Breaking News

ජාන මංකොල්ලකරුවන්ට පැන යන්නට නීතියේ හිදැස් සදාදුන්නෝ කවරහුද?

සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය මුහුණදී තිබෙන අභියෝග මිහිමත විශාලතම ගොඩබිම් සතුන් වන අලි ඇතුන් ජාවාරමේ සිට ඇසට නොපෙනෙන ජාන මංකොල්ලය දක්වා පුළුල් පරාසයක විහිදෙයි. එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඇතුළු අන පනත් මගින් ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන ලැබී තිබේ. නමුත් දේශපාලන අතපෙවීම්, ආයතනික ගැටළු සහ යටිතල පහසුකම් හිඟය වැනි විවිධ හේතු මත මේ මොහොතේද මෙරට ජෛව උරුමය ඇත්තේ දැඩි අවධානමකය. එවැනි පසුබිමක් තුළ උක්ත අභියෝග හමුවේ පසුභට නොවී අපේ රටේ ජෛව සම්පත් රැකගන්නට කවරෙකු හෝ කැපවේ නම් එය පැසසිය යුතුය. නමුත් ඉකුත් මැයි මාසයේ මෙරට වියලි කලාපයේ විශාලතම ජාන මංකොල්ලය වැටලූ නිලධාරීන් අධෛර්යමත් වන ආකාරයෙන් කටයුතු කර චූදිතයින්ට තමන් වෙත එල්ලවූ චෝදනා වලින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකින් බේරී පැන යන්නට කවුරුන් හෝ සහාය ලබාදී ඇත්නම් එය ඉතා බරපතල තත්ත්වයක් නොවේද?

මෙම වසරේ මැයි මස අටවැනිදා හෝ ඊට ආසන්න දිනක පස්වරුවේ කටගමුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් තිස්සමහාරාම, කොච්චිපොතාන රජයේ රක්ෂිතයේ සිදුකරන ලද මුර සංචාරයකදී වනය තුළ සැක කටයුතු ලෙස අතංගු භාවිතා කරමින් කෘමී සතුන් ඇල්ලීමේ යේදී සිටි විදේශිකයින් දෙදෙනෙකු නිරීක්ෂණය කළෝය. සිදුකළ වැඩිදුර සොයා බැලීමේදී ඔවුන් සන්තකයේ සහ ඔවුන් පැමිණි WP KY 2736 දරන වාහනයේ තිබී සමනල විශේෂ, සලභ විශේෂ, බත් කූරන් විශේෂ හා වෙනත් කෘමී විශේෂ රැසක නිදර්ශක, කෘමී ආකර්ශක උපක්‍රම, නිදර්ශක සකස් කිරීමේ උපකරණ මෙන්ම ඒ සඳහා යොදා ගන්නා රසායනික සංයෝග රැසක් සොයාගැනීමට හැකි විය. ඔවුන් සතුව තිබූ අපෘෂ්ඨවංශීන්ගේ නිදර්ශක සංඛ්‍යාව 366 කි. මේ පිළිබඳව පසුදිනම තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ B/91119/24 අංක දරන බී වාර්තාව මගින් කරුණු දැක්වීමට වනජීවී සංරක්ෂණ නිලධාරීන් කටයුතු කළෝය. මාස හතරක කාලයක් සඳහා මෙම විදේශිකයින් දෙදෙනා ඉතාලියේ සිට මෙරටට පැමිණ තිබූ අතර ඔවුන් හැට අට වියැති වෛද්‍ය ෆෙරාරි ලුයිගි සහ ඔහුගේ පුත් විසි අට හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍ය ෆෙරාරි මාටියා යන අයවලුන් බව හඳුනා ගැනුනි. අදාළ චූදිතයින්ට එම මස පහළොස්වැනි දින ගරු අධිකරණය මගින් ඇප ලබාදෙනු ලැබූ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජූලි හතරවැනි දින චෝදනා පත්‍ර ගොනු කරන ලදී.

ඉතාලි ජාතික පිය පුතු දෙදෙනා කළ ජාන කොල්ලය පිළිබඳව ඉතාලි මාධ්‍ය ද වාර්තාකර තිබුණි.

මෙම විදේශිකයින් විසින් සන්තකයේ තබාගෙන සිටි සත්ව නිදර්ශක පිළිබඳව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ලබාගත් වාර්තාවක් ප්‍රකාරව සත්ව නිදර්ශක 366 ක් අතරින් ආඥා පනතේ හත් වන උපලේඛනයේ දක්වා ඇති සතුන් විශේෂ 162 කට අදාලව මෙම පුද්ගලයින්ට එරෙහිව මුල් අවස්ථාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නගන ලද චෝදනා ගණන 810 ක් බව දැනගන්නට ලැබේ. පසුගිය සැප්තැම්බර තුන් වැනිදා අදාළ නඩුව නැවත විභාගයට ගැනුණු අතර වරද කරුවන් වෙත රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ගෙවීමට ගරු මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී. නමුත් මෙහි ඇති විමතිය දනවන කරුණ වන්නේ එම දඩ මුදල නියම කර ඇත්තේ නීතිපති උපදෙස් ලබා ගනිමින් ගොනුකළ චෝදනා 304 කින් සමන්විත චෝදනා පත්‍රයකට වීමය. එදින නඩුව කැඳවමින් ගරු මහේස්ත්‍රාත්වරයා විසින් ඉතාලි ජාතිකයින් දෙදෙනාට ඔවුන් සිදු කර තිබූ වරදේ ස්වභාවය පහදා දෙමින්, ඔවුන් වෙත එල්ලව තිබූ එකී චෝදනා 304 ටම වරදකරුවන් බවට ප්‍රකාශයට පත් කරමින් අදාළ දඩ මුදල ගෙවීමට නියම කරන ලදී.

කෙසේ නමුත් මුල් අවස්ථාවේ චෝදනා 810 ක් ඇතුළත්වූ චෝදනා පත්‍රයෙන් චෝදනා 506 ක් ඉවත්කර චෝදනා 304 දක්වා අඩු වූයේ කෙලෙසද, ඊට ඇති සාධාරණ හේතුව කුමක්ද, එසේ කිරීමට නීතිපතිවරයාට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද වැනි උභතෝකෝටික ගණනාවක් මේ මොහොතේ අප හමුවේ පැන නැගී තිබේ. මෙම නඩුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන අවධියේදී නඩුවේ චෝදනා සංඛ්‍යාව අඩු කරන ලෙස ඉල්ලමින් විත්තියේ නීතීඥයින් නීතිපති දෙපාර්තමේන්තුවේ ගැවසෙමින් කන්නලව් කර ඇති බවත්, ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ උදවිය වැටලීම සිදුකළ නිලධාරීන්ගේ අඩුපාඩු සහ කාර්ය පටිපාටි දෝෂ සෙවීමට මහත් වෙහෙසක් දැරූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිම් මට්ටමේ විවිධ කටකතා පැතිර තිබූ බව දැනගන්නට ලැබේ.

නීතීපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් චෝදනා පත්‍රයෙන් සියයට හැට දෙකක් (62%) කපා ඉවත් කෙරුණේ එහි ප්‍රතිපලයක් වශයෙන්ද, ඒ සඳහා යම්කිසි අතයට මුදල් සංසරණයක් සිදුවුනේද යන්න අප දන්නේ නැත. නමුත් මේ ආකාරයෙන් වනජීවී ජාවාරම්කරුවන්ට පැන යන්නට නීතියේ හිදැස් සොයා දෙන්නට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් අපේ රටේ වනජීවී සහ විශේෂයෙන්ම ජාන සම්පත්වල සුරක්ෂිතතාවය පිළිබඳව කතාකරන්නට දෙයක් ඉතිරි වන්නේ නැති බව නම් අප දනිමු.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීති නිලධාරියා නීතිපතිවරයා” බව නීතිපති දෙපාර්තමේන්තු නිල වෙබ්අඩවියේ දක්වා තිබේ.  “ඒ” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වන නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1933/13 දරන 2015. 09. 21 දිනැති ගැසට් පත්‍රය අනුව අධිකරණ අමාත්‍යංශය භාරයේ පවතී. මධ්‍යම රජයට, පළාත් සභාවලට, රජයේ දෙපාර්තමේන්තුවලට, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අනිකුත් අර්ධ රාජ්‍ය ආයතනවලට මෙම දෙපාර්තමේන්තුව මගින් නීතිමය සහය ලබාදෙයි. එකී සහය ලබාදීමේදී දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් විසින් ප්‍රධාන වශයෙන් සිවිල්, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ වාණිජ යන කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතන වලට උපදෙස් දීමත්, දිවයිනේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණ වල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩු වලදී රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීමත් සිදු කරනු ලැබේ. නමුත් එකී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල සැකයක් මතුවීමට මෙම සිදුවීම පාදක වීම නොවැලැක්විය හැකි බව ලියුම්කරුගේ වැටහීමයි.

Giuseppe Ferrari

මේ අතර නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය හා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය අශ්‍රිතව ජෛව සම්පත් කොල්ලකෑමකට සම්බන්ධ රුසියානු ජාතිකයන් දෙදෙනෙකු ද වනජීවි සංරක්ෂණ නිලධාරීන් විසින් අගෝස්තු මස 28 වන දින සිදු කරන ලද සංවිධානාත්මක වැටලීමක ප්‍රතිපලයක් ලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී ශ්‍රී ලංකාවට ආවේණික වඳවී යාමේ තර්ජනයට ලක්වූ ආරක්ෂිත උභයජීවින් හා උරගයින් ඇතුලු සත්ව විශේෂ 197කගේ පමණ නිදර්ශක සොයාගෙන ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ ලොව පුරා විවිධ රටවල ජෛවසම්පත් කොල්ලකරුවන්ගේ තෝතැන්නක් බවට පත්වී ඇති බවට මෙසේ එකපිට එකක් වශයෙන් අනාවරණය වන ජාවාරම් කදිම නිදසුනකි. ඒ නීතියේ රැහැනට හසුවන අවස්ථා පමණක් වන අතර නීතියේ ඇසට වැලි ගසා මෙරටින් පිටමන් කෙරෙන වනජීවී හා ජාන සම්පත් ප්‍රමාණය කෙතෙක්ද යන්න අප දන්නේ නැත. ලොව නීතී විරෝධී ධනෝපායන මාර්ග අතර වනජීවී ජාවාරම ද පවතින්නේ ඉහළ තැනකය. එහි වාර්ෂික වටිනාකම ඇමරිකානු ඩොරල් බිලියන විස්සක් පමණ වේ. එබැවින් මෙවැනි ගෝලීය මාෆියාවකට ශ්‍රී ලංකාවේ රජයේ දෙපාර්තමේන්තුවක හෝ සිටින කළු කබාකාරයෙකුට ලංසු තැබීම සුළු මුදලක් වියදම් කිරීම මහා දෙයක් නොවේ. එසේම මීට කලකට පෙර මෙරට මුහුදු තීරයේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදුවූ පාරිසරික හානිය ප්‍රතිපූරණය කරදීමට අදාළ දෙපාර්තමේන්තුවට නොහැකිවූ ආකාරයද මේ මොහොතේ ලියුම්කරුගේ සිහියට නැගේ. එබැවින් මෙවැනි තත්ත්වයන් මින් මනතට හෝ සිදු නොවීමට වගබලාගැනීම නීතීඥ සංගම් ඇතුළු සියලු පුරවැසි හා පාරිසරික සංවිධාන වල වගකීම සහ යුතුකම බව ඉතා ඕනෑකමින් ලියා තබමි.

 

leave a reply