Breaking News

පාලන මිලට හාල් දෙන්න හැදූ ඩඩ්ලිගේ පත බොරුව

තරිඳු උඩුවරගෙදර

මැතිවරණය අවසන් වූ විගස බත් කන මිනිසුන්ට අපූරු කතාවක් ඇසුණි. ඒ, සහල් පාලන මිලට දෙන බවය. හාල් වෙළෙන්දන් ‘අසීරු තීන්දුවක්’ ගනිමින් වත්මන් ආණ්ඩුවට පාලන මිලට හාල් දෙන බවට කතාවක් පළ විය.

‘මේ අවස්ථාවේ ලාභ කතා කරන්න සූදානම් වෙන්නේ නෑ. රටේ සෑම කෙනෙක්ම කැප කිරීමක් කළ යුතුයි.’ ලංකාවේ අංක එකේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන සැප්තැම්බර් 28 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා තිබුණි.

ඒ කතාව සුළු හා මධ්‍ය පරිමාණ හාල් කර්මාන්තකරුවන් අමාරුවේ වැටෙන බවත්, ඒ මිලට සහල් දෙන්නට බැරි බවත් මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් කියා තිබුණි.

පාරිභෝගික අධිකාරිය නිකුත් කර ඇති, වත්මන් සහල් පාලන මිල කියන්නේත්, ලෙහෙසි පහසු ගණනක් නොවේ. ඒ පාලන මිල සාධාරණද යන්න වෙනම කතා කළ යුතුය. නාඩු කිලෝවේ පාලන මිල 220කි. සම්බා කිලෝවක පාලන මිල රුපියල් 230කි. සුදු කැකුළු කිලෝවක පාලන මිල 210කි. කීරි සම්බා කිලෝවක පාලන මිල රුපියල් 260කි. මේ පාලන මිලවල් පවා ජනතාවට දරන්නට අසීරු ගිනි ගණන්ය.

කෙසේ වෙතත්, ඔය පාලන මිලත් අපට නැත. පාලන මිල ඉක්මවන්නේ නැත්නම් ඇමතුම් ලබා දෙන්නට අංකයක් ද තිබේ. ඒ 1977 හරහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඇමතුමක් ලබා දීමෙනි. ආණ්ඩුවේ එක් ආයතනයක් එසේ පාලන මිලට අඩුවෙන් විකුණන්නේ නම් පැමිණිලි කරන්නැයි කියද්දී ආණ්ඩුවේ තවත් ආයතනයක් වන ශ්‍රී ලංකා මහ බැංකුව දිනපතා නිකුත් කරන දත්ත අනුව සහල්වල පාලන මිලට වැඩියෙන් දිනපතා සහල් අලෙවි කරයි.

අපි බත් විකුණන වෙළෙන්දියකගෙන් පාලන මිලට හාල් ගත්තා දැයි විමසුවෙමු. විශේෂයෙන්ම වැඩි පිරිසක් කන නාඩු හාල් 220ට ලැබෙනවාද කියා විමසුවෙමු. ඇය කීවේ, පාලන මිලට හාල් ඉල්ලන්නට ගොස් හාල් වෙළෙන්දාගෙන් නොසරුප් වචන අසන්නට සිදු වූ බවය. පාලන මිල 220කි. තොග වෙළෙන්දා සිල්ලර කඩේට රුපියල් 218ට හාල් කිලෝව එවා, රුපියල් දෙකක ලාභයක් පමණක් තබමින් 220ක පාලන මිලට විකුණන්නැයි කියන්නේලු. එහෙත්, හාල් කඩයක් පවත්වාගෙන යන සිල්ලර වෙළෙන්දෙකුට කිලෝවෙන් රුපියල් දෙකේ ලාභයක් තැබුවහොත් කඩේ පවත්වාගෙන යන්නේ ඒ දෙකෙන්දැයි ඇගෙන් විමසා තිබුණි. ඒ අනුව වෙළෙන්දන් කරන්නේ ඒ මිලට හාල් විකුණන්නේ නැතිව, හාල් විකුණන එක අත්හැර දැමීමය. හාල් හිඟයක් නොව, ඔය කියන මිලට විකුණන්නේ නැතැයි කීමය. ඇතැම්විට මේවා නිම වෙන්නේ මුදලාලි සමග පාරිභෝගිකයන් රණ්ඩු වීමෙනි.

ඉතින්, අපි මේ බත්වල කතාවට යොමු වුණෙමු. හාල් මිල ගැන සෙවූයෙමු.

ඇත්තටම ලංකාවේ හාල් මිල පිළිබඳ කතාන්දරය කියන්නේ අපට හැමදාම අසන්නට ලැබෙන අන්දමේ පැමිණිලි කිරීම්, මැසිවිලි නැඟීම්, පොරොන්දු, කන්කෙඳිරිගෑම් සහ චෝදනා ගොඩකි.

දැන් මේවා නිමා කළ යුතුය. අප හැමදාම පුරුද්දට වාගේ මතුරන්නේ මේක බත් කන මිනිස්සු ඉන්න රටක් කියාය.

‘අයියේ! අපි හැමදේම කරන්නේ කන්නනේ. කාලා ඉන්නනේ. යන්තම් කෑම ටික අඩු ගාණට ගන්න හදලා දෙනවා නම් ඒ ඇති. කීයක් හම්බ කළත් ඒ ටික කෑමට යට වෙනවා නම් වැඩක් නෑනේ.’ කුලී රථ රියැදුරෙකු පාරේ යන ලියුම්කරු සමග එස් කියන්නේය. ඒ රියැදුරා සිටියේ බිත්තර මිල අඩු වීම ගැන සතුටකිනි.

සැප්තැම්බර් 28 වැනිදා ලංකාවේ දැවැන්තම සහල් කර්මාන්තකරුවන් තිදෙනාගෙන් කෙනකු වන අරලිය සහල් සමාගමේ ප්‍රධානියා වන ඩඩ්ලි සිරිසේන මෙසේ කියා තිබුණි.

‘මම ජනාධිපතිතුමා මේ රට තුළ කරගෙන යන කාර්යයට ශක්තියක් සහයෝගයක් වෙන්න අද දිනයේ සිට සියලුම හාල් වර්ග පාලන මිලට යටත්ව වෙළෙදාම් කරන්න තීන්දු කරනු ලැබුවා. නිපුණ ව්‍යාපාර අධිපතිතුමා, නිව් රත්න අධිපතිතුමා එක්ක මේ ගැන කතා කළා. වී මෝල් සංගමයේ සභාපති රංජිත් මහතා එක්කත් කතා කළා. මිලදී ගත්ත වී වල මොන පාඩුවක් වුණත් රජයේ සහතික මිලට විකුණන්න පුළුවන් ආකාරයට වෙළෙඳ සහෝදරයන්ට හාල් නිකුත් කරනවා. අද දින සිට අපේ හාල් ටික විකුණන්න නිකුත් කරන්නම් ඔයාලාට කුඩා ලාභයක් තියෙයි.ජනවාරි 22 වැනිදා දක්වා මේ ආකාරයෙන් කටයුතු කරනවා. අපි ජනවාරි 22 දිනය දාගත්තේ නව අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙනවා. ගොවියන් සමග, වෙළෙන්දන් සමග, පාරිභෝගිකයන් සමග සාකච්ඡා කරනවා. නව මිලක් එයින් පස්සේ අවශ්‍යයි. මේ කාලසීමාව තුළ අපි ඒක ක්‍රියාවෙන් කරලා පෙන්වනවා. ලබන මාසේ අස්වැන්න ලැබෙනකන් කරලා පෙන්වන්න.

නාඩු කිලෝ එකක් මිලදී ගත්තේ රුපියල් 122කට. රුපියල් 122කට වී අරගෙන රුපියල් 220කට හාල් දීම ඉතාම අමාරු තත්ත්වයක්. නමුත් ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න සියලු හාල් වර්ග පාලන මිලට විකුණන්න තීරණය කළා.’

මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් ඊට පසු දින මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ කීය.

‘අද වෙනකොට ඊයේ දින මාධ්‍ය විසින් විකාශය වුණ සහල් ගැටලුවත් එක්ක ප්‍රවෘත්තියක් යනවා මරදගහමුල වෙළෙඳපොළේ සහල් නැහැ කියලා සහ සමස්ත වෙළෙඳසල්වල. මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ කිසිදු සහල්වල හිඟයක් නෑ. සහල් තියෙනවා, මරදගහමුල තොග වෙළෙඳපොළේත් සහල් තියෙනවා. ඊයේ සිට තොග වෙළෙඳාම ඇණහිටලා තියෙනවා. සිල්ලර වෙළෙඳසල්වලත් සහල් අලෙවි කරගන්න බැරිවෙලා තියෙනවා. සියලු වෙළෙඳසල්වල තියෙන සහල් වැඩි මිලට ලබාගෙන තියෙන්නේ. ඒ නිසා හදිසියේ ඇති වුණ තත්ත්වයක් මත පාලන මිලට ලබා දිය නොහැකි නිසා හාල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් තියෙන්නේ. මිලෙහි ප්‍රශ්නයක්.

පාරිභෝගිකයන් සහල් ඉල්ලන්නේ ඊයේ ප්‍රකාශ කළ ආකාරයට පාලන මිලට. පාලන මිලට කිසිසේත්ම අපට දෙන්න බෑ. සහල් මිල අඩුවීමත් එක්කලා දවසක් දෙකක් දෙන්න බෑ, දීර්ඝකාලීනව පාලන මිලට දෙන්න ඕනෑ. ඒ මිලට දීර්ඝකාලීනව වී ලැබිලා නෑ. පාඩුවට දෙන්නත්, ඒක පොඩි පාඩුවක් නෙවෙයි. දරාගත නොහැකි පාඩුවක්. සහල්වල හිඟයක් ඇති වෙන්නේ නෑ. මිලේ තියෙන ගැටලුව එක්කලා ඉදිරියේදී රජයේ මැදිහත්වීමෙන් විසඳේවි කියලා බලාපොරොත්තු වෙනවා.

සුළු ව්‍යාපාරිකයන් ප්‍රශ්නවලට මැදිහත්වෙලා තියෙනවා. අපට කෙටිකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඉල්ලා සිටිනවා. සහල් රට තුළ තියෙනවා. අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් මෝල් හිමියන්ට සහ කඩ හිමියන්ට තියෙනවා.

මෝල් හිමියන් බැංකුවකට ණය වෙලා විවිධ ණය මත ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. මේ වගේ පාඩුවක් දරාගැනීමේ හැකියාවක් පොඩි මෝල් හිමියන්ට නෑ. සිල්ලර සහල් හිමියන් සහල් මිලදී අරන් තියෙන්නේ.’

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික වාර්තාව අනුව 2024 යල කන්නයේ සහල් නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් මිලියන 1.80කි. මහ කන්නයත් සමග මෙටි්‍රක් ටොන් මිලියන 4.4 පමණ වී නිෂ්පාදනයක් සිදු කර ඇතැයි ඔවුන් පුරෝකථනය කරන ලදී. සහල් ආනයනය කිරීමත් සිදුවන අතර, මෙරට සහල් නිෂ්පාදනය අපේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත්ය.

දැන් ඇත්තම මිල

ඇත්තෙන්ම සහල් පාලන මිලට විකිණීම සහ සහල් මිලේ වෙනසක් සැබෑ ලෙස සිදු වීද? නැති නම් තාවකාලික පැලැස්තර ලෙස අපිළිවෙළ සහ අවිධිමත් මිල වෙනස්කම් පමණක් සිදු වීද? උක්ත ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුව පැවැත්වීමට පෙර දිනයේ එනම්, සැප්තැම්බර් 27 වැනිදා මිල ගණන් වෙත අපි යොමුවමු.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව සැප්තැම්බර් 27 වැනිදා හෙවත් ඩඩ්ලි සිරිසේන මහතාගේ මාධ්‍ය හමුවට පෙර දින සම්බා කිලෝවක තොග මිල පිටකොටුවේ රුපියල් 233කි. සිල්ලර මිල 245කි. සම්බා කිලෝවක පාලන මිල රුපියල් 230ක් විය. එනම් සිල්ලර මිල පාලන මිලට වඩා රුපියල් 15ක් වැඩිය.

එය සැප්තැම්බර් 30 වැනිදා, එනම් උක්ත මාධ්‍ය හමුවෙන් පසු සඳුදා වෙද්දී වෙනස් වී තිබුණේ කෙලෙසද? සම්බා කිලෝවක මිල රුපියල් 230 කි. සිල්ලර මිල 245ම විය. තොග මිල පමණක් රුපියල් තුනකින් අඩු වී තිබුණි. තොග මිල හරියටම පාලන මිල දක්වා අඩු විය. දැන් වෙළෙන්දන්ට කියන්නේ රුපියලකවත් ලාභයක් නොතබා ඒ මිලටම හාල් පාරිභෝගිකයන්ට විකුණන්න කියාද? ඔක්තෝබර් 03 වැනිදා වන විටත් සම්බා කිලෝවක තොග මිල 230කි. සිල්ලර මිල 245ම විය.

සැප්තැම්බර් 27 වැනිදා නාඩු කිලෝවක තොග මිල රුපියල් 220ක් විය. එය උක්ත මාධ්‍ය හමුවෙන් පසු, එනම් සැප්තැම්බර් 30 වැනිදා වෙද්දී රුපියල් 218 දක්වා අඩු වී තිබුණි. සිල්ලර මිල 230 ම විය. ඔක්තෝබර් 03 වැනිදා වෙද්දීත් නාඩුවල මිල ගණන් එසේම විය.

නාඩු සහල්වලට යොදා ඇති පාලන මිල රුපියල් 220කි. නාඩු දැන් පාලන මිලට අඩුවෙන් නිකුත් කරනවා කියා, කඩේට එවන්නේ රුපියල් 218- 219 වැනි මිලකටය. ඉතින්, කඩේ වෙළෙන්දාට කියන්නේ රුපියලක් හෝ රුපියල් දෙකක් ලාභ තියා විකුණන්න කියාද? කඩවල වෙළෙන්දන් එලෙස විකුණන්නට ලෑස්ති නැත. එය ඔවුන්ට පාඩුවකි.

අපි නිකමට ජනාධිපතිවරණයට පෙර දින හෙවත් සැප්තැම්බර් 20 වැනිදා මිල ගණන්වලට යොමු වී බැලුවෙමු. එදින සිට ඔක්තෝබර් 04 වැනිදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දත්ත බැලූ කල සම්බා හාල්වලත්, නාඩුවලත් තොග හා සිල්ලර මිලේ මහා ලොකු වෙනසක් වී නොමැත.

ඉතින්! අන්දන්නේ කාවද? රැවටෙන්නේ කවුද?

ඊළඟට අප සොයා බැලිය යුත්තේ, තොග වෙළෙන්දන්ට සහල් නිකුත් කළ හැක්කේ රුපියල් කීයටද කියාය. ඒ සඳහා වී මිලට යොමු වෙන්න ඕනෑය. ගොවියාගෙන් වී මිලට අරන්, වෙළෙන්දා හාල් නිෂ්පාදනය කොට තොග මිලට විකුණයි. සිල්ලර වෙළෙන්දා අපට විකුණන්නේ එයින් පසු සිල්ලර මිලටය.

එහෙත්, අප මෙහිදී සලකා බැලිය යුත්තේ අද දවසේ වී මිල සහ අද දවසේම සහල් මිල අතර වෙනස නොවේ. අවසාන කන්නයේදී, තොග ගාණට මහා පරිමාණ මෝල් හිමියන් සහල් මිලට ගත්තේ කුමන කාලසීමාවේද? අන්න ඒ කාල සීමාවේ තිබුණ වී තොග මිල කීයද කියා අප බැලිය යුතුය.

යල කන්නයේ වැඩි සහල් ප්‍රමාණයක් ජුලි සහ අගෝස්තු මාසවලදී මිලට ගත් අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව ජුලි සහ අගෝස්තු මාසවල සම්බා සහ නාඩු යන දෙවර්ගයේම වී මිල රුපියල් 110- 120 අතර මිලක පැවතුණි. මහා පරිමාණ වෙළෙන්දන් ඔය කාලසීමාවේදී විශාල පරිමාණයෙන් සහල් මිලට ගනී. නාඩු මිල අගෝස්තු වෙද්දී වැඩි වූ නමුත් සම්බා මිල අගෝස්තු වෙද්දී අඩු විය. කෙසේ වෙතත්, බොහෝ තැන්වල නාඩු මිලදී ගත් මිල පෙර කී ආකාරයට රුපියල් 120 නොවේ.

ගොවියන් පවසන අන්දමට ඇතැම් තැන්වල නාඩු ගත්තේ 110 වැනි මිලකටය. තවත් ගොවීන්ගෙන් අරන් තිබුණේ ඊටත් වඩා අඩු මිලටය.

රාජාංගණය ගොවිජන ව්‍යාපාරයේ ගොයම් කපා තිබුණේ මාස දෙකකට විතර පෙරය. මේ ගැන රාජාංගණය ගොවි ව්‍යාපාරයේ නායකයකු වන ටෙරන්ස් ගාමිණී මහතා මෙසේ කීය.

ජුලි සහ අගෝස්තුවල තමයි වී මිලට ගත්තේ. දැන් කවුරුහරි සල්ලි ටිකක් තියෙන කෙනෙක් ළඟ තියාගත්ත වී ටිකක් හැරුණාම ලොකුවට වී තොග නැහැ. නාඩු වී ගත්තේ 110 වගේ මිලකට. අනෙක් හාල් වර්ග රුපියල් 95ට වගේ විකිණුනා.

දැන් ඔය මරදගහමුල වගේ මෝල් හිමියන් නම් සමහරවිට තවම වී මිලට අරගෙන හාල් නිෂ්පාදනය කරනවා ඇති. ඇත්තටම අඩු මිලට හාල් විකුණනවා කියන එක ඒ කුඩා මෝල් හිමියන් අමාරුවේ දැමීමක්. දැන් අනෙක් පැත්තෙන් නාඩු දෙන්නේ කීරි සම්බා ගන්න අයට විතරයි කියලා වෙළෙඳසල් හිමියන්ට බලපෑම් කරන අවස්ථා පවා තියෙනවා.’

දීර්ඝ කාලයක් තිස්සේ ගොවීන් සමග කටයුතු කර ඇති, වෘත්තිකයකුද වන ටෙරන්ස් ගාමිණී මෙම මිල ගණන් ගැටලුව ගැන අධ්‍යයනයක් ඇති කෙනකු නිසා, රුපියල් 110ට ගත් වී රුපියල් 220ට සහල් ලෙස විකුණන්නට බැරි ඇයි දැයි ඔහුගෙන් අපි විමසුවෙමු.

‘ඇත්තටම ඊට අඩුවෙන් හාල් දෙන්න පුළුවන්. වී කිලෝ එකහමාරකට හාල් කිලෝවක් එනවා. ඇත්තටම වී කොටන්න යන වියදම අදාළ නෑ. කොටන්න යන වියදම කුඩුවලින් ලැබෙනවා. කොටන කෙනාගේ කුලිය, විදුලි බිල කුඩුවලින් ලැබෙනවා. වී කිලෝ එකහමාරක මිල හාල් කිලෝවක මිල විය යුතුයි. එයට අමතරව එකතු වෙන්න තියෙන්නේ පැකට් එකේ මිල සහ ප්‍රවාහන වියදම. ඒ වියදම් ඔය කියන තරම් අධික මිලක් නෙවෙයි.’

වී කිලෝ එකහමාරක මිල හාල් කිලෝවක් නම්, එකතු විය යුත්තේ දැන් මිලට සියයට 50කි. එනම්, නාඩු වී කිලෝව රුපියල් 110ට මිලට ගතහොත්, හාල් කිලෝවක පිරිවැය රුපියල් 165කි. එයට බදු, ප්‍රවාහන වියදම්, ඇසුරුම් වියදම් සහ සේවක පඩිනඩි ආදිය ඇතුළත් කරමින් රුපියල් 20ක් එකතු කළත් රුපියල් 185කි. ලාභය කිලෝවට රුපියල් 15ක් තැබුවත් රුපියල් 200ක් පමණි. එහෙත්, සැබෑ ලෙසම මෙටි්‍රක් ටොන් ලක්ෂ ගණන් වියදම් කරන මහා පරිමාණ සමාගම්වලට එක් කිලෝවට රුපියල් 35ක් තබා ගන්නට ඕනෑ නැත.

ටෙරන්ස් ගාමිණී යෝජනා කරන්නේ, ගොවියා ඍජුවම සහල් නිෂ්පාදනයට යොමු වීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතු බවය. ඒ සඳහා කුඩා පරිමාණ මෝල්, රජය සතු මෝල්, සමූපකාර ක්‍රම පාවිච්චි කළ හැක.

‘දැන් වෙන්න ඕනෑ ගොවි සංවිධාන හරහා හාල් වෙළෙඳපොළට අත ගහන එක. සමූපකාර සංවිධාන හරහා හාල් වෙළෙඳපොළට යොමු වෙන්න පුළුවන්. ඉස්සර තිබුණා හැමතැනම මෝල්. දැන් මෝල් වැහිලා ගිහිල්ලා. අනුරාධපුරයේ උදය මාවත කියා තිබුණා. වී මෝල් 20ක් විතර තිබුණා. දැනට තියෙන්නේ එකයි.

ජපානයේ ගොවියාගෙන් හාල් මිලදී ගැනීමේ ක්‍රමයක් තියෙනවා. එවැනි ක්‍රමයක් ඇති විය යුතුයි. වී ටික තම්බලා ගොවියා කෙළින්ම මෝලට ගෙනියනවා. තමන්ගේ වී තොගය හාල් බවට පත් කරලා විකුණනවා. හාල් මිලදී ගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි.

දැන් ගම්වල හැමතැනම පරණ යකඩ එකතු කරන ලොරියක් තියෙනවා. හැමදාම සමූපකාරයෙන් ලොරියක් යනවා නම්, තමන්ගේ අතිරික්ත නිෂ්පාදනය ලොරියට දෙනවා. ලොරිය හැමදාම පොදු තැනක විකුණනවා. හැමදාම අතිරික්තය ගොවියාගෙන් පාරිභෝගිකයාට යනවා.

හැමදාම යකඩ එකතු කරන්න යකඩ තියෙනවා නම්, වී සහ එළවළු විකුණන්න පුළුවන්. මේ වැඩේ කරන්නට ඒකට වැටුපක් ලබන සමූපකාර ක්‍රමයක් ගොඩනැඟෙන්න ඕනෑ.

ඒ වගේම ආණ්ඩුවට පුළුවන් සහල් ප්‍රවාහනය සම්පූර්ණයෙන් නවීකරණය කරන්නට. දැන් හාල් ලොරි පෝලිම් කීයක් යනවාද රට වටේ. ඒත්, හාල් ප්‍රවාහනයට කෝච්චි යොදාගන්න පුළුවන්. පොළොන්නරුවට, අනුරාධපුරයට කෝච්චි තියෙනවා. රට පුරා සහල් ප්‍රවාහනය කළ හැකියි ඉතා අඩු පිරිවැයක් මත දුම්රියෙන්.

තොග යවද්දී අනවශ්‍ය වියදමක් දරමින්, ඇසුරුම් වියදමක් අවශ්‍ය වන්නේත් නෑ.

ඇත්තටම හාල් මිල පාලනය කරන්න පුළුවන් වන්නේ බෙදාහැරීමේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කිරීමෙන්.

වෙළෙන්දන් කරනතුරු බලා ඉන්න බෑ. ගොවීන් සාමූහිකව සංවිධානය වෙලා, රජයේ මැදිහත්වීම යටතේ ලොකු වෙනසක් කරන්න ඕනෑ.’

ඔහු යෝජනා කරන මෙම වෙනස ගැන අප ඉදිරියේදී වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නෙමු.

පසුගිය රජය යටතේ ඈවර කිරීම උදෙසා සේවකයන් දොට්ට දමා පුද්ගලික අංශයට විකිණීමට පාර්සල් කරන ලද සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව සතුව ගබඩා පහසුකම් ඇත. අවශ්‍ය තරමට ප්‍රවාහන පහසුකම් ඇත. වී අලෙවි මණ්ඩලය සතු පහසුකම් ඇත. දැන් කළ යුත්තේ රජය ආ විගස සහල් වැනි මාතෘකා ගැන වෙළෙන්දන්ගේ කතා ජනතාව අසා සිටීම නොවේ. සැලසුමක් ඇති රජයක් ලෙස බත් කන රටේ මිනිස්සුන්ට කන්නට බත් ටික හරිහැටි සැපයිය යුතුය. අප මුලින් කී ටැක්සි රියැදුරා කී සේම, අන් සියල්ලට පෙර කන ටික හරියට තිබිය යුතුය.

 

ඔක්තෝබර් 07 ඉරිදා දිවයිනේ පලවූවකි.

leave a reply