Breaking News

විදුලි වියදම් හැංගීම බිල සොච්චමකින් අඩු කිරීමේ උප්පරවැට්ටියක්ද ?

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් අතර අද පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ අතර පසුව අවශ්‍ය සම්පූර්ණ දත්ත සපයන ලෙස කොමිසමේ නිලධාරීන් විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව පැවසේ.

මෙම වසරේ විදුලි සැපයුමට සම්බන්ධ වියදම් පිළිබඳ දත්තවල ගැටලු තව දුරටත් පැවතීම මෙම තත්වයට හේතුවයි.

මහජන උපයෝගිතා කොමිසම මීට පෙර ද විදුලිබල මණ්ඩලයට සම්පූර්ණ දත්ත යොමු කරන ලෙස දැනුම් දී තිබුණි.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික ඩග්ලස් නානායක්කා පැවසුවේ මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල විස්තර අඩු බවත් ඒවා දින කීපයකදී යොමුකරන්නේ යැයි මණ්ඩලයේ නිලධාරීන් පැවසූ බවත්ය.

එම දත්ත ලැබුණු පසු විදුලි ගාස්තු එක් එක් කාණ්ඩයට අඩුවන ප්‍රතිශතය තීරණය කරන බවත් ඩග්ලස් නානායක්කා වැඩි දුරටත් කීය.

විදුලි බල මණ්ඩල පනත අනුව විදුලි බිල තීරණය කළ හැක්කේ පිරිවැයට අනුකුලවයි. එසේම විදුලි බිල වැඩිකිරීමේදී ආණ්ඩුව පැවසුවේ එම මිල වැඩිවීම පිරිවැයට අනුකූල වන බවයි. නමුත් එම වැඩිවීම විදුලි නිෂ්පාදන වියදම් ඉක්මවා යන්නක් බව පසුව හෙළිවිය. ආණ්ඩුව විදුලි බිල අඩුකිරීමට අදාළව 2024 ජනවාරි මාසයේ මහජන උපයෝගීතා කොමිසමට යැවූ වාර්තාවේ වැරදි සංඛ්‍යා ලේඛණ සහිතව ඉදිරිපත් කර තිබීම සහ 2023 වසරට සාපේක්ෂව පිරිවැය ඉතා වැඩියෙන් දක්වා තිබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය. එම දත්ත වැරදි බවත් විදුලි බල මණ්ඩලය ලබමින් සිටින ලාභ බැලීමේදී ආණ්ඩුව කියන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලිය අඩු කළ හැකි බවත් එම පාර්ශව පෙන්වා දී තිබුණි.

දැන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ඇත්ත දත්ත නිසි පරිදි හෙලිකිරිමකින් තොරව ඉතා සොච්චම් ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමටද යන සැකය මතුවේ.

leave a reply