Breaking News

ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි?

පුබුදු ජයගොඩ

ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශන රැසක් මේ වනවිට නිකුත් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බව කියනවා. නමුත් ඒ අතර ව්‍යවස්ථාවේ සංශෝධනයක් අවශ්‍ය බවත් කියනවා. සජිත් ප්‍රේමදාසගේ සහ අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල විධායක ජනාධිපති බලතල ඉවත් කර එය පාර්ලිමේන්තුවට පවරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1978 ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳව සඳහන් කරනවා.

ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? ඒ ප්‍රශ්නයට සරලම උත්තරයක් දෙනවානම් ඒ අලුත් සමාජ සම්මුතියක් අවශ්‍ය බව. සමාජ සම්මුතියක් කියන්නේ මොකක්ද? අලුත් සමාජ සම්මුතියක් අවශ්‍ය ඇයි?
අපි කෙටියෙන් ඒ ගැන කතා කරමු.

රජයට බලය ලැබෙන්නේ කොහොමද සහ රජය සහ ජනතාව සතු බලතල වල වෙනස්කම් මොනවාද කියන ප්‍රශ්න වලට ඉතිහාසයේ විවිධ වකවානු වල විවිධ දේශපාලන චින්තකයන් විවිධාකාර පිළිතුරු ලබා දුන්නා. මාතෘමූලවාදය, පීතෘමූලවාදය ආදී ලෙස උසස්පෙළ ශිෂ්‍යයන්ට උගන්වන්නේ ඒ න්‍යායන්. මේ අතරින් වැඩවසම් ක්‍රමයේදී බලවත් වුණේ දේවවරම්වාදය. එයින් කියවුණේ රජයට බලය එන්නේ දෙවියන්ගෙන් බව. රජු පත් කළේ දෙවියන් නිසා ජනතාවට කිසිදු බලයක් තිබුණේ නෑ. රජය නියෝජනය කළේ දෙවියන්ගේ බලයක් නිසා රජයේ තීරණ වලට එරෙහි වීමේ අයිතියක් ජනතාවට නැහැ. මේ තත්වය වෙනස් වුණේ 1688 එංගලන්ත ධනේශ්වර විප්ලවයත් සමග පෙරට පැමිණි තෝමස් හොබ්ස්, ජෝන් ලොක් වැනි දේශපාලන චින්තකයන් දේවවරම්වාදය ප්‍රතික්ෂේප කර වෙනත් න්‍යායක් ඉදිරිපත් කිරීමත් සමග. එම න්‍යායෙන් කියැවුණේ රජයට බලය ලැබෙන්නේ ජනතාවගෙන් බව. රජය සහ ජනතාව අතර සම්මුතියක් ඇති බවත්, ජනතාව තමන් සතු බලය රජයට තාවකාලිකව පවරා දෙන බවත් එයින් කියවුණා. එම න්‍යාය නම් කළේ සමාජ සම්මුතිවාදය ලෙස. රජය පැත්තෙන් සම්මුතිය කඩන විට එම රජයට එරෙහිව කැරලි ගැසීමේ අයිතිය ජනතාවට තිබෙන බව ඉංග්‍රීසි දේශපාලන චින්තකයෙකු වන ජෝන් ලොක් වගේම ප්‍රංශ දේශපාලන චින්තකයෙකු වන රූසෝ පවා කිව්වා. රූසෝගේ ප්‍රකට කෘතියේ නමත් Social Contract, ඒ කියන්නේ සමාජ සම්මුතිය.

නමුත් කාල් මාක්ස් මේ මතයට වඩා වෙනස් මතයක් දැරුවා. ජෝන් ලොක්ගෙන් පෝෂණය වූ ලිබරල් අදහස වුයේ රජය සහ ජනතාව අතර එකිනෙකාගේ බලතල පිළිබඳව ඇති කරගත් සම්මුතියක් තිබෙන බව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම සම්මුතියේ ලිඛිත ගිවිසුම බව. නමුත් මාක්ස් කිව්වේ රජය එක පන්තියක් තවත් පන්තියකට එරෙහිව ආධිපත්‍යය පැටවීමේ මර්දන උපකරණයක් බව. ඒ නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ සමාජයේ ඇති විවිධ පන්ති ප්‍රතිවිරෝධතා, පරස්පරයන් සහ රජයත් ජනතාවත් අතර ඇති ආතතීන් සමනය කර, රජය මධ්‍යස්ත බව සහ රජය ජනතාව නියෝජනය කරන බව පෙන්වා රජයේ බලය චිරස්ථායි කරන ඇස්බැන්දුමක් බව මාක්ස්වාදීන් පවසනවා. ඇත්තටම සමාජයක් මත රජයේ බලය පවත්වාගෙන යාමට බලහත්කාරී මර්දනය පමණක් ප්‍රමාණවත් නෑ. ඒ සඳහා සමාජයේ ස්වේච්ඡා කැමැත්තක් ගොඩනගා ගතයුතු වෙනවා. ඒ ස්වේච්ඡා කැමැත්ත ගොඩනගා ගන්නනම් ජනතාවට යම් යම් සීමිත අයිතීන් දිය යුතු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වල මූලික අයිතිවාසිකම්, රජයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අයිතිය, ජනමත විචාරණ වැනි ප්‍රතිපාදන අඩංගු කර තිබෙන්නේ ඒ නිසා. සාමාන්‍යයෙන් ධනවාදය අර්බුදයට යද්දී සහ පන්ති අරගලය දුර්වල වෙද්දී සිදුවන ව්‍යවස්ථා සංශෝධන වලදී ජනතාවගේ බලතල සහ අයිතීන් කප්පාදු කෙරෙනවා. පන්ති අරගලය තීව්‍ර වන මොහොතකදී, ජනතාවගේ බලය තහවුරු වූ අවස්ථා වල සිදුවන ව්‍යවස්ථා සංශෝධන වලදී ජනතාවගේ අයිතීන් වැඩිවන ප්‍රතිසංස්කරණ දිනාගත හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සමාජ සම්මුතිය යනු එකක්ම නෙවෙයි. ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන සම්මුතිය ඡන්දදායකයා සහ නියෝජිතයා අතර බලය බෙදෙන ආකාරය ගැන සම්මුතියක්. නමුත් ඊටත් වඩා කලින් ඇතිවූ සම්මුතියක් ඒ තුළ අඩංගුයි. මැතිවරණ වලදී තෝරා පත්කර ගන්නා නියෝජිත සභා වලට ජනතාව සතු පරමාධිපත්‍ය බලය පවරන්න අපි කලින්ම එකඟ වී තිබෙනවා. ඒ වගේම සුළුතරය බහුතරයට අවනත විය යුතුයි කියලා අපි කලින්ම එකඟ වී තිබෙනවා. මැතිවරණයේ ප්‍රතිඵලය ඒකමතික නෑ, නමුත් අර මුල් සම්මුතිය ඒකමතිකයි. ව්‍යවස්ථාවේ තිබෙන්නේ ඒ පරමාධිපත්‍ය බලයේ කොටස් වන නීති සැකසීමේ බලය, නීති ක්‍රියාවට නැංවීමේ බලය සහ නීතිය අර්ථකථනය කිරීමේ බලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඒවා අතර සංවරණය සහ තුලනය පවත්වාගෙන යන්නේ කොහොමද, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර යම් ගැටුමක් පැනනැගුනොත් මොකද කරන්නේ වගේ කාරණා. මේ කියන මුල් සම්මුතිය රූසෝ නම් කරන්නේ Foundational Contract හෙවත් ප්‍රාරම්භක සම්මුතියක්, පදනම් සම්මුතියක් ලෙස. මේ සඳහා ප්‍රමුඛ නිදසුනක් ගමු. ඇමරිකාවේ ජනපද අරගල කරලා මුලින්ම සම්මත කර ගත්තේ නිදහසේ ප්‍රකාශනය, Declaration of Independence. ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ඉන් අනතුරුව, ඒ මත පදනම්ව. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රාරම්භක සම්මුතියක් තිබෙනවා. අදත් ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය ලෙස සමරන්නේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දවස නෙවෙයි, 1776 ජුලි 04 නිදහසේ ප්‍රකාශනය සම්මත වූ දිනය.

දැන් අපි ලංකාවේ ප්‍රශ්නයට එමු. ලංකාවේ පාලකයන් සහ ජනතාව අතර කවදාවත් විධිමත් සම්මුතියක් ඇති වුණේ නෑ. ඇත්තටම ලංකාවේ මෙතෙක් ලියවුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා එකක්වත් ලියැවෙන්නේ එහෙම සම්මුතියක් මත පදනම් වෙලා නෙවෙයි. අපේ ව්‍යවස්ථා කතාව පටන් ගත්තේ යටත්විජිත ව්‍යවස්ථා වලින්. එය එක්තරා ආකාරයකට බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් සහ ලංකාවේ දේශීය ප්‍රභූන් අතර සම්මුතියක්. නිදසුනක් ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභා වල නිලලත් මන්ත්‍රීවරුන් සහ නිලනොලත් මන්ත්‍රීවරුන් අතර අනුපාතය වෙනස් වූ ආකාරය ගන්න. බොහෝ විට නිලලත් මන්ත්‍රීවරුන් බවට පත්වුණේ බ්‍රිතාන්‍ය නිලධාරීන්. නිලනොලත් මන්ත්‍රීවරුන් තමයි ලාංකිකයන් සඳහා අවකාශය විවර කළේ. 1833 කෝල්බෘක් – කැමරන් ව්‍යවස්ථාවේ නිලලත් මන්ත්‍රීවරුන් 9 දෙනාට නිලනොලත් මන්ත්‍රීවරුන් සිටියේ 6 දෙනයි. ඒ කියන්නේ බහුතරය බ්‍රිතාන්‍ය නිලධාරීන්. පසුව 1889 ප්‍රතිසංස්කරණ වලදී නිලනොලත් ගණන 8 දක්වා වැඩි වුණා. 1910 කෘව් – මැකලම් ප්‍රතිසංස්කරණ වලදී පවා නිලලත් – නිලනොලත් අනුපාතය තිබුණේ 11:10 ලෙස. ඒ කියන්නේ තවමත් බහුතරය නිලලත් මන්ත්‍රීවරුන්.

පසුව 1920 ප්‍රතිසංස්කරණ වලදී නිලලත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 14ක් සහ නිලනොලත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 23ක් වී නිලනොලත් කොටස බහුතරය බවට පත්වුණා. එයට බලපෑවේ ඉන්දියාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දීය ධනේශ්වර පන්තිය ගෙනගිය උද්ඝෝෂණ. මේ 23 දෙනාගෙන් 16ක් ඡන්දයෙන් සහ 7ක් ජාතීන් නියෝජනය වන පරිදි තෝරා ගත්තා. 1924 මැනිං ප්‍රතිසංස්කරණ වලදී මේ අනුපාතය 12:27 ලෙස වෙනස් වුණා. 1927 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වලදී නිලලත් කොටස 3 දක්වා අඩුවී නිලනොලත් කොටස 58ක් දක්වා වැඩි වුණා. මේ 58න් 50ක්ම තෝරා ගත්තේ ඡන්දයෙන්. මේවාට බලපෑවේ දේශීය ප්‍රභූන්ගේ බලපෑම සහ ඉන්දියානු අරගල වල බලපෑම. ඇත්තටම පසුව ජනතාවට යම් බලයක් ලැබෙද්දී එයට බලපෑවේ එංගලන්තයේ තිබුණු සමාජ සම්මුතීන්. නිදසුනක් ලෙස එංගලන්තයේ මුල් කාලයේ ඡන්ද බලය තිබුණේ විශාල දේපලක් හිමි පිරිමින්ට පමණයි. ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිය සහ කම්කරුවන්ගේ ඡන්ද අයිතිය සඳහා එංගලන්තයේ ජනතාව ගෙනගිය දීර්ඝ කාලීන අරගලයක ප්‍රතිඵල ලෙස එංගලන්ත ජනතාවට ජයග්‍රහණ අත්පත් වුණා. 1918 කම්කරු ඡන්ද බලය සහ 1928 ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබුණා. 1931 වනවිට ලංකාවේ කම්කරුවන් සහ ස්ත්‍රීන්ද ඇතුළුව සර්වජන ඡන්ද බලය ලැබෙද්දී බලපෑවේ මේ එංගලන්ත සමාජ සම්මුතිය. ඒ වගේම මෙම ප්‍රතිසංස්කරණ ලංකාවට යෝජනා කළ ඩොනමෝර් සාමිවරයා රිතාන්‍ය කම්කරු පක්ෂ සාමාජිකක් ඒ වගේම එවකට යටත්විජිත ලේකම්ව සිටි සිඩ්නි වෙබ් ක්‍රමානුකූලව සමාජවාදය බිහිවන බව විශ්වාස කළ වාමාංශිකයෙක්. ඔවුන් සර්වජන ඡන්ද බලය වෙනුවෙන් පෙනී සිටි අය. එනිසා ලංකාවේ ආරම්භක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සියල්ල ලංකාවේ සමාජ සම්මුතියක ප්‍රතිඵල නෙවෙයි, එංගලන්තයේ සමාජ සම්මුතියක ප්‍රතිඵල.

ලංකාවේ සර්වජන ඡන්ද බලය, නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආදී සියල්ල එංගලන්තයේ සමාජ සම්මුතියක ප්‍රතිඵල. ඇත්තටම 1947, 1972, 1978 ව්‍යවස්ථා කියන්නේ එම සම්මුතිය ක්‍රමානුකූලව ස්වාදෙශීයකරණය කර ගැනීමක් මිස ඉන් ඔබ්බට ගිය දෙයක් නෙවෙයි. ඉන්දියාව හෝ දකුණු අප්‍රිකාව වගේ ජාතික විමුක්ති අරගලයක් හෝ රාජාණ්ඩු විරෝධී අරගලයක් සිදුවූ රටවල් වල ධනපති පන්තියට එම රටවල ජනතාව හමුවේ නායකත්ව භූමිකාවක් සහ පාලකයන් වීමට සුජාතභාවයක් නිර්මාණය වුණා. ඒ ඔවුන් ජනතාව සමග එක්ව නිදහස් අරගලයක නිරත වූ නිසා. නමුත් ලංකාවේ පාලක පන්තියට එවැනි සුජාතභාවයක් නැහැ. නිදසුනක් ලෙස ප්‍රථම 1947 මැතිවරණයේදී ධනපති පන්තියේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ 43%ක නියෝජනයක් පමණයි. ජනතාවගෙන් බහුතරය ධනපති පාලනය ගැන විශ්වාසයක් තැබුවේ නැහැ.

මේ හමුවේ ලංකාවේ පාලකයන් සහ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සම්මුතියක් ඇතිවුණේ නෑ. එනිසා සම්මුතිය එක්තරා ආකාරයකින් ජාතික – ආගමික සම්මුතියක් සහ අනුග්‍රාහක සම්මුතියක්. ඒ කියන්නේ පාලකයන් සමාජ අනුමැතිය ගත්තේ සිංහල -බෞද්ධ බහුතරය වෙනුවෙන් පෙනී සිටිමින්. ජාතිවාදය භාවිතා කරමින්. 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වන වගන්තියෙන් සුළුතරයට එරෙහි නීති සම්මත කිරීමට බහුතරයට පනවා තිබු බාධාවන් පවා 1972 ව්‍යවස්ථාවේදී ඉවත් කළා. සිංහල පමණක් රාජ්‍ය භාෂාව ලෙස නම් කිරීම, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛතාව ලබාදීම ආදියත් ඒ සඳහා නිදසුන්. ඒ කියන්නේ ලංකාව ජනරජයක් කීවාට ඒ ජනරජය හැදුවේ සුළුතරය පිටමං කරලා. ඒ වගේම දේශපාලන නායකයන් සිය නායකත්වය ජනතාව අතර තහවුරු කරන්නේ අනුග්‍රාහක දේශපාලනයකින්. ජනතාවට රැකියා, ටෙන්ඩර්, භෞතික භාණ්ඩ ආදිය ලබාදීම තමයි ලංකාවේ දේශපාලනය වී තිබෙන්නේ. මෙය පොදු සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමත් නෙවෙයි. සමාජ සුබසාධනයත් නෙවෙයි. විවිධ දේ දීලා ඡන්දය ගන්න අනුග්‍රාහක දේශපාලනයක්. ඇත්තටම ලංකාවේ ඊනියා නායකයන් තමන්ගේ නායකයන් ලෙස ජනතාව පිළිගන්නේ ඔවුන් තමන්ගේ ජාතිය හෝ ආගම වෙනුවෙන් පෙනී සිටීමත්, තමන්ට විවිධ දේ බෙදා දීමත් නිසා. ලංකාවේ පාලකයන් සහ ජනතාව අතර ඓතිහාසික බැඳීමක් නෑ, සමාජ සම්මුතියකුත් නෑ.

2022 අරගලය නව සමාජ සම්මුතියක් සඳහා අවස්ථාව විවර කළා. එහිදී ජනතාව ජාතික – ආගමික – අනන්‍යතා සම්මුතිය වෙනුවට ‘ජනතාව’නම් සමූහ පරිකල්පනයකට එළඹුණා. විවිධ දේ බෙදාදෙන අනුග්‍රාහක දේශපාලනයට එරෙහි දැවැන්ත විරෝධයක් පැනනැගුනා. ඒ වගේම ජනතාව නව සමාජ සම්මුතියක් ඉල්ලා සිටියා. Gota Go Home (පත්කළ නියෝජිතයන් යලි කැඳවීමේ බලය ඕන), ගෝඨා එක්ක පුටුවත් එලවමු (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම), 225ම එපා (පාර්ලිමේන්තුව නියාමනය කිරීමේ බලයක් ජනතාවට ඕන), හොරකම් කළ සල්ලි දියව් (පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ජනතාවටත් අවශ්‍යයි), Power to the People (ජනතාවට රාජ්‍ය බලයට සහභාගී වීම අවශ්‍යයි) වැනි සටන්පාඨ හරහා ජනතාවගේ මේ අභිලාෂයන් මතුවුණා. ඒ අභිලාෂයන් මත තමයි අපට අලුත් සමාජ සම්මුතියක් ගොඩ නගන්න තියෙන්නේ. එම නව සමාජ සම්මුතිය, නව ජනරජය සමාජවාදය මිස වෙන එකක් නොවන බව අරගලයේ සටන්පාඨ වලින්ම පෙනෙනවා.

එනිසා අලුත් ව්‍යවස්ථාවක් පදනම් විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නියෝජිතයන් යලි කැඳවීමේ බලය – නියෝජිත සභා සම්මත කරන නීති අධිකරණ සමාලෝචනය කිරීමේ බලය – ජනමත විචාරණ කැඳවීමේ බලය ජනතාවට දීම, ජනතාවගේ සභා වලට පාර්ලිමේන්තු කටයුතු අධීක්ෂණයේ සහ නියාමනයේ බලයක් දීම හරහා සංවරණය හා තුලනය අලුත් ආකාරයකින් හැදීම වගේ මූලධර්ම මත. අනිවාර්යයෙන්ම එවැනි නව ව්‍යවස්ථාවක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කොටස වඩාත් පුළුල් කර ජනතාව බලගැන්විය යුතුයි. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ නව ජනරජයක් සඳහා මග එළිපෙහෙළි කිරීමට. ඇරිස්ටෝටල්ට අනුවත් ජනරජයක් කියන්නේ එහි ප්‍රධාන පදනම ජනතාව බවට පත් කරගත් රාජ්‍ය ව්‍යුහයක්. අපට අවශ්‍ය නව සමාජ සම්මුතිය කවර ආකාරයකින් හෝ ප්‍රකාශයට පත්වනනනනන නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මෙවර ජනාධිපතිවරණයේදී අප ඒ සඳහා අරගල කළ යුතුයි. පරණ ජාතික- ආගමික සම්මුතිය සහ අනුග්‍රාහක සම්මුතිය මත පැන යාමට කිසිදු අපේක්ෂකයෙකුට ඉඩ නොදී නව ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් සඳහා ඔවුන්ට බලකළ යුතුයි.

 

පින්තූරය – රියාල් රිෆ්ෆයි

උපුටා ගැනීම – ජන අරගල සන්ධාන වෙබ් පිටුව

leave a reply