Breaking News

රෝහල්වෙත පැමිණෙන දරුවන් අතරින් බහුතරයකට මන්දපෝෂණය

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පසුගිය මාස දෙකේදී ඇතුළත් කළ දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව එම රෝහල සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි අද ජාතික පුවත්පත් වාර්තා කර තිබේ. ඒ බව සනාථ කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසන්නේ නාගරික පවුල්වලින් පහෙන් හතරක් එක වේලකට ආහාරයට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරගෙන ඇති අතර බොහෝ පිරිසක් ආහාර වේල් මගහරිමින් ඇති බව නවතම තොරතුරුවලින් හෙළිවී ඇති බවයි.

දුප්පත්ම ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනකට තවදුරටත් ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගත නොහැකි බව පවසන අතර, ඉහළ නිලධාරියෙක් “ඉදිරි සති කිහිපය තුළ තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි” බිය පළ කර තිබේ.

දරුවන්ට නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර නොලැබීම හේතුවෙන් රිජ්වේ රෝහලට එන දරුවන්ගෙන් බහුතරයක් සාමාන්‍ය මන්දපෝෂණය, අධි මන්දපෝෂණය වැනි මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් පෙළෙන බව ද හඳුනාගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් අඩකගේ පමණ කුස ඉදිරියට නෙරා ඒමක් දක්නට ලැබෙන බව ද මීට අමතරව තවත් දරුවන් පිරිසකගේ බර අඩු වී කෙට්ටුවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බව ද එය එක්තරා මන්දපෝෂණ තත්ත්වයක් බව ද අනාවරණය වී ඇත.

පසුගිය වසරේ රෝහල වෙත ඇතුළත් කෙරුණු දරුවන්ගෙන් 100 දෙනෙකු පමණ දියවැඩියා රෝගයෙන් පෙළුණු බවද තවත් දරුවන් 900කට පමණ පිළිකා රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් බව ද එම රෝහලේ ළමා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කර ඇත.

නියමිත පෝෂ්‍යදායී ආහාර නොලැබීම මෙන් ම, පසුගිය වසර දෙකක තුනක කාලය තුළ පාසල් වසා තැබීමෙන් දරුවන්ගේ මානසිකත්වය පහළ වැටී තිබීමත් මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද වෛද්‍යවරයා පැවසීය.

කෙටි ආහාර වර්ග හා පැණි බීම ලබා නොදී පෙර පරිදි පෝෂ්‍යදායි ආහාර දරුවන්ට ලබාදී ඔවුන්ව ක්‍රියාකාරකම්වල යෙදවීමට මවුපියන් හැකි හැම උත්සාහයක් ම දැරිය යුතු බව ද ළමා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් දරුවන් බේරා නොගතහොත් අනාගතයේදී ඔවුන්ගේ මොළයේ වර්ධනය අඩු වී බුද්ධි මට්ටම පහළ යාමේ අවදානමක් පවතින බව ද කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගියදා පැවති අයවැය හරහා භාණ්ඩ හා සේවා මත පනවා ඇති වැට් බද්ද 12% සිට 15% දක්වා ඉහළ නංවනු ලැබිණි. ඒ අනුව තවදුරටත් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යනු ඇත. ඊට අමතරව විදුලිය, ජලය වැනි සේවා ගාස්තුද ඉහළ යනු ඇත. මෙවැනි තත්ත්වයක් හමුවේ තවදුරටත් ආහාර සඳහා කළ හැකි වියදම සීමා කිරීමට ජනතාවට සිදුවෙනු ඇත.

leave a reply