Breaking News

ඇප ලැබුණු අහ්නාෆ් ජසීම් නැවතත් බන්ධනාගාරයට

අයුක්ති සහගත ලෙස මාස 19ක් සිරගත කර සිටි අහ්නාෆ් ජසීම් ඇප ලැබුවද නිදහස ලබා නොදී වෙනත් අධිකරණවල ඇති නඩු හේතුවෙන් නැවත බන්ධනාගාරයට ගෙන ගොස් ඇත.

මාස 19කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බාරයේ රඳවා සිටි අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ අද( 15) දින නියෝග කර ඇත.
අහ්නෆ් ජසීම් කවියා ලියා පළ කළ ‘නවරසම්’ කවි පොත මගින් අන්තවාදය පතුරුවන බව චෝදනා නගමින් 2020 මැයි 16 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව ඔහුව වසරක කාලයක් රැඳවුම් භාරයේ තබා සිට පළමු වතාවට 2021 මැයි 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ අදාල පොතෙහි ඇති කවි සිංහල භාෂාවෙන් පරිවර්තනය කර අන්තර් ජාලය මුදා හැර තිබුණු අතර එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් කරුණු සහිතව අවධාරණය කර තිබිණි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවට අදාලව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බවත් ඇප නියම වී ඇත්තේ එම නඩුවට අදාලව බවත් අහනෆ්ගේ නීතිඥවරු අදාල නිලධාරීන් වෙත පැහැදිලි කර ඇති නමුත් අද සවස 4.15ට පමණ යළිත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

ඇප ලබාදීමේදී රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් සහ ඇප කොන්දේසි ලෙස ඔහුට සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පුත්තලම කාර්යාලයේ අත්සන් කිරීමටත් නියෝග කර ඇත.

ඔහුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර තමන්ට විදේශ ගමන් බලපත්‍රයක් නැති බව අහනෆ් අධිකරණයට දැනුම් දී ඇති අතර ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණය වෙත දැනුම් දෙන ලෙස විනිසුරුවරිය නියෝගයක් නිකුත් කර ඇත.

ඒසේම තවද අහනෆ් ජසීම්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇත්දැයි සොයා බලන ලෙසත්, එලෙස නිකුත් කර නැතිනම් මෙම කාලය ඇතුළත නැවත නිකුත් නොකරන ලෙසත් ආගමන විගමන පාලකට දැනුම් දීමට කටයුතු කරන ලෙසත් විනිසුරුවරිය නියෝගයක් නිකුත් කර ඇත.

leave a reply