතියකට වැඩි කරන්න සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ එකඟ වුණා. තුන්වන නඩු වාරයේදී ඒ කියන්නේ මේ වසරේ ජූලි 15 වෙනිදා වාරණය ඉවත් කරා. මේ නඩු තීන්දුව දෙන අවස්ථාව වෙනකොටත් රුපියල් බිලියන 4ක් පමණ පිරවුම්හල්වලට වැඩිපුර ගෙවීමක් කරලා තිබුනා.

මේකෙ ප්‍රශ්නේ තමයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා නිලධාරීන් ගණනාවකටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාරව ආපු ඇමතිවරුන්ටත් වෙන වෙන අයගේ නම්වලින් ඉන්ධන පිරවුම්හල් තියෙනවා. ඇමතිවරයා ඉදලා ඉහළ නිලධාරීන් දක්වා තීරණ අරන් තියෙන්නේ තෙල් පාරිභෝගිකයා ගැන හිතලා නෙමෙයි. ඒ වගේම තෙල් හිඟයකින් පස්සේ තෙල් නැවත බෙදීම ආරම්භ කළ ජූලි 25වෙනිදා අධ්‍යක්ෂ ජනරාල් ගේ තීරණයක් මත පරණ කොමිස් මුදලම ගෙවන්න තීරණය කර තිබෙනවා.

leave a reply