Breaking News

රනිල්ගේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න – වාණිජ මණ්ඩලයෙන් අනුරට ලියුමක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ආර්ථිකයේ ක්ෂේත්‍ර 10ක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය පවසනවා.

ලිපියක් යොමුකරමින් ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ නව ජනාධිපතිවරයාගේ පළමු මාස ​හයක කාලය තුළ එම කරුණු විසඳිමට කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ ලංකා වානිජ මණ්ඩලයේ Vision 2030 ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, ධුර කාලයේ පළමු මාස ​​හය තුළ ආර්ථිකයේ ක්ෂේත්‍ර 10ක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා.

මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය මත පදනම්ව, බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණ කිරීම, සාර්ථක තුන්වැනි සමාලෝචනයක් සහ සිව්වැනි වාරිකය ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන සමග ඉදිරියට යාම වාණිජ මණ්ඩලයේ පළමු ඉල්ලීමයි.

වත්මන් බදු ගෙවන්නාට බරක් නොවන සේ, ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි රාජ්‍ය වියදම්වල අපේක්ෂිත වෙනස්කම් සහ විශ්වසනීය ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම, RAMIS සහ SVAT වැනි ආදායම් එකතු කිරීම් සම්බන්ධ කරුණු යළි සමාලෝචනය කිරීම දෙවැනි යෝජනාව ලෙසින් වාණිජ මණ්ඩලය නව ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.

On Arrival Visa ගැටලුව වහාම විසඳීම, ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ ඩිජිටල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම, ජාතික තනි දොර වෙළෙඳ කවුළුව (National Single Window for Trade) ක්‍රියාත්මක කිරීමට කැපවී ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳාමට මෙන්ම ජනතාවට ප්‍රතිලාභ සලසා දීම, ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කරදීම වෙනුවෙන් “ජාතික ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කමිටුවක්” පිහිටුවීම.

ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපෑ හැකි තාවකාලික ගැසට් හෝ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමෙන් වැළැකීම සහ කළයුතු වෙනස්කම් පිළිබඳව පෞද්ගලික අංශය සහ අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුව (Governance Diagnostic Assessment) මත පදනම්ව සකස් කරන ලද රාජ්‍ය ක්‍රියාකාරී සැලැස්ම අනුගමනය කිරීම සහ චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව සමග වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීම යන කරුණු ලංකා වාණිජ මණ්ඩලය නව ජනාධිපතිවරයා වෙත යොමු කළ ඉල්ලීම් ලිපියේ සඳහන්.

වාණිජ මණ්ඩලය මේ නොකියා කියන්නේ රනිල්ගේ වැඩපිළිවෙල එනම් IMF වැඩපිළිවෙල ඉන්දියානු මැදිහත්වීම සමඟ ඉදිරියට යන ලෙසයි. වාණිජ මණ්ඩලය පසුගිය සමයේ දිගින් දිගටම වැඩකරන ජනතාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන ලදී. නව ජනාධිපතිවරයා ඉදිරියට වැඩකටයුතු කරන ආකාරය අනුව ඔහු නියෝජනය කරන්නේ සුළුතරයක් වූ වාණිජ මණ්ඩලය ද නැතහොත බහුතරයක් වූ ඔහුට ඡන්දය දුන් ජනතාවද යන්න බලාගත හැක.

leave a reply