Breaking News

සෞඛ්‍ය සේවක ගැටළු විසඳන්න ආණ්ඩුව හදිසි ප්‍රතිපාදන වෙන් කළ යුතුයි – ටැම්පිටියේ සුගතානන්ද හිමි

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු විසඳීම සඳහා හදිසි ප්‍රතිපාදන වෙන්කරන ලෙස ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි. අද(09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම හිමියන් පැවසුවේ අද පැවැත්වූවෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බවයි. එසේම ආණ්ඩුවේ තම ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙවැනි වසංගත තත්ත්වයකදී අකමැත්තෙන් වුවත් සේවයෙන් බැහැර වීමට සිදුවූ බවද එම හිමියන් පවසා තිබේ. අද පැවති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත්වීම සෞඛ්‍ය සේවක ඉල්ලීම් ලබාදීම කල් අරිමින් සිටින ආණ්ඩුව ගත යුතු බවද සුගතානන්ද හිමි පවසා තිබේ.

එම හිමියන් පැවසුවේ මීට පෙර රෝහල් කටයුතුවලට කසිදු බාධාවක් නොවන පරිදි සෞඛ්‍ය සේවකයන් විසින් සත්‍යග්‍රහයක් පවත්වාගෙන ගිය නමුත් පොලිසිය සහ උසාවිය යොදාගෙන එම කටයුතුවලට බාධා පැමිණවූ බවයි.

ටැම්පිටියේ සුගතානන්ද හිමි වැඩිදුරටත් පැවසුවේ,

” අපි කරපු සාකච්ඡාවලදී ආණ්ඩුව පැත්තෙන් කියපු දෙයක් තමයි මේ ඉල්ලීම් ලබාදීමේදී මූල්‍ය ගැටළුවක් තියෙනවා කියන එක. අපි ඒ වෙලාවේදී අමාත්‍යංශයට යෝජනා කළා සෞඛ්‍ය සේවාවට හදිසි ප්‍රතිපාදන අවශ්‍යයි කියන එක. ඒ වගේම ගිය අවුරුද්දට සාපේක්ෂව සෞඛ්‍ය ප්‍රතිපාදන බිලියන 29ක් අඩු කරලා තියෙනවා.සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු විසඳන්නත් හදිසි ප්‍රතිපාදන පවත්වාගෙන යායුතුව තියෙනවා. පහුගිය කාලෙ විවිධ විදිහේ සංදර්ශන ගණනාවක් ආණ්ඩුව පවත්වනවා නමුත් වසංගතයක් අවස්ථාවේ සෞඛ්‍ය සේවකයන් මුහුණ දී තියෙන ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්නෙ නැහැ. මේවා කරන්න බැරි දේවල් නෙමෙයි. ස්ථිර කිරීම් කැබිනට් පත්‍රිකාවක් හරහා කරන්න පුළුවන්. එතකොට අනෙකුත් ඉල්ලීම් බොහොම සාධාරණ ඉල්ලීම්. සෞඛ්‍ය සේවයට ඇමතිවරු තිදෙනෙක් ඉන්නවා. එතකොට ඒ ඇමතිවරු තිදෙනාගේ මැදිහත්වීම මොකක්ද මේ සම්බන්ධයෙන්. තවමත් ඇතැම් බස්වල සෞඛ්‍ය සේවකයෝ පොල්පටවලා වගේ අරන් යන්නෙ. අද දවසේ විශේෂිත දෙයක් වාර්තා වුණා. ගැබිණි සෞඛ්‍ය සේවිකාවන් සේවයට ගෙන්වා ගැනීම නතර කර තිබියදී සබරගමු පළාත් සභාවට අයත් රෝහල්වල සෞඛ්‍ය සේවිකාවන් රැකියා සඳහා කැඳවලා තියෙනවා. ඒවගේම ඒ අනියම් ගැබිනි සෞඛ්‍ය සේවිකාවන් රැකියා සඳහා නොපැමිණිමේදී ගෙවීමක් කරන්නෙ නැහැ. ඒ සියල්ල සම්බන්ධයි ආපහු ස්ථිර කිරීමේ ගැටලුවට. සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන තව ගැටළු රාශියක් තිබියදී අවම ඉල්ලීම් ප්‍රමාණයක් අපි ඉල්ලද්දී ඒකවත් ඉටුකරන්න බැරි තැනට සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය පත්වෙලා තියෙනවා. වෘත්තීය ක්‍රියාමාර්ගය ගනිද්දී රෝගීන්ට සිදුවන අපහසුතාවය අවම කරන්න ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අපි ගත්තා. කොරෝනා ඒකක සහ කොරෝනා වාට්ටුවල සේවා සපයමින් තමයි වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වුණේ.අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළ කටයුතු සඳහා අපි මැදිහත් වුණා. නමුත් යම්කිසි රෝගීන් ප්‍රමාණයක් අපහසුතාවය පත්වෙන්න ඇත. එහි වගකීම ආණ්ඩුව ගන්න ඕනා. අද සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා කියන්නේ මේවා සාකච්ඡා කරලා විසඳා ගන්න පුළුවන් කියලා. නමුත් අපි මාස හයක් හතක් තිස්සේ සාකච්ඡා කරමින් ඉන්නවා. අපි හිතනවා දැන්වත් ආණ්ඩුව පැත්තෙන් මේ ගැටලුව විසදන්න මැදිහත්වීමක් කරයි කියලා. එහෙම නොවුනොත් ඉදිරියටත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. දින කිහිපයයි දෙන්නෙ. නැවත ලබන සතියේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න සාකච්ඡා කරමින් ඉන්නවා.

leave a reply