Breaking News

සිතන්නට යමක් – 07

AABN

ඔබට, ඔබ පිළිබඳව, ඔබේ පැවැත්ම හා ගතිගුණ පිළිබඳව සෑහීමකට පත්විය හැකිද?

සරලවම ඔබ පිළිබඳව ඔබට සතුටුවිය හැකිද?

මෙය අප බොහෝ විට නොසිතන, නොසලකන පැතිකඩකි. සෑමවිටම අප වෙනුවෙන් සමාජයෙන් ඉටු විය යුතු යුතුකම් වගකීම් පිළිබඳව සොයනු තැවෙනු විනා අපෙන් සමාජයට ඉටු විය යුතු යුතුකම් වගකීම් පිළිබඳව කතා නොකරන්නෙමු.

සරල උදාහරණයක් ලෙස ඔබ කරන රැකියාව පිළිබඳව සිතන්න, රැකියාවේ යෙදීමෙන් ඔබට ලැබිය යුතු වැටුප් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් ඔබට දැනෙන හැඟීම ඒ වෙනුවෙන් ඔබගේ යුතුකම් සහ වගකීම් ඉටු කිරීමේදී දැනෙනවාද? නියමිත වේලාවට රැකියා ස්ථානයේ රැඳීමේ පටන් පිටවුම සටහන් කරන මොහොත දක්වා ඔබ ඔබේ සිතට අවංකව රාජකාරිය ඉටු කරන්නෙක් නම් සැබැවින්ම ඔබට හිස නමා ආචාර කරමි.

එහෙත් එම ආචාරය හිමි අය සිටින්නේ අතලොස්සක් පමණක් බව අප පිළිගත යුතු සත්‍යයකි. මෙය හුදෙක් එක් උදාහරණයක් පමණි.

යුතුකම් වගකීම් අතර අපගේ ආචාර ධර්ම වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නමුත් පොත්පත්වලට සීමාවූ වචනාර්ථ බවට පත්වූ ආචාරධර්ම අප මුල සිටම හැදෑරිය යුතු තත්ත්වය දක්වාම පිරිහී ඇති බව ඔබට මට අමුතුවෙන් කිව යුතු නැත.

එහෙත්, එය නිවැරදි කිරීමට වැඩිහිටි ජනගහනය ඉලක්ක කරගත් දැනුවත් කිරීම් කොතෙක් කළද, එය නිශ්ඵලය. ගසක් වුව එහි ඇද පලුදු සැකසිය යුත්තේ පැළෑටි අවදියේ මිස අටුවන් බැසගත් පසු නොවේ.

නිවැරදි මාවතකට අවතීර්ණ වීමට නම් අප ළමා පරපුර වෙත නිවැරදි දේ දිය යුතුය. කටපාඩම් කර පිටපත් කරන තරඟයට වඩා ජීවිතයට ගුණධර්ම අත්‍යවශ්‍ය බව ළපටි සිත්වලට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ යුතුය.

එසේ නොවුනහොත් අපට ඉතිරිවන්නේ දැනුමෙන් පොහොසත් ගුණධර්ම වලින් දුප්පත් පරපුරකි. පාසල් සහ දහම් පාසල් අධ්‍යාපනය තුළ ගුණධර්ම වර්ධනය සහ සහකම්පනය පිළිබඳව දරුවන් දැනුවත් කළ යුතුය. වඩා වටින්නේ ගුණධර්ම වලින් හෙබි දරුවා මිස කෙසේ හෝ පන්තියේ පළමුවැනියා වන කෙනා නොවන බව අවබෝධ කරවිය යුතුය.

එසේ නම්, මෙම තත්ත්වය තව දුරටත් නරක අතට හැරී අනාගතයේ සිත් පිත් නැති යාන්ත්‍රික ජීවීන්ගෙන් සැදුම් ලත් සමාජයක් බිහිකිරීමට දායක වනවාද?
එසේත් නැත්නම් මදක් නැවතී මේ පිළිබඳව සිතනවාද?

 

leave a reply