ඇත්තටම මම දන්නෙ නෑ මේ තියරිය මේ වෙද්දී ලෝකය තුළ apply වෙන එකක්ද නැද්ද කියලා. අඩුම ගාණේ, මීට කළින් කවුරුන් හෝ සොයා ගත් දෙයක්ද, නැද්ද කියලා කියන්නත් මම ඇත්තෙන්ම දන්නෙ නෑ…
ඒත්,
අද උදේ අවදි වූ ගමන්, ලා හිරු කැරළියි, අඩ මීදුමින් පිරුණු කඳුකරයයි දිහා බලාගෙන,
ජනෙල් පොල්ලේ එල්ලිලා ඉන්න අතරවාරේ, මගෙ හිතට ක්ෂණිකව ආව සිතුවිල්ලක් විදිහට, මේ අමුතු අදහස ඔබ වෙනුවෙනුත් ලියලා තියන්න හිතුණා…
(කොහොමත්, මට පහළවෙන අළුත් අළුත් සිතුවිලි වලින් සෑහෙන ප්‍රමාණයක්, මේ අඩ මීදුමේ ගිළුණු “ගිණිහිරිය කන්ද” එක්ක බොහොම සම්බන්ධයි. මගේ බොහොමයක් ලියවිලි “ගිණිහිරිය” දිහා බලන් කුරුටු ගාපුවා.
ඒ කන්දට මම ඒ නම ව්‍යවහාර කරන්න ගත්තේ, කුඩා කාලයේ ඉඳලයි.. හැම දේකටම reason එකක්, explanation එකක් ඕනි වුණු, අතිශය කුතුහලයෙන් පිරුණු දඩිබිඩි ජීවියෙක්ව සිටි ඒ අවධියේ,
මං අප්පච්චීගෙන් ඒ කන්දේ නම අහද්දී,
“ඕකට ඉස්සර මිනිස්සු කීවෙ නම් ගිණිහිරිය කියලා… ඒත්, ඇත්තටම නම්, ඕක ඌරාගල දිගුවක්…” කියලා,
එදා අප්පච්චී දුන්නු උත්තරේ අස්සෙ තිබ්බ
“ඌරාගල දිගුව” ගැන මෙලෝ අයිඩියා එකක් නොතිබ්බ මං, “ඌරාගල දිගුව”ට වඩා, අති සුන්දර කලාත්මක නාමකරණයක් වූ “ගිණිහිරිය” කියන නමට නම් හරිම ආසා වුණා. ඒ නිසාම, කාට කොහොම වුණත්, ඒ පෞරාණික ග්‍රාමීය ව්‍යවහාරය අදටත් මට වලංගුයි.
ඉතිං,
ඌරාගල කන්දේම දකුණු පස බෑවුම කියලා අද වෙද්දී මං ටක්කෙටම දන්නවා වුණත්, ලංකාවේ භූ විෂමතා සිතියමේ හැබෑම ගිණිහිරිය කන්ද කොහේ කොතැනක තිබුණත්,
“මගේ ගිණිහිරිය” මේකයි.
ඉතිං,
තවමත් මම ඒ කන්දට, ඒ නමම කියනවා…
අදටත්,
“ගිරි කුළ පාමුල සිට-
බිය නොවන්න දැක ගිරි හිස-
කටු ළඳු දුරු මග පසු කොට
නගින්න ගිරි මුදුනට-
බලන්න ඔබ ආ මග-
කෙතරම්ම්ම්ම්ම්ම්ම් කටුකද?
කෙතරම්ම්ම්ම්ම්ම්ම් සොඳුරුද?…”
යන,
නන්දා මාලිනිය ගයන,
මගේ ප්‍රියතම ගී ඛණ්ඩය ඇහෙද්දී,
මට මැවී පේන්නේම,
“මගේ ගිණිහිරිය…”යි.
හෑම අළු පාට උදෑසනකම, හෑම රත්කහපාට ගොම්මනකම,
එයාව ඒ නමින් හඳුනා ගනිමින්,
එයාගෙන් ශක්තිය ගනිමින්,
මම “මගේ ගිණිහිරිය” දිහා සෙනෙහසින් බලනවා….)
ඉතිං,
අපි දැන් මාතෘකාවට එමු.
අපි සාමාන්‍යය පුරුද්දක් වශයෙන්,
ඉවුම් පිහුම් වලදි, අත් වැරදීමකින් පැන්ට්‍රි ටොප් එක මත හෝ මේසය මත හෝ ඉහිරුණු ද්‍රවයක්- එහෙමත් නැත්නම් හැළුණු ද්‍රවයක් හෝ ද්‍රව්‍යයක්, වහාම, රෙදි කැබැල්ලකින් හෝ අතින් හෝ ටිශූ කරදහියකින් පිහලා දානවා…
අපි එහෙම කරන්නේ,
අපේ වටාපිටාව පිරිසිදු කිරීම, පිළිවෙල කිරීම සම්බන්ධයෙන් ඒ වගේ අවස්ථාවක ඇතිවන ක්ෂණික පෙළඹවීම නිසායි. ඒ ඉහිරුණු ද්‍රව්‍යය නිසා සිදුවන හැඩි වීම, අපිළිවෙල වීම, කැත වීම වළක්වන්න අපි වහාම උනන්දු වෙනවා.
එහෙම නම්,
අපිට අපේ ජීවිතය වෙනුවෙනුත් මේ Wiping-out තියරිය අදාළ කර ගන්න බැරිද?
අපිට බැරිද
Negative Ideas,
Negative Thoughts,
Toxic Personalities,
Bad Situations වගේ දේවල්
ක්ෂණිකව Wipe-Out කරලා දාන්න?
Dustbin එකට වීසි කරන්න?
බැහැර කරන්න?
කොටින්ම,
අපිට බැරිද ඒවා
“කුණු වළකට” හෙවත්
“Garbage Pit” එකකට දාලා,
Compost බවට පත් කරන්න?
ඒ garbage pit එක ජීවිතයට පාඩමක් විදිහට අරන්, Compost ටික,
ඔබේ ජීවිතය පෝෂණය කරන පදාර්ථයක් හැටියට යොදා ගන්න?
.
.
.
ඉන් එහා ඒ ගැන ලියන් නෑ.
මම ඒ ගැන හිතුවා.
කැමති නම්,
ඔබත් හිතලා බලන්න.
මං එහෙම කළා.
කැමති නම්,
ඔබත් කරලා බලන්න.
ඇත්තටම ආසා හිතේවි.