Breaking News

ලීසිං නිසා 8704 දෙනෙක් මැරිලා තියනවා. සුනිල් ජයවර්ධන 8705 වෙනියා

(දේශපාලනඥයන් ඔය ලීසිං සමාගම් වල කොටස් කරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොවුන් නිසියාකාරව ක්‍රමවත් වැඩපිළිවෙළක් ගෙන එන්නේ නැත්තෙ).

“ලීසිං ආයතනයත් එක්ක පොලිසිය ඉන්නවා, නීතිඥය ඉන්නවා, පාතාල ලෝකය ඉන්නවා. වාහනය අරගෙන යන්නෙ පාතාල ලෝකයේ මිනිස්සු ඇවිල්ල පහර දීල, බය කරලා. ලීසිං ක්‍රමය කියල කියන්නෙ මාෆියාවක්. සම්පූර්ණ වගකීම රජය සහ මහ බැංකුව බාරගන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නඩත්තු කරන්නේ මේ අපි වගේ ලීසිං ආයතනවලින් ණය වෙච්ච, ණයට හිර වෙච්ච මිනිස්සු හම්බු කරන බදු මුදලින්. ජනාධිපතිතුමා මේ රටේ දුප්පත්කම තුරන් කරන්න උත්සාහ කරනවනං කවමදාවත් ඒක සිදු වෙන්නේ නෑ. ලීසිං නිසා ජීවිතය එපා වෙච්ච සහ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක 8704 දෙනෙක් මැරිලා තියනවා. අපි මෙම ලබන මාසේ 6 වනදින විශාල ජනතාවක් සමඟ රජයට බල කිරීමක් කරනවා.

ලංකාවේ මේවන විට වාහන ලක්ෂ 80කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම 90%කට අධික වාහන ප්‍රමාණයක් ලීස් කරලා තමයි අරන් තියෙන්නේ. එතකොට මේ ලීසිං කරලා අරන් තියන වාහන හිමිකරුවන් ලීසිං ආයතනයේ ග්‍රහණයට නතු වෙලා තියෙනවා. ඒ නතු වීම තුළ වාහනයක් අරගෙන යම් කිසි කර්මාන්තයක් කරන තරුණ ළමයින්ට සහ මැදිවියේ පුද්ගලයන්හට ඒ ගමන යා ගන්න බැරි විදිහට ලීසිං ආයතනයෙන් පීඩනයකට ලක් කළ තියෙනවා. මේ මාෆියාව සෑම ව්‍යාපාරිකයෙක් ම උත්සාහවන්ත දරුවෙක්ම අවුරුදු 18න් ඉහල දරුවන් සහ අවුරුදු 25 ඉහල අවුරුදු 40ට යනකම් ඉදිරි අනාගතයට යන්න බැරි විදිහට විශාල පීඩනයකට නතුවෙලා තියෙනවා.

ඒ වගේම තමයි අද මේ වෙනකොට අපි වාහනයක් ලීස් කරනකොට රාජය තීන්දු සහ නීති අණපනත් එක්ක, අපි ත්‍රීරෝද රථයක් ගත්තොත් ලක්ෂ 5ක් ගෙවන්න ඕන. අපි ලක්ෂ 20ක වාහනයකට යනකොට ලක්ෂ 10ක් ගෙවන්න ඕන. මේ මූලික මුදල ලීසිං කරලා වාහනය ගත්තට පස්සේ ඇරියස් වෙනවා කියමුකො වාරික දෙකක්, එතකොට මේ ආයතනය මේ රටේ ඉන්න පාතාලේ කියන පුද්ගලයන් යොදාගෙන ඒ ආයතනය ඔහුව ග්‍රහණයට අරගෙන ඔවුන්ට මුදල් දීලා අර වාහනය අරගෙන යනවා. සමහර වෙලාවට ගහගෙන, මරාගෙන තමයි වාහනය අරන් යන්නේ. අර සල්ලි දීලා වැදගත් විදිහට පාරිභෝගිකයා අන්තිමට සලකන්නේ අපරාධ කාරයෙකුට වගේ. මේ කටයුතු නිසා අපට සිද්ධ වෙලා තියෙනවා මේ රටේ සියලුම ලීසිං කරලා වාහන ගත්ත පුද්ගලයෙක් වෙනුවෙන්ම පෙනී ඉන්න. මොකද මේ ක්‍රමවේදයට මෙරට සියලු පාරිභෝගිකයන් අසුවෙලා ඉන්නවා. තරාතිරමක් නෑ, උස් පහත් භේදයක් නැතුව.

ලීසිං ක්‍රමය රටේ තියෙන්න ඕන. නැත්තං වාහනයක් ගන්න බෑ. මේ රටේ නැතත් ඕනෑම රටක ඉතාමත් සුහදශීලී ගනුදෙනු කරන ව්‍යාපාරයක් මේක. නමුත් මේ වෙනකොට මේ ලීසිං ආයතන විසින් අපට පෙන්නන පොලියට වඩා, අපි වාහනයක් අරගෙන ඇරියස් වෙනකොන මේගොල්ලෝ පොලියට එකතු කරනවා දඩ පොලී, ඒකත් එක්කම එකතු වෙනවා වැල්පොලී පෝලිමේ ඔක්කොම එකතුවෙලා අර වාහනයේ වටිනාකම ලක්ෂ පහක් නම් අර පුද්ගලයාට ලක්ෂ 15කට අඩුම ගානේ මේ වාහනය ගෙවලා නිම කරන්න වෙනවා. නමුත් කිසිම දාක ඒ මුදල ගෙවා ගන්න බැරි විදියට දිනපතා, මාස්පතා පොලිය එක්ක දඩ පොළී එකතු කරලා විශාල ව්‍යසනයක් මේ රටේ ඇති කරල තියනවා.

ඒ විතරක් නෙවෙයි වාහන අරගෙන ගිහිල්ල ඒ ආයතනය විකුණනවා. වාහනය විකුණලා ඒමුදලත් ඒගොල්ලෝ ගන්නවා, වාහනය නැති මනුස්සයට නඩුවක් දානවා. මුදල ලබා ගැනීම සදහා. මේ රටේ තරුණ කොටස් සහ පාරිභෝගික ජනතාව වාහනය පාවිච්චි කරන සියලු දෙනා මේ ලීසිං මාෆියාවට හසු වෙලා තියෙනවා. මේ ලංකාව 90%ක්ම වාහන අරන් තියෙන්නේ ලීසිං කරලා. වාහන හිමියන්ගේ ව්‍යාපාර කඩා වැටෙනවා, ගේ ඇතුලේ තියන ප්‍රශ්න වැඩිවෙනවා.
මේවා ඇවිල්ලා ජාතික ප්‍රශ්න. මේවට රජය කරඅරින්න නරකයි, මේවා මගඅරින්න නරකයි. මේ ගැන බලන්න ඕන, මේ ගැන බලන්නේ නෑ. අද මේ වෙනකොට මේ මාෆියාව ලීසිං ආයතන දන්නවා, මිනිස්සු මැරෙන එකත් දන්නවා, මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්නත් දන්නවා. නමුත් මේ ලීසිං ආයතනත් එක්ක සම්බන්ධකම් පවත්වනවා මේ ආණ්ඩුව, ආණ්ඩුවල ඇමතිවරු, ඇමතිවරුන්ගේ තියෙන බලය මේ ලීසිං ආයතන වල තියෙනවා. පොලිසිය ඔවුන්ගේ මුදල් බලයට යටත්වෙලා තියනවා. සියලු දෙනා ලීසිං ආයතනයත් එක්ක ඉන්න හින්දා පාරිභෝගික වාහනයක් ගත්ත පුද්ගලයා දිනපතා මානසික පීඩනයකට ලක්වෙලා තියෙනවා. ඒ නිසා තමයි අර මම කිව්ව 8704 දෙනා මැරිලා තියෙන්නේ. මොකද ඒ අයට පිහිට වෙන්න කිසිම රාජ ආයතනයක්, නිලධාරිවරයෙක් නෑ. මොකද මේ රටේ ලීසිං ආයතන 80%ක්ම මහ බැංකුවේ ලියාපදිංචි නැති, අයාලේ තමන්ගේ හිතුමනාපෙට ලීසිං ආයතන පවත්වාගෙන ආයතන.

මේ ආයතන මහ බංකුවේ ලියාපදිංචි නොවී මූල්‍ය සමාගම් ගනුදෙනු කරනවානම් රටේ ජනතාවත් එක්ක මේ යල්පැන ගිය නීතිරීති එක්ක තමයි ලීසිං සමාගම් ක්‍රියාත්මක වෙන්නේ. ලීසිං සමාගම් මේ වන විට කරන වැරදි සම්බන්ධයෙන් සොයා බලන්න ආයතනක්, පුද්ගලයෙක් පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් වහනයක් ගන්න ගියාම ඔබතුමාලා මැදිහත් වෙන්න.

වාහනයක් ගන්න කොට එකඟතා ගිවිසුමක් දෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ඇයි මේ එකගතා ගිවිසුම දෙන්න බැරි? දෙන්න පුළුවන්. ඇයි දෙන්නෙ නැත්තෙ? මේ දුප්පත් මිනිසුන් හසු කරගන්න පුළුවන් පීඩාවකට. ඉංග්‍රීසි නොතේරෙන පාලකයෝ මේ රටේ ඉඳලා තියනවා.ඉංග්‍රීසි නොදන්නා මිනිස්සුන්ට ඉංග්‍රීසි පත්‍රිකාවක් දීලා, විනාඩි පහක් දහයක් ඇතුළත කියවන්නත් බෑ, කියවල තේරුම් ගන්නත් බෑ. ඒ නිසා මෙන්න මේ ලීසිං ආයතන කරන්නේ මේ වගේ හිස් කොල, කිසිම දෙයක් නැති හිස් කොළවලට අත්සන් ගන්නවා. අපි දන්නේ නෑ, අපි වාහනය ගන්න ආසාවට ඒ දේ කරනවා. අපිට කියනවා 9%යි, 13%යි පොලිය කියලා. අපි හිතෙනවා අපට මාසෙට ලැබෙන පඩිය සහ වාහනයෙන් කරන මේ රැකියාවෙන් අපිට ඒක ගෙවන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ලීස් කරලා ගන්නවා. නමුත් ගත්තට පස්සේ ඇතිවන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක මේ හිස්කෝලේ ඇතුලෙ සඳහන් වෙලා නෑ. නමුත් අපි ගියාට පස්සේ අපි අත්සන් කරනවා ඒ අය මේ කරුණු කාරණා කොලේට ඇතුළත් කරගෙන. අපි දන්නෙ නෑ අපේ ගේ ලියාගෙන ද, අපේ බිරිඳව ලියාගෙන ද කියලා.

ලීසිං ආයතන වාහනයක් ගන්න ගියාම ගෙදර ඉඩම, ඉඩමේ ඔප්පුව, තමන්ට තියෙන වත්කම ඒ සියල්ල දිහා බලලා ඒවා ඇපේට තියාගෙන මේ වාහනය දෙන්නේ. නමුත් මහ බැංකුවේ ලියා පදිංචි නැති විශාල ලීසිං සමාගම් මේ ඔප්පුව අරගන ඔවුන්ගේ නමට පවරාගෙන, ඉඩම් විකුණලා මිනිස්සුන්ට නඩු දාලා තියෙනවා. මිනිස්සුන්ට ගෙවල්වලින් යන්න වෙලා තියෙනවා. එනිසා මේ වෙනකොට මේ ලීසිං ප්‍රශ්නයක් නිසා ඔවුන්ට ලැජ්ජාවට අපහසුතාවයට පත්වෙලා ගෙවල්වලට, සමාජයට මුහුණදෙන්න බැරි නිසා මේවා වහගෙන හිටියට දරුවාට අධ්‍යාපනය දෙන්න විදිහක් නැතිවෙලා තියෙනවා, ගේ ඇතුලේ බත් වේල කන්න විදියක් නැති වෙලා තියෙනවා, පවුල් කැඩිලා තියෙනවා, ගෑනි පැනලා ගිහින් තියෙනවා, මිනිහා අසරණ වෙලා තියනවා. මෙන්න මේවට විසඳුම් දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.

රටේ පාලකයාව, මහ බංකුවේ අධිපතිව මේවට යොමු කරලා කරුණාකරලා මෙන්න මේ මිනිස්සුන්ට මේ සහනය ලබා දෙන්න කියලා කියන්නේ ඒකයි. වාහනයක් අරගෙන අවුරුදු පහක් ලීසින් වාර ගෙවාගෙන එනවා. අවුරුදු 5ක ගෙවන්න ඕන ලීසින් එක අපි අවුරුදු දෙක හමාරක් ලීසිං ගෙවලා. එහෙම ගෙවල තියෙද්දිත් වාරික 2කට වාහනේ උස්සගෙන යනවා. එතකොට ගෙවපු මුදලුත් නෑ, දුන්න මුදලුත් නෑ වානයක් අරන් ගිහිල්ලා, ඒක විකුණලා, නඩුවක් දානවා අර පුද්ගලයාට ආයෙ ජීවිතයට නැගිටින්න බැරිවෙන්න. සමහරවිට අවුරුදු පහ සම්පූර්ණ වෙලා මාස තුනයි තියෙන්නේ වාහනය සම්පූර්ණයෙන්ම හිමිකාරිත්වය අපට ගන්න. නමුත් අන්තිමේදී බලද්දි මාස තුනට වාහනය උස්සගෙන යනවා. මුළු අවුරුදු පහක් ගෙවපු මුදලම දාලා නඩු දානවා ඔහුට ගෙවා ගන්න බැරි වෙන විදියට ඒ තරම් ම අසරණ කරනවා.

මේවා ඇවිල්ලා ත්‍රස්තවාදීන්ට වඩා අන්ත, මේ රටේ අසරණ මිනිසුන්ගේ බොටුව මිරිකා කන මේ ලීසිං ආයතනවලට විරුද්ධව අපි ජන අරගලයක් ආරම්භ කරලා තියෙනවා ලබන මාසේ 6 වනදා, මහජන පුස්තකාලයේදී සහ ඒ ඉදිරිපිට ජනාධිපතිතුමාට පණිවිඩයක් දෙන්න මේ රටේ ලීසිං ගත්තු සියලුම පාරිභෝගිකයන් කැඳවලා, ඒ ලීසිං ආයතන කරන අපරාධ සහ මේ රටේ දුප්පත්කම තුරන් කරන්න ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ 225ට කිසිම ප්‍රශ්නයක් නෑ මේ ලීසිං අර්බුදය. ඒගොල්ලන්ට බඩගිනි දැනෙන්නෙත් නෑ. නමුත් අපි විඳින වේදනාව මධ්‍යයේ මේ දේශපාලනඥයන් ඔය ලීසිං සමාගම් වල කොටස් කරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොවුන් නිසියාකාරව ක්‍රමවත් වැඩපිළිවෙළක් ගෙන එන්නේ නැත්තෙ. ඔවුන්ට ඕන දුක් විදින මේ රටේ දුප්පත් අත්ත අසරණ මිනිස්සු ණයකාරයන් බවට පත් කරලා, හැමදාම ඔවුන්ට බලයට එන්න ඡන්ද ගන්න පුලුවන් මට්ටමක අපිව රඳවා ගන්නටයි.මහජනතාවට සේවය කරන්න පුළුවන් පාලකයෙක් පත්වෙලා ඉන්නවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අපි දන්නවා ජනාධිපතිතුමා හැම ආයතනයකට ගිහිල්ලා හොයා බලනවා වෙන අසාධාරනකම්. අපි කියනවා ජනාධිපතිතුමනි ඔබතුමාට මේ රටේ දුප්පත්කම නැති කරන්න ඕන්නං සැබෑ වුවමනාවක් තියෙනවා නම් මෙන්න මේ ලීසිං මාෆියාවෙන් අහිංසක මිනිස්සු බේරගන්න ඕන.

තව එකක් කියන්න ඕන ඔබතුමාලා දන්නවා ඇති මූල්‍ය සමාගම් කිහිපයක් එකතුවෙලා ගම ඇතුළට ගිහිල්ලා මේ ගමේ ඉන්න කාන්තාවන් පස් දෙනා පස් දෙනා එකතු කරලා ණය දෙනවා. මේ ණය දීමේදී, කාන්තාවන් ඔවුන්ගේ මහත්තයා හම්බකරන මුදල තමයි බිරිඳ ණයක් ගත්තත් ගෙවන්න ඕන. මේ මූල්‍ය සමාගම් වල ඉන්නවා ණය එකතු කරන මිනිස්සු. මේ අය කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා කියලා ඔබතුමාලා දන්නවද? කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා මෙම මුදල අය කර ගන්න ගියාට පස්සේ. ඔවුන්ට ගේ ඇතුලෙ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අරගත්ත මුදල ගෙවා ගන්න බැරි උනාම ඇතිවන පීඩනයට අර කාන්තාව යොමු කර ගන්නවා ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවය වෙනුවෙන්. ඒකට අපි කියනවා ලිංගික අල්ලස් ලබා ගැනීම කියලා. අපි කියනවා ඒ මුදල් ගන්න කාන්තාවන්ට සහ කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන්ට කරුණාකරලා ඔවුන්ට ණය ගන්න ඉඩ දෙන්න එපා. ඔවුන් ඔබගේ බිරිඳ අරගන්නවා ඒගොල්ලන්ගෙ ක්‍රීඩාව සඳහා. ඒ හින්ද අපි කියනවා කරුණාකරලා මේවට වගකියන්න ඕන පාලකය, මේකට වගකියන්න ඕන මහ බැංකු අධිපතිවරයා කියලා.

මේවට මැදිහත් නොවුණොත් මීට වඩා ජන අරගලයකට රට තල්ලු වෙලා යයි. අනිත් එක රටේ දුප්පත්කම නැති කරන්න නං යළි යළිත් අපි කියන්නේ ජනාධිපතිතුමාටත් ඔය ආයතන හැම එකටම යනවා වගේ කරුණාකරලා හොර මූල්‍ය ආයතන ටික ප්‍රසිද්ධ කරන්න. මේ මිනිස්සු ගනුදෙනු කරන්නේ තනිකරම වංචනික ආයතන එක්ක. ඒ වගේම රාජ්‍ය නොවන පෞද්ගලික, රටේ ලියාපදිංචි ලීසිං ආයතනත් රටේ මිනිස්සුන්ව සූරා කමින්, මුළාවට පත් කරලා තියෙන්නේ. මේ රටේ සියලුම ජනතාව බේරා ගන්න අපි ජනාධිපතිතුමාට බලකරනවා ලබන මාසේ 6 වනදා කරුණාකරලා මේකට සාධාරණයක් ඉටු කරන්න. මේ රටේ වෙන්වෙන පවුල් ප්‍රමාණය ඉතා විශාල වෙන්න පුළුවන්. එකෙන් දරුවා අතරමං වෙලා දරුවන්ට අධ්‍යාපනයක් නැති තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙන්න පුළුවන්. ඒවා වෙලාත් තියෙනවා. තවදුරටත් එය පුලුල් වෙන්න පුළුවන්. වහාම මේ රටේ බලධාරීන් ඒ සදහා මැදිහත් වෙන්න ඕන”.

-සුනිල් ජයවර්ධන මහතාගේ ප්‍රකාශයක් ඇසුරින් ලියන ලද්දකි-

චමනී දර්ශිකා

leave a reply