Breaking News

කල්පනා ඇම්බ්‍රෝස්ට කවි කිවිඳියෝ හතළිස් හත් දෙනෙක් උත්තර දෙයි

කොරෝනා වෛරසය සෑම මිනිසෙක්ම හුදකලා කර ඇත. කොරෝනා මර්දනය කිරීමට දැනට ඇති හොඳම ක්‍රමය දුරස්ථ භාවයයි. සාමූහිකව ජීවත් වෙච්ච මිනිස්සුන්ට හුදෙකලා ව හිසරදයක්. කල්පනා ඇම්බ්‍රෝස් කියන්නේ අප අතර සිටින විශිෂ්ට කිවිඳියකි. ඇය ඊයේ මුහුණුපොතේ හුදකලාවේ සිතුවිලි අතරින් පැන නැගුණු කාව්‍යයක් ආරම්භය කළා .Coronatimes කාලයේ කවි රචනා කිරීමට ඇගේ හිත මිතුරන්ට ආරාධනා කළා. ඒ අනුව මුහුණු පොතේ ඇයගේ පිටුවේ කවියට යටින් බොහෝ අයගේ මැදිහත්වීමෙන් කවි පැඳුරක් වියනු ලැබුවා.

ඇසින් ඇස දිදී පවනේ සැරිසැරුව
නිතින් පියාපත් පිරිමැද දුක බැලුව
වසන්තයක් තිබුණිද මෙතරම් ගොළුව
ඉතිං සියොතුනේ කෝ අර දොඩමළුව
කල්පනා

කවි කිවිඳියො ඉතිරි ටික ලියමු.

මෙන්න හැමෝගෙම කවි පැදුර ! ❤

හැම වසන්තයම අඟ
අමතක කරා දමා හැම දොඩමළුව
පියාසලා කිසිත් නොදැන සේ දුක දැරුව
ඇසත් බරව හැඩුවා නුඹ දුන් මතක
බර වැඩිව
Iroshan Fernando

කිසිවක් නොවේ මට මෙතැනදි පැවසීම
වැළඳ ගනු විනා ඔබ ඇතුළුව හැම
එකම හඳක් යට අප හැම සිටියාට
සුසුම් දහර තනිවම විඳගමි මෙහෙම
Upeksha Imali Premathilake

මිහිරි මතකයන් පටලවා ගත්
දෙඅැස් ඉදිරිපිට වෙමි සන්සුන්
රැ නින්දට ගෙනෙන ඉමිහිරි මතකම
බිදලයි ඉදහිට තෙරපෙන තනිකම
Imasha Hettipathirana

මුවින් මුවග විසිරුණු තුටු කවි රැන්ඳූ
අන්තයක පෙම හදවත මන බැන්‍ඳූ
රිදුම් සහසකට ඔසුවක් හද ගැල්වූ
සිතින් වැළඳගෙන මුමුණමු ගී සිංදු
Nishantha Fernando

හිතින් හිතා ගන්නත් බැරි අනන්තෙක
සිතුම් ගල් ගැහී ඇත දුක් කඳුළු ලෙස
හිතන්නවත් බැරි දුක්බර දවස් අස
වසන්තය යන්න වදනකි රිදෙන හිත
Warna Rasika Gunawardana

තුරුත් හිස් නමා ගෙන කල්පනාවක
මලුත් පෙති හකුළුවා හුදෙකලාවක
සඳත් මුව වසා ගෙන ලෙස අමාවක
හෙටත් සිනා සෙනු හැකිවෙද කියා සැක…!
ලක්මාලී හේවාවසම්

පමා වුනත් නෑවිත් ඉන්නේ නැතිව
ඇවිත් රොණක සුවඳක් සිත වට එතුව
වසන්තයේ ඉපැරණි සිතුවම් මතුව
අලුත් පාට ඉල්ලයි එන සිත් ඇතිව
Wasantha Pradeep Hettiarachchi

වසන්තය සොරා ගෙන ඈතක හංගාලා
ගිම්හානය හිදී තුරු අග හිනැහීලා
සුසුමන් හඩන මුත් මේ හදවත ගිනිලා
ඒ හදවතේ පෙම් මල් නැත පරවීලා
Amali Alakolanga

ඉඩක් හොයා ආ විට තුරු හිස් මතට
ගොඩක් වෙලා ගත නොකලත් අපි එකට
නැතක් මතක ඇත කිචිබිචියෙන් එපිට
වසන්තය කියන්නෙත් දැන් නම්, දුකට
Prasad Weerasinghe

වසන්තය එතැයි සැළවීමෙන් පසුව
මදින් මද නැඟෙයි අරුණළු යුහුසුළුව

ඉතින් තව තවත් ඉවසීමෙන් පසුව
නැවුම් මල් පිපෙනු ඇත වසමින් පොළොව
Madushani Kapuruge

දුකින් දුක නසන
පිරිමදිනා මනසා
තුඩින් තුඩට පිපි මල්
කුමට ද සනසා ?
Upul Sannasgala

පසන් නිවස පාළුය ඔබ නැති රෑට
නිසංසලය බිඟුරැල මල්පෙති පාට
වසංගා කඳුල ඔරුවේ තොටියාට
වසන්තය කියමි ඔබ මෙහි එනදාට..
Sarath Chandra Bandara

ඇසට දුර වුණත් රුව ඇසුරට ළඟ ය
ළඟට නොපෙනුණත් අප හදවත් එක ය
එකට නොසිටියත් මේ හැමතැන හිත ය
හිතට තිත වුණත් තාමත් බර වැඩි ය
Dulaj M. Dewapura

සාද කතාවක මදු ඔඩමක් පුරවා
ප්‍රේම කතාවක තව පිටුවක් ලියවා
මුවට මුව තියා මිහිරක සුව ගාවා
වසන්තය ළඟයි සුවඳයි හෙට එනවා
Thanuja Lumbini

වසන්තෙම නොසිතු ලෙස වසංගත පැතිරිලා
දුම් වලා නැගූ නෙක උස් කුළුණු හිස්වෙලා
සියොත් කැල ඉගිලෙනා නිදහසේ තටු සලා
දහසකුත් තරු රටා රෑ අහසෙ මතු වෙලා
Biman Pathirage

වසත් සඳ දෑස් මත කළු වළා කටු ඉසින
නපුරු සිහිනයක්මැයි මල් සිඳින කළු සුළඟ
තටු සිඳී බිම වැටී මර බියෙන් තැති ගැනුන
කුරුලු හිත් ඉකිබිඳිති නිම්නයක තනි තනිව
Tharindra Galahena

හිතින් හිතන්ටත් බැරි නපුරු කාලෙක
ඉතින් පිරිමදිමි තටු නුහුරු ආරෙක
හිතින් ළඟ හිඳින් පෙර මතක ආලෙක
විතින් විත ගැටෙන තුරු එකම යායක.
Ravi Siriwardhana

පලා පැහැයෙ හැඩ ටික ටික මතුවෙන්න
දුමාරයේ සැර වියැකී යන අහස් කුස
තව ටික දොහක් ඉමු ඉවසා හිරවිල්ල
විඳගමු පමාවී එන වසන්ත අරුණැල්ල
Nayanajith Atapattu

රටින් රටට ගොඩ ගැසෙනා මිනි කඳුය
දොරින් දොරට අග හිඟ මැද වැලපිලිය
පැයෙන් පැයට පුවතින් විසිරෙන විසය
දුරින් වුවද සැනසුම සෝයුරු බැමිය
Sujith Kuruwita

පිපෙයි මල් වියන්
පැහැදුල් නැති සේමා..
හඩයි සමනලුන්
තටු සිදුනේ කෝමා..
අහසත් පොලොව එක හා තරමට ගාවා..
වැලපෙන වසන්තය ගෙන එන දුක බෝමා
Kanchana Wewalpanawa

බොහෝ කල් කළත් අපි වසන්තයේ බොරුව
ඉරිච්ච තැන් තිබුණු බව මතකද මහගන්න බැරුව
රැකගෙන හැම හදකම හුස්ම පදවමු මේ ඔරුව
එතකොට ඉසියි මල් පැණි සියොතුන් ඉරුව
Meenu Gunasinghe

හෙලක් කයින් – සුල් ඇළඟත් – පෙවන දති
වුලක් මණත් – බපුමට පිය – ඇලා වෙති
පලක් සීළු – සිවතත් දත් – නිසින් රැති
දළක් පෙනෝ – ලිවි කයමින් – වෙහිල් සිති
Lakshantha Athukorala

රෑනේ අනිත් උන් ලියු කවි කියවීම
දුරින් දුටු පැටවු තුරුලෙහි සැනසීම
අලුත් කවි සමග දිනකදි හමුවීම
ඉතින් මේ වසන්තේ නම ඉවසීම
Kalpanee Gunathilake

කඩින් කඩ බලා වටපිට
නැකැත් හොයා කල් මැරුවට
වසන්තය ගෙනත් දිය හැකි
එකම එක හිනා කටකට
Yashodha Sammani

සිතින් සඟවගෙන මෙතුවක් නොකියා සිටි මුත්
සැනින් දැළු දදා ලියලයි ආදරයේ සිත්
දුරින් හිදින විට කොතරම් ළංවෙනවද යත්
ඉතින් කියන්නම් ඉඩකඩ ලැබුණු සැනින් විත්
Prabodha Abayawardana

දුකින් හද පෙළෙන දවසක අතර මැද..
ඇසෙන් වැටුණ කඳුළකි අමතකව ගිය..
අතින් අතැර දැමු පසු අපමණ සතුට..
ඉතින් වසන්තය අද නොව එන්න හෙට..
Visal Senathilaka

කීරි ගැහෙන සිතුවිලි මල් එක පෙළට…
රූරා වැටෙයි නෙත් පිනි දිය ඒ මතට..
රැයක් දහවලක් නැහැ දැන් තනිකමට…
තුඩින් තුඩ පෙවූ අම බිඳු
අද කොහිද..?
Niroshi Dombagahage0

හිතත් රවටාන මදහස අතුරාන
දිවාරැයේ දවනට හේතුද ගේන
වසත් දැල් බඳී දෑසම හිස් නේද
ඉතින් ප්රියේ කවදද ඔය මුව පේන…
Thusharika Anthony

අත දිග මදි කඳුලක තෙත පිසින්ට
දුර හිඳගෙන පුළුවනි අත වනන්නට
අද නාවත් හෙට මල් පෙති ලිහන්නට
එන්නට කියා අයදින්නෙමි වසන්තෙට
Isuru Chamara Somaweera

සිහින සොයා එන සියොතුන් වසන්තයේ අගිස්සට
තෙමෙන්නමයි බලා ඉන්නේ හෙමින් වැටෙන මල් වැස්සට
හොරෙන් ඇවිත් සිහින ගෙනත් රිංගාගෙන හිත අස්සට
ගී ගයන්න බැහැ කිව්වොත් කෝටු පාර දෙමි පස්සට
Kanchana Priyakantha

සොවින් තැවෙන මොහොතක මෘදු වදනින්ද
සතුට ගලන මොහොතක ලඟ රැදෙමින්ද
සිතක් නිව්ව ඒ පෙම්වත් සියොත් කැළ
බලා හිදී මල් පිපෙනා තුරු නැවත
Navodya Jayawickrama

වටින් ගලාගෙන එනකොට වයිරස් බලමුළුව
දුරින් හිනාවෙමු නවතා දොඩමළුව
රස්කොල් නිකොව්

මන්ඳ අඳුරු හැන්දෑවට අත වැනුව
වින්ඳ දුක අහෝ! සකියනි නිදිමැරුව
සුපුන් සඳ වළා අතහැර ගිය පසුව
වසන්තෙට පිපී කුමටද මල් ගොමුව
Thushari Priyangika

වසන්තයේ අග හිඳ අත වැනුව
හිතේ දහසක් අඩුපාඩුත් මැකුව
දොඩමළු සිනා දහසක් මැද වු හමුව
අහිමි නිසා හිදිමි මම තවමත් ගොළුව
Himashi De Silva

තුඩින් තුඩ ගගා නොම ඉඳ ළඟ පාත
යොදුන් දුර රැඳී හඬ ගොළු වුණු මෑත
දනන් සියලු සරතැස් සනසන සීත
වසන්තය ළඟයි එය නැත දුර ඈත
Kas Wick Sahan Kaseera Wickramasinghe

වනන්තරේ නිදි සිහිනේ වැතිරීනම්..
සිහින් පවන් පත් අතරින් නෑසේ නම්..
මිදී පිණි කදුලු මල් පෙති වැහැරීනම්..
කුමට දොඩමලුව.. හිමි බැද මුඛවාඩම්…
Amila Pradeep Jayawardane

වසන් කලද වස්සානෙක මෘදු ළමැද
දසන්තයට කැකුළින් අඩුවක් කොහිද
හදින් හදට සෙනෙහස දැල්වී නිබඳ
අපෙන් පසුත් මල් පිපුණොත් ඒ මදිද
Ransara Bandara

දැන් නොම ඇසෙයි ගං දෑලේ මුණු මුණුව
කුරුලු කිරිල්ලන් බෝ වැඩයුහුසුලුව
ගස්වැල් පවා උස ගොස්, පෙර තනි මැකුව
කාලය ඉගිල යයි මම මෙහි ආතුරව
Bmsk Bandaranayake

දොඩමලුවක් දා කවියන් නිදි මැරුව
වසන්තයක් කොහෙ තිබිනිද නිදිවැරුව
කොහෝ පියාපත් ඉතිරිද පිරිමැදුව
ඇසින් ඇස වුනත් මීටරයෙන් හිදුව
Vajira Weerakoon

වසන්තයේ සිහිනයන්
පපුතුරේ සඟවගෙන
නොපෙනෙනා සතුරෙකුට
මරබියේ සැඟවගෙන
නොවිඳිනා දුක් විඳින
විඩාපත් මිනිස් කැල
ඇසිල්ලක් ලදහොත් මොහොතක
සියොත් ගී ඇසේවි
හුරුපුරුදු තාලයට
Anushka Thilakarathne

වසන්තයෙහි මල් පිපුණත් එදා සිට
සුවද නැතිව පාටක් පමණක් කුමට
මෙදා ගිම් සමය අතරින් දුරින් දුර
පිපෙයි සුවද මල් දෑසින් වසන් කොට
Thimbiriyagama Bandara

දුරින් සිනාසෙන හද නිති කිතිකවන
ළඟින් වුන් මතක නෙතු මත දුක පොවන
ඔබෙන් මා නිවුනු අරුමය ගැන කියන
වදන් කවි අතර සඟවමි සොයනු මැන
Kaushalya Jayalath

නෙතින් වසන්තය නැති වී මල් පීදූ
ගතින් දුරින් පසුවන්නට මග පෑදූ
ඉතින් අතරමැද වුව මීටර් කෝදූ
සිතින් වැළඳගෙන දෙමු උණුසුම් හාදූ
Wimal Ketipearachchi

රතින් රතට එරබදු පිරි තුරු වියන
තුඩින් තුඩ දිදී රඟනා කොවුලාන
රැයේ ගුවන් ගැබ සරනා සඳ පාන
කියන් වසන්තේ සැඟවී ගිය මාන
Dilini Eriyawala

අතින් අත් හැරුණු සුළඟක දෙතැන හිඳ
දෙතොල් වලට වෙහෙසයි පහසක් කොහිද
නුවන් හුදෙකලාවේ නිදි ලොවක් මැද
මලත් වසන්ගත වසන්තෙ එපා මට
Samadhi Senanayake

බොලා ලගේ කවිකම් නං හරි හරිය
සොරා ගන්න බැරි සාගරයක තරම
දිරා ගියත් හඬ බක් මාසය ගොළුව
කොහා වුණත් අද මීටරයක් දුරය
Prasad Weerasekara

අතේ දුරින් හිටියත් බක්මහා මාසේ
එරබදු පිපී හිනැහෙනවා ඇස මානේ
කැවුම් කොකිස් අතිරස හීනෙන් වාගේ
පෙනේ පෙනේ ගොළු වූවත් වස්සානේ..
Thushari Priyangika

හමාර කවිය

සිරව තැනින් තැන සිටියත් නුහුරු ලෙසින්
පරව යා යුතුද අඳුරු ම පැයට යටින්
තිරව දනිමු අත් නොමහළ යුතුය ඉතින්
තරව වැළඳ ගන්නෙමි දුර නැතිය සිතින්

(කල්පනා) හුදෙකලාව නිසා පටන් ගත් කවි ලිවිල්ල හිතුවටත් වඩා දිගට ලියවුණා. හතළිස් හත් දෙනෙක් කවි ලියල තිබුණා. ඒ හැමෝට ම ස්තුතියි. ආදරෙයි.

leave a reply