Breaking News

අදානිගේ සුළං බලාගාරයට ශ්‍රී ලංකාවේ වැදගත්ම සංක්‍රමණික පක්ෂි නවාතැන්පොළ බිලිදෙමුද?

සුපුන් ළහිරු ප්‍රකාශ්

මන්නාරම කියූ පමණින්ම බොහෝ දෙනෙකුට සියක්කාරයින් සිහියට නැගීම විමතියට කරුණක් නොවේ. ඒ සැබැවින්ම සියක්කාරයින් ඇතුළු විශාල සංචාරක පක්ෂි පිරිවරක් සෑම වසරකම මන්නාරම් පියස්සෙන් මේ කුඩා දිවයිනට ඇතුළුවන බැවිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් මන්නාරමේම නවාතැන් ගන්නා අතර තවත් පිරිසක් දිවයින පුරා සංචාරය කරමින් මෙම කුඩා දිවයින සංචාරක පක්ෂි පාරාදීසයක් බවට පත් කරති. නමුත් මන්නාරම් දූපතේ ඉන්දියාවේ, අදානි සමාගමට සම්බන්ධ අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා මගින් ඉදිකිරීමට යෝජිත මෙගා වොට් 250 සුළං විදුලි බලාගාරය යථාර්ථයක් බවට පත්වුව හොත් එය අප ඉහත කී විහඟ පාරාදීසයේ දොරටුව වසා දැමීමක් බව පක්ෂි විද්‍යාඥයින් අනතුරු අඟවති.

මන්නාරම යනු මුහුදු සේද මාවත සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ මාර්ගය සම්බන්ධ දිගු අතීතයකට දිවෙන ශ්‍රී ලංකාවේ පැරණිතම නගරවලින් එකකි. ශ්‍රී ලංකාවේ සංක්‍රමණික පක්ෂීන් සඳහා වඩාත් වැදගත් ශීත සෘතු නවාතැන්පොළ ද එයයි. රටවල් තිහක් ආවරණය කරන මධ්‍යම ආසියානු පියාසර මාර්ගයේ (Central Asian Flyway) දකුණු දෙසින් පිහිටි අවසන් ගමනාන්තය වන ශ්‍රී ලංකාව වාර්ෂිකව සංක්‍රමණික පක්ෂීන් විශේෂ 250 කට අයත් මිලියන 15ක් පමණ වන පක්ෂීන් සඳහා වැදගත් ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර එය ගෝලීය පක්ෂි සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් ගමනාන්තයකි. ඒ අතරින් මන්නාරම විශේෂ 150 කින් සමන්විත පක්ෂීන් මිලියනයකට පමණ තීරනාත්මක ශීත ඍතු භූමියක් ලෙස ක්‍රියා කරන අතර තර්ජනයට ලක් වූ පක්ෂීන් විශේෂ 26 ක් සඳහා අභිජනන වාසස්ථාන සපයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ CAF-Sri Lanka Waterbird Tracking ව්‍යාපෘතියේ ප්‍රතික්ෂේප කළ නොහැකි විද්‍යාත්මක සාක්ෂි මගින් මන්නාරම සංක්‍රමණික පක්ෂීන් සඳහා තීරණාත්මක ඇතුල්වීමේ/පිටවීමේ දොරටුවක් බව අවධාරණය කරයි. මෙරට රජය මගින් නම් කරන ලද රක්ෂිත ප්‍රදේශ (ආදම්ගේ පාලම ජාතික උද්‍යානය, වන්කාලෙයි අභයභූමිය (රම්සා තෙත්බිම) සහ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය) සහ සංක්‍රමණික විශේෂ පිළිබඳ සම්මුතිය (United Nations Convention of Migratory Species), ජෛව විවිධත්ව සම්මුතිය හා රැම්සා සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුතීන් හරහා මන්නාරමේ පාරිසරික වැදගත්කම හඳුනා ගෙන ඇත.

නමුත් යෝජිත මෙගා වොට් 250 මන්නාරම් සුළං බල ව්‍යාපෘතිය (අදියර II) පාරිසරික හා ආර්ථික සමතුලිතතාවයට සැලකිය යුතු අවදානමක් ඇති කරයි, බලපෑම් මන්නාරමේ සිට යාල, සිංහරාජය සහ හෝටන් තැන්න වැනි පුළුල් ප්‍රදේශ රැසක් පුරා පැතිරේ. පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා ( Environmental Impact Assessment Report) සැකසිය යුත්තේ සැබෑ තත්වය හඳුනා ගැනීමට මිස, සංවර්ධන ව්‍යාපෘති යුක්ති සහගත කිරීමට නොවේ. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා සිදු කරන ලද පාරිසරික බලපෑම් තක්සේරුව මන්නාරමේ පාරිසරික, සමාජීය සහ සංස්කෘතික වටිනාකම් අවප්‍රමාණය කරන අතර එහි ප්‍රධාන දුර්වලතා ගණනාවක් නිරීක්ෂණය වන බව පරිසරවේදීන් සහ පර්යේෂකයින් අවධාරණය කරයි.

පාරිසරික බලපෑම් තක්සේරුව ශ්‍රී ලංකාවේ නීති උල්ලංඝණය කරමින් අසම්පූර්ණ යොමු කොන්දේසි මත පදනම්ව සිදු කර ඇති අතර ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබාගැනීමේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥතාව පිළිබඳ අධීක්ෂණයේ අඩුපාඩු පවතී. වාර්තාව සැකසීම සඳහා සිදුකර ඇති සත්ත්ව අධ්‍යයන සඳහා යොදාගෙන ඇති ක්‍රමවේදවලද ගැටළු පවතී. තීරනාත්මක සංක්‍රමණික කාල පරිච්ඡේද නොසලකා හරිමින් කුරුළු නිරීක්ෂණ සිදුකිරීම, ඝට්ටන අවදානම් තක්සේරු කිරීමේ දෝෂ, පවතින උසස් පක්ෂි අධ්‍යයන දත්ත භාවිතා නොකර යල් පැන ගිය ක්‍රම භාවිතා කිරීම, පක්ෂි චලන රටා පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් සහ විද්‍යාත්මක සොයාගැනීම් නොසලකා හැරීම හා විද්‍යාත්මක පදනමකින් හෝ පවතින දත්ත සලකා බැලීමකින් තොරව සංක්‍රමණ කොරිඩෝවක් අත්තනෝමතික ලෙස යෝජනා කිරීම ඒ අතර වේ. වාර්තාවෙන් යෝජනා කර ඇති ආරක්ෂිත ප්‍රදේශ අතර වන එම කොරිඩෝව, මිලියන ගණනක් වූ පර්යටන පක්ෂීන් සඳහා පහසුකම් සපයා දීමට අසමත් තර්කානකූල නොවන යෝජනාවකි. තවද එම වාර්තාවෙන් ම පිළිගන්නා ආකාරයට එම කොරිඩෝව යෝජනා කර ඇත්තේ, එය සුළං බලාගාර පිහිටි ප්‍රදේශයෙන් මදක් එපිටින් පිහිටීම යන සාධකය පමණක් සැලකිල්ලට ගෙන මිස වෙනත් කිසිදු විද්‍යානුකූල සාක්ෂියක් සලකා බලා නොවේ.

මන්නාරමේ ජනතාවට එල්ලවන සෘජු හා වක්‍ර බලපෑම් පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම හා විශේෂයෙන් ගංවතුර බලපෑම් පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම සහ පර්යේෂකයන් සමඟ ප්‍රමාණවත් තරම් කටයුතු නොකිරීම තවත් ගැටලුවකි. ව්‍යාපෘති ස්ථාන අතිච්ඡාදනය වීම සහ පාරිසරික වශයෙන් සංවේදී ආරක්ෂිත ප්‍රදේශ අතර ඇති මංකඩ අවහිර කිරීම මෙන්ම සැලකිය යුතු කැණීම් සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ උපදේශන ලබා නොගැනීමද විමතිය දනවයි. එසේම අඩු පාරිසරික බලපෑම් සහිත විකල්ප ස්ථාන පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම මෙහි ඇති ප්‍රධාන දෝෂයකි.

හරිත බලශක්තිය අනාගතය සඳහා ඉතා වැදගත් වේ. නමුත් හරිත බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමේදී එමගින් ශ්‍රී ලංකාවට පාරිසරික, සමාජීය සහ ආර්ථික පාඩු අවම වන ආකාරයෙන් ඒවා සිදු කිරීමට උපාය මාර්ගික පාරිසරික ඇගයීම් (Strategic Environmental Assessment) අවශ්‍ය වේ. AVISTEP වැනි මෙවලම් භාවිතා කිරීම පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ ආරක්ෂා කර ගනිමින් බලශක්ති ඉල්ලුම සපුරාලීමට උපකාරී වේ.

මෙම ව්‍යාපෘතියට අවසර ලැබුණහොත් ශ්‍රී ලංකා භූමියේ ඇති අපගේම සුළං සම්පත් භාවිතා කරමින්, මෙම විදේශීය ආයෝජකයින් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය මගින් ජනනය කරන ‘හරිත’ බලශක්තිය ශ්‍රී ලංකාවට මිලදී ගැනීමට සිදුවේ. වසර 25 ක් සඳහා වෙළඳපල මිලට වඩා වැඩි මිලකට, එක්සත් ජනපද ඩොලර් වලින් ගෙවීම් සිදුකළ යුතුය. උක්ත ව්‍යාපෘතිය හරහා ජනනය කිරීමට අපේක්ෂා කරන විදුලි බලය ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීම සඳහා මෙරට රජය සමග අදාළ සමාගම ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව එම විදුලි ඒකකයක් වෙනුවෙන් මෙරට රජය ගෙවීමට සැලසුම්කර ඇති මුදල ඉන්දියාවේ විදුලි ඒකකයකට එකී සමාගම අය කරන මිල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි බව දැනගන්නට ලැබේ. ඒ අනුව මෙරට බලශක්ති මිල ගණන් අඛණ්ඩව කලාපයේ අනෙකුත් රටවලට වඩා ඉහළ මට්ටටම පවතිනු ඇති අතර එය ආයෝජන අධෛර්යමත් කිරීමටත්, ගෘහස්ථ විදුලි බිල දාරගත නොහැකි මට්ටමක පැවතීමටත් හේතු වේ.

එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකර අදාළ ව්‍යාපෘතිය යෝජිත ස්වරූපයෙන් ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවා, එය රටට වඩාත් හිතකර කොන්දේසි සහ එකඟතා සහිත ගිවිසුමක් යටතේ සුදුසු විකල්ප භූමියක මහජන මත විමසුමක් හරහා කරුණු විමසා සිදුකිරීම මධ්‍යම පරිසර අධිකාරියේ මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේම යුතුකම සහ වගකීම වන්නේය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

මෙම ව්‍යාපෘතියට අදාළ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව 2024 මාර්තු 6 වනදා දක්වා මහජන අදහස් සඳහා විවෘතව පවතින අතර, සැලකිලිමත් පුරවැසියන්ට එම වාර්තාව පිළිබඳව අදහස් දැක්විය හැක. අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, බත්තරමුල්ල (dg@cea.lk, පිටපත් කිරීම gamage@cea.lk සහ nilmini@cea.lk) වෙත අදහස් ඉදිරිපත් කළ යුතුය. සම්පූර්ණ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව පහත දිගුව මගින් බාගත හැකිය (https://www.cea.lk/web/?option=com_content&view=article&layout=edit&id=173).

leave a reply