Breaking News

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය 2024

ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්යය අවශ්‍යතාවයකි.

ඡන්දහිමි නාමලේඛනයේ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වී ඇති සෑම පුද්ගලයෙකුම ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ ජනමත විචාරණ වලදී ඡන්දය දීමට සුදුසුකම් ලබයි.

මේ අනුව ජනතා පරමාධිපත්‍ය යටතට ගැනෙන ඡන්ද බලය සෑම පුරවැසියෙකුම සතු වූවත් එය ක්‍රියාත්මක කළ හැක්කේ ඔබගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇත්නම් පමණි.

2024 වර්ෂයට අදාළ සුදුසුකම්ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ මූලික අදියරේ කටයුතු මේ වනවිට අවසන්ව ඇත. ඒ අනුව 2024.04.09 වන දින සිට ඔබට අදාල ග්‍රාම නිලධාරී කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොස් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ඔබ සහ ඔබගේ පවුලේ අයවලුන් නිර්දේශ වීම ඇත්දැයි සොයා බැලීමේ හැකියාව පවතී. එමෙන්ම www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද මෙම තොරතුරු පරීක්ෂා කර බැලිය හැක. ඔබගේ නම හෝ පවුලේ අයෙකුගේ නම් නිර්දේශ වී නොමැති නම් ඒ සඳහා හිමිකම් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හෝ ඇතුලත්ව ඇති නමක් පිළිබඳ විරෝධතා ඇත්නම් ඒ සඳහා ද විරෝධතා ඉදිරිපත් කිරීමටද හැකියාව පවතී.

ඉදිරියේදී තීරණාත්මක මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු පරමාධිපත්‍ය බලය සැබෑ ලෙසම ක්‍රියාත්මක කල හැක්කේ ඡන්ද බලය හරහා වන බැවින් ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත්ව තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව පැෆ්රල් සංවිධානය අවධාරණය කර සිටී.

ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීම හා ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියකි, එමෙන්ම වගකීමකි. කරුණාකර මේ පිළිබඳව ඔබගේ පවුලේ සාමාජිකයින්, අසල්වැසියන්, හිතවතුන් වෘත්තීය සගයන්/සහායකයින් දැනුවත් කරන්න.

ඔබේ ඡන්දය රටේ අනාගතය තීන්දු කරයි.

විධායක අධ්‍යක්ෂ – රෝහණ හෙට්ටිආරච්චි

leave a reply