අපි මේ පාර අපේ Song Zone එකේ ආකෘතිය ටිකක් වෙනස් කරන්න හිතුවා. එක සින්දුවක් වෙනුවට සින්දු දෙකක් ගැන කතා කරන්න තීරණය කළා.
එකක් රන්ජන් රාමනායක කරපු අලුත් සින්දුව – ‘උන් ඔක්කොම යාළුවො මල්ලි”’
අනෙක ‘ඇත්ත ම අමු සින්දුව’ කියලා මුහුණු පොතේ ‘ෂෙයාර්’ වෙච්ච කේ.ජී.සමන් කුමාරගේ ‘පිටකවරෙ’ සින්දුවෙ රීමික්ස් එක.
මේ සින්දු දෙක ගැන කතා කරන්න හිතුවෙ මේ සින්දු දෙකේ තියෙන සමානකම් වගේ ම වෙනස්කම්වල තියෙන ආකර්ෂණශීලී බව නිසා.
සමානකම් විදියට ගත්තොත් මේ සින්දු දෙක ම අයිති වෙන්නෙ දේශපාලන විරෝධාකල්ප ගණයට. ඒක නිසා සින්දු දෙකේ ම තියෙන්නෙ දේශපාලනයට අදාළ අන්තර්ගතයක්. සින්දු දෙකෙන් ම මේ පවතින පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරලා නව ජීවිතයක් ඉල්ලා සිටිනවා.
රන්ජන්ගෙ සින්දුවෙ ඒ බලාපොරොත්තව ඍජුව ම ඇහෙනවා. ඒ මෙහෙම :
‘ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ
අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ
මල්ලී, අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ’
සමන් කුමාරගේ සින්දුවෙ ඒ තරම් ඍජුව ඒ ප්‍රාර්ථනාව ඇහෙන්නෙ නෑ තමයි. හැබැයි ඒ සින්දුවෙ හැම පදයක ම ඒ පැතුම ගැබ් වෙලා තියෙනවා.
සින්දු දෙකෙන් ම පශ්චාත් යටත්විජිත ලංකාවෙ තට්ටු මාරු දේශපාලනය විවේචනය කරනවා. එතැන දිත් රන්ජන්ගෙ සින්දුව ඒ කතාව කෙළින් ම කියලා දානවා. කොටින් ම රන්ජන් සින්දුවට දාන නමේ පවා ඒ ඇඟවුම ගැබ් වෙලා තියෙනවා – ‘උනුත් එක යි මුනුත් එක යි’
සමන් කුමාරගෙ සින්දුවෙ ඒ කතාවත් ඒ තරමට කෙළින් කියවෙන්නෙ නෑ.
‘සඳ මතින් එදා හාල් ගෙනත් දෙනව කිව්වෙ සිරිමා
ඇට අටක් දීලා ධර්මිෂ්ඨෙන් රාජ්‍යය කළෙ උතුමා
ඔය ටයර් සෑය හඳුන දුන්නෙ පියාණෝ ය පේමා
කොයි කාගෙත් හඬ පටවල් ගැන දන්නෙ රන්ජ රාමා’
මේ විදියට බැලුව ම මේ සින්දු දෙකේ මතු පිටින් පේන මාර සමානකමක් තියෙනවා. සින්දු දෙක ඇතුළෙ සමාන වස්තු විෂයක්, තේමාවක්, අරමුණක්, දෘෂ්ටියක් විතරක් නෙවෙයි සමාන වචන පවා හම්බ වෙනවා. සමන්ත බණ්ඩාරගේ සින්දුවෙ උඩ දක්වල තියෙන උද්ධෘතයේ රන්ජන් රාමනායකගෙ නම පවා භාවිත කරලා තියෙනව කියලා ඔයාලට නො පෙනෙන්න විදියක් නෑ.
හැබැයි ඒ අතරෙ ම මේ සින්දු දෙකේ පැහැදිලි වෙනස්කම් කීපයකුත් තියෙනවා.
මූලිකව ම අපට පේන වෙනස තියෙනන්නෙ සින්දු දෙක නිෂ්පාදනය කරලා තියෙන විදියෙ සහ තාක්ෂණික පැත්තෙ. එහෙම ගත්ත ම රන්ජන්ගෙ සින්දුව සෑහෙන මුදලක් වියදම් කරලා නිමා කරපු කටයුත්තක් බව පේනවා. පටිගත කිරීම හා රූපගත කිරීම් වගේ ම සංස්කරණයන්ට සෑහෙන අවධානයක් යොමු කරලා තියෙනවා.
මේ කොළම ලියන ලේඛකයා නම් රන්ජන්ගෙ සින්දුවෙ තියෙන ඒ ජනප්‍රිය ද්‍රවිඩ සිනමාරූපී ටච් එකට කැමතියි. ඒ විතරක් නෙවෙයි මේ ලේඛකයට නම් මේ සින්දුව දකිද්දි 80 – 90 දශකයේ ‘නොම්බර 17’, ‘මම යි රජා’ වගේ චිත්‍රපටවල ගීතත් මතක් වෙනවා.
රන්ජන් මේ සින්දුවෙ ගායනා කරනවට වඩා රඟපානවා කිව්වොත් තවත් හරි. චිත්‍රපටවල රඟපානවට වඩා හොඳට රන්ජන් මේ සින්දුවට ඕන ‘ඇක්ට්’ එක දෙනවා කියලා අපිට කියන්න පුළුවන්.
සමන් කුමාරගේ රීමික්ස් එක එහෙම නිෂ්පාදනයක් නෙවෙයි. ඒක මේ හිටි හැටියෙ හිතුණ ගමන් කරපු එකක්. රන්ජන් තරම් මහන්සි වෙලා කරපු එකකුත් නෙවෙයි. තනුව පවා වෙන සින්දුවකින් ගත්ත එකක්. ඒක නිසා රන්ජන්ගෙ සින්දුවෙ තියෙන ජනකාන්ත බව මේ සින්දුවෙ දකින්න ලැබෙන්නෙ නෑ.
එ වගේ ම රන්ජන්ගෙ සින්දුවෙන් ඇහෙන තනුව වගේ ම භාවය ටිකක් ප්‍රීතිමත් එකක්. ‘එක වල්ලේ පොල් ම තමයි’ වගේ තැනක රන්ජන් ඒ ප්‍රීතිදායක බව ටිකක් හාස්‍යජනක බවක් බවටත් පත් කර ගන්නවා. සමස්තයක් විදියට මුළු සින්දුවෙන් ම ඇහෙන්නෙ විනෝදබර බවක්. දේශපාලන ලෝකයේ මහා අපරාධ දාමයකට විරුද්ධ අදහස් තියෙන පද පෙළක් මේ වගේ විනෝදබර බවකින් ඉදිරිපත් වීම අපි නම් අවුලක් විදියට දකින්නෙත් නෑ. අනෙක රන්ජන් වගේ කෙනෙකුට තමන්ගෙ දේශපාලන විවේචනය, විනෝදයක් විදියට මිසක් විචාරයක් විදියට ඉදිරිපත් කරන්න තරම් විභවයකුත් නෑ.
‘ඇත්ත අමු සින්දුව’ කියලා හඳුන්වපු ‘රීමික්ස්’ එකේ තනුව ‘පිටකවරෙ’ තනුව ම වුණාට දැනෙන භාවය ඊට වඩා වෙනස්. ඒ සින්දුවෙත් හාස්‍යය ඇති තරමට තිබුණට රන්ජන්ගෙ සින්දුවට වඩා වගේ ම සංජීව ලෝන්ලියන්ස්ගෙ සින්දුවට වඩා ඒකෙ ආවේගය වැඩි යි. අමු ගතියත් එක්ක කළවං වෙච්ච තරහකින් ඒ සින්දුව කියන්නෙ. අර ‘අපෙ පපුව ඇතුළෙ චේ ගුවේරා මැරිලා කලක් බෝමා’ කියන තැන යි ‘අපි උන්ගෙ බණ කතා අසමින් මදුරුවන්ට තැලුවේ’ කියන තැන යි පොඩ්ඩක් ‘සූම්’ කරලා ඇහුවොත් මේක තේරෙයි.
අනෙක් එක තමයි රන්ජන්ගෙ සින්දුවෙ පද ලියලා තියෙන්නෙ රන්ජන් ම වුණාට රන්ජන් තමන්ගෙ සින්දුවට සමන් කුමාර තරම් ඇතුළු වෙන්නෙත් නෑ. ඒක බොහොම සැහැල්ලුවෙන් ඉවර වෙනවා. අන්තිමට කියන ගද්‍ය කොටසෙන් ඒ ඇඟට ගත්තෙ නැති ගතිය හොඳට තේරෙනවා.
‘විශ්වාස කරනව නම් විශ්වාස කරපල්ලා. නැත්නම් මට වැඩකුත් නෑ…’ එහෙම කියන රන්ජන් කාර් එකක නැඟලා යන්න සැරසෙනවා. සමන් කුමාරගෙ සින්දුවෙ අවසානය එහෙම නෙවෙයි.
ඒ පද ලිව්වෙ කවුද කියලා අපි දන්නෙ නැති වුණාට ඒ පද ඒ චූල ගායකයගෙ කටින් පිටවෙන්නෙ ඒවා තමන්ගෙ ම පද කියලා දැනෙන ස්වරයෙන්. තමන්ගෙ පද ගැන ඉතා ම විශ්වාසයක් වගේ ම වගකීමක් ඒ ගායකයට තියෙනවා. හඬේ ආවේගය පාලනය කරන විදියෙ විතරක් නෙවෙයි මේ ජන ගායකයා තමන්ගෙ සිරුර පවා සින්දුවෙ අර්ථය හා හැඟීම වෙනුවෙන් භාවිත කරනවා. අර ‘මදුරුවො මරන’ තැන ඒකට හොඳ ම උදාහරණයක් කියලා අපට හිතෙනවා. රන්ජන් වගේ කාර් එකක නැඟලා යනව වෙනුවට සින්දුව කියලා ඉවර වෙලා ඒක අහපු ශ්‍රාවකයෙකුගෙ ‘වාව්’ එකකට සංවේදී වෙන ඒ ගායකයා ‘කොහොමද ඒක…?’ කියලා අහගෙන පයින් ම කැමරාව ඉස්සරහින් අයින් වෙනවා.
සාහිත්‍යමය අර්ථයෙන් ගත්තම වුණත් අපි කියන මේ දෙවෙනි සින්දුව රන්ජන්ගෙ සින්දුවට වඩා ඉහළින් තියෙනවා කියලා අපිට හිතෙනවා. ‘පොළොවත් වැඩිය බර උන් ම යි අපිට ටටා කිව්වෙ’ කියන කොටස ගැන ටිකක් බරට කල්පනා කරන්න දෙයක් තියෙනවා කියලා අපිට හිතෙනවා. සමන් කුමාර දේශපාලන ඉතිහාසය ඉදිරිපත් කරන ආකාරයේ වුණත් යම් නිර්මාණශීලී ජීව ගුණයක් ඒ සින්දුවෙ තියෙනවා. ඇත්තට ම ගත්ත ම සංජීවගෙ සින්දුවටත් වඩා මේ පදවල අමු ගතියකු යි දේශපාලන නම්නතාවයකුයි (tredency) දකින්න ලැබෙනවා. දෘෂ්ටිමය පැත්තෙන් වුණත් මේ සින්දුව රන්ජන්ගෙයි සංජීව ලෝලියන්ස්ගෙ යි සින්දුවලට වඩා උඩින් තියෙනවා කියලා කියන්න පුළුවන්.
හැබැයි මේක ලිව්වෙ රන්ජන්ගෙ සින්දුවට වඩා අනෙක් සින්දුව මාරයි කියන්න නෙවෙයි. ඒ වුණත් මහේශාක්‍ය වැඩ කරන්න බැරි නම් ඉන්න තැන ඉඳගෙන මෙහෙම හරි පුළුවන් විදියට මේ අධිපති දේශපාලන ක්‍රමය චාටර් කරලා දාන එක වටින බව නම් නො කියා මේ කොළම අවසන් කරන්න හිතෙන්නෙ නෑ.
රංජන්ගේ සින්දුව
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලී
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන් නෑ මුං මල්ලී
වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ….
කෝච්චිවල මාල කඩපු හොර තක්කඩියෝ
මෙච්චර කල් නීති හැදුවේ මෙවැනි අපතයෝ
මල්ලි, මෙච්චර කල් නීති හැදුවේ මෙවැනි අපතයෝ…
බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ දිනෙව්වේ
ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාළේ
අල්ලලා හොරු ගිල්ලමු අපි දියවන්නාවේ
මල්ලි, අල්ලලා හොරු ගිල්ලමු අපි දියවන්නාවේ
සමන් කුමාරගේ සින්දුව
අපෙ නාහෙ විදලා ඇසුත් වහලා මෙච්චර කල් දිනුවෙ
දියවන්නා ඔය මැද්දෙ ඉඳන් ඩබල් බල්ටි ගැහුවෙ
පන්සීය පනස් ජාතකයේ නොමැති බණයි දෙසුවේ
පොළොවටත් වැඩිය බර උන්මයි අපිට ටටා කිව්වෙ
ඔය පිටුව පෙරලුවට ගීතා පොත පෙන්නුවෙ දමිතා
මෙ නටුව දන්නෙ මල්වල සැර නැද්ද මැඩම් ඩයනා
ඒ කටුව දැකලා කතිරෙ ගහලා අපිට තාම කෝමා
මේ පපුව ඇතුළෙ චේ ගුවේරා මැරිලා කලක් බෝමා
සඳ මතින් එදා හාල් ගෙනත් දෙනවා කිව්වෙ සිරිමා
ඇට අටක් දීලා දර්මිස්ටෙන් රාජ්ජෙ කළෙ උතුමා
ඔය ටයර් සෑය හඳුනා දුන්නෙ පියාණෝය පේමා
කොයි කාගෙත් හඬ පටවල් ගැන දන්නෙ රංජ රාමා
දඬු මොණරෙ නැගී ඉගිලිලා විත් පොළොවට දණ ගැහුවෙ
මහ රජා මමයි ප්‍රභා මැරූ හරි සද්දෙට කීවේ
උන් පරම්පරා හතක විතර අපේ රුහිරු බිව්වේ
අපි උන්ගෙ බණ කතා අසමින් මදුරුවන්ට තැලුවේ
උපුටා ගැනීම රළ අතිරේකය