Breaking News

ජෛව බුබුල බොරුවක්, ආර්ථිකය වෙනුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් ජීවිතවලින් වන්දි ගෙවනවා – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

වසංගතය තුළ ආර්ථිකය පවත්වා ගැනීම වෙනුවෙන් අපේ රටේ ඇඟලුම් කම්හල්වල සහෝදර සහෝදරියන් ජීවිතවලින් වන්දි ගෙවමින් සිටින බවත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසයි. ඇය මේ බව පැවසුවේ අද දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හේමමාලි වැඩිදුරටත් පැවසුවේ,

“වසංගත තත්ත්වය ඇතුලේ ලංකාවේ ආයෝජන කළාපවල ලක්ෂ සංඛ්‍යාත සහෝදර සහෝදරියන් ප්‍රමාණයක් තමන්ගේ රැකියාවල නියුක්ත වෙලා ඉන්නවා. ආණ්ඩුව කියමින් ඉන්නවා ආර්ථිකය පවත්වා ගත යුතුයි කියලා. නමුත් වැඩකරන මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා නම් මේ ආර්ථිකය පවත්වාගෙන යන්නෙ ඒකෙ ගැටළුවක් තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ ලංකාවේ එකම අදායම් මාර්ගය බවට පත්වෙලා තියෙන්නෙ ඇගලුම්. අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජිවිතේ බිල්ලට දීලා මේක පවත්වාගෙන යන්න පාලකයෝ සමාගම් අයිතිකරුවෝ එක්ක සම්බන්ධ වෙලා වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. ජෛව බුබුල කේන්ද්‍ර කරගෙන මේ වැඩපිළවෙල ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ජෛව බුබුල සංකල්පය ක්‍රියාත්මක කරනවා නම් මේ සේවක සේවිකවන්ව එක නේවාසිකාගාරයක තියාගන්න ඕනා. ආහාර ලබාගැනීමේදී , නිදාගැනීමේදී වෙන්කරලා තියන්න ඕනා. නැවත එකම වාහනයක ආයතනයට ගේන්න ඕනා. නමුත් මේ ආයතනවල වැඩකරන අය වැඩට එන්නේ ගෙවල්වල ඉඳලා. නැත්තම් තමන්ගේ බෝඩිමක ඉඳලා. ඒ නිසා වසංගතය එළියේ ඉඳන් ඇතුළට යනවා ඇතුලේ ඉදන් එලියට එනවා. ඒ නිසා දහස් ගණනක් සහෝදර සහෝදරියෝ මේ කියන වසංගතයට ගොදුරු වෙමින් ඉන්නවා. මේ වෙනකොට ඇඟලුම් කම්හල්වල සහෝදර සහෝදරියන් ජීවිතවලින් වන්දි ගෙවමින් ඉන්නවා. පසුගියදා හංවැල්ල ලීනියා ඇක්වා සමාගමේ සුරංග කියලා සහෝදරයෙක් කොවිඩ් ආසදිතව මිය ගියා. පන්නල ස්ලිම් ලයින් ආයතනයේ වැඩකරපු ජානකී කියන ගැබිණි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මිය යනවා. මේ ආයතනයේම වැඩකරපු ශර්මිලා දමයන්ති කියලා සහෝදරියක් මැයි 10 මිය යනවා. ස්ලිම් ලයින් එකේම අවුරුදු 48ක ෂෙල්ටන් ජයරත්න කියන සහෝදරයා මිය යනවා. පානදුර යුනිචෙලා ආයතනයේ වයස අවුරුදු 32ක දෙදරු මවක් මිය ගිහින් තියෙනවා. කොග්ගල ස්ටාර් ගාමන්ට් එකේ විදුලි කාර්මිකයෙක් කොව්ඩ් ආසාදිතය මියගිහින් තියෙනවා.මේ මරණ කිහිපයක් විතරයි. මිනිහෙක් රැකියාවක් කරන්නෙ ජීවත්වෙන්න. හැබැයි දැන් අපේ රටේ ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩකරන මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා ජීවිතය වෙනුවට මරණය තෝරාගන්න. වසංගතය ඇතුලේ මිනිහෙකුට අවශ්‍ය කරන අවම පහසුකමවත් සලසන්නේ නැතුව කිසිම ජීවිත සුරක්ෂිතතාවයක් නැතුව වැඩකරන සහෝදර සහෝදරයෝ ගැන කවුද වග කියන්නෙ? මාස් හෝල්ඩින් ආයතනයේ මානව සම්පත් අංශයේ වැඩකරන දරුවන් සිටින සහෝදරයෝ මම දරුවෙකුට කිරි දෙන අම්මා කෙනෙක් මාව වැඩට කැඳවන්න එපා කියද්දීත් සමාගම් පාලකයෝ කියන්නෙ එහෙනම් තාත්තාවත් නිදහස් කරන්න ඕනා කියලා. මිනිස් ජීවිත අදාළ නෑ. ආණ්ඩුවට මේ සමාගම්වලට මේ වෙලාවෙ වැදගත්වෙලා තියෙන්නෙ සල්ලි.

නුවරඑළියේ ස්ටාර් ගාමන්ට් එකේ 180ක් කොවිඩ් ආසදිතයෝ බවට පත්වෙලා. නෙක්ස්ට් ආයතනයේ 100ක්, කටුනායක පොලිටෙක්ස් ආයතනයේ 100ක්, හොරණ බොඩිලයින් ආයතනයේ 1400ක්, යුනිචෙලා ගාර්මන්ට් එකේ 450ක්, මන්චි ආයතනයේ 100ක්, හඟුරන්කෙත ඇපරල් ආයතනයේ 100ක්, කටුනායක ඉසබෙලා ප්‍රයිවට් ආයතනයේ 120ක්, ක්‍රිස්ටල් මාර්ටින් එකේ 100ක්, කොග්ගල ස්ටාර් ගාර්මන්ට් එකේ 300ක් , කටුනායක ෂඩෝ ලයින් එකේ 200ක් වශයෙන් විවිධ සමාගම්වල දැනට අසදිතයෝ වාර්තා වෙලා තියෙනවා. මේ වාර්තා වෙන ප්‍රමාණය විතරයි. වාර්තා නොවෙන ආසදිතයෝ මරණ දහස් ගණනක් මේ වෙලාවෙ ඇති.

අවම වශයන් මේ කරමාන්තශාලාවල වැඩකරන සහෝදර සහෝදරියන්ට එන්නතවත් දෙන්න මේ පාලකයෝ මැදිහත්වෙන්නේ නැහැ. ඔවුන්ව වැඩට කැඳවනවානම් ඔවුන්ට පළමු පැයේදීම එන්නත ලබාදිය යුතුයි. ආයතනය ඇතුලේ සෞඛ්‍ය ක්‍රමවේදයක් හදන්න ඕනා. එහෙම හදන්නේ නැතුව ඔවුන්ව වැඩට කැඳවලා ඔවුන්ව මරණය කැඳවන මේ වගේ පාලනයක් අපිට මොකටද? සමහර සහෝදර සහෝදරියෝ ඉන්නවා තමන් ඉන්න කාමරේ ඇතුලේ කොවිඩ් ආසාදිතවෙලා කන්න බොන්න නැතුව. අපි එක පැත්තකින් සමාගම් අයිතිකරුවන්ට බලකරනවා තමන් ගොඩගහගෙන තියෙන ලාභ කඳු මේ වෙලාවේ හොල්ලන්න. අවම වශයෙන් කොවිඩ් ආසදිතව සිටින එහෙම නැත්තම් මරණයට කැපවී වැඩකරමින් ඉන්න සහෝදර සහෝදරියන්ගේ ජීවිතවල සුරක්ෂිතතාවය තහවුරු කරන්න. අවම වශයෙන් ඔවුන්ට මාස 3ක වැටුපවත් ලබාදීලා ඔවුන්ව ගෙවල්වල රඳවලා කර්මාන්තශාලා වහලා දාන්න. ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය වගේ රටවල් මේ වෙලාවෙ තමන්ගේ ආර්ථිකය නගා සිටුවන්න අවශ්‍ය වැඩපිළිවෙල දියත් කරන්නෙ තමන්ගේ රටේ වැඩකරන මිනිස්සුන්ගේ ජිවිත බිල්ලට දීලා. අපි සමාගම්වලට බලකරනවා කොවිඩ් ආසදිතවූ සියලු දෙනාට නිවාඩු අනුමත කරන්න කියලා. ඒ වගේම ආණ්ඩුවට ඒ බලකිරීම කරනවා. එකපැත්තකින් සමාගම් අයිතිකරුවෝ කියනවා ආණ්ඩුව අපිට කියලා නැහැ ආණ්ඩුව කිව්වොත් අපිට වහන්න පුළුවන් කියලා. මේ දෙගොල්ලන්ටම අපි කියන්නෙ මේ මිනිස්සුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න අවශ්‍ය කරන සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් හදන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ මිනිස්සු රැකියාවේ යොදවාගෙන කිසිම සෞඛ්‍යාරක්ෂිත පහසුකමක් නැතුව ඒ අයගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන සමාගම්වලට කියනවා තමන්ගේ ලාභයෙන් මේගොල්ලන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න අවශ්‍යකරන වගකීම් සහගත මැදිහත්වීමක් කරන්න කියලා.

අනෙක් පැත්තෙන් අපි දකිනවා මේ වෙලාවේ ක්ෂුද්‍ර මූල්‍ය ගත්ත ලක්ෂ 24ට ආසන්න සහෝදර සහෝදරියෝ වැඩියෙන්ම පීඩාවට පත්වෙලා ඉන්නවා. කොවිඩ් තුන්වෙනි රැල්ලත් එක්ක ඔවුන්ට ඔළුව උස්සගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. දැන් මේ වේලාවේ සාමාන්‍ය ජනතාවය එළියට බහින්නවත් බැරි තත්ත්වයක් තියෙද්දී මූල්‍ය සමාගම්වල නිලධාරීන් ණය ඉල්ලගෙන ගම්වලට එන්න පුළුවන් වෙලා තියෙනවා. අම්පාර බදුල්ල , පුත්තලම , කුරුණෑගල මේ හැමතැනකම මේක දිගටම සිද්ධ වෙනවා. මේ මින්ස්සුන්ට කන්න බොන්න නැතුව වසංගතය ඇතුලේ තවදුරටත් පීඩාවට පත්වෙලා ඉන්න මේ මිනිස්සුන්ගේ ජීවිත තවදුරටත් හෙම්බත් කරන්න මේ කියන ආයතන මැදිහත්වෙමින් ඉන්නවා. පසුගියදාක බදුල්ල සහෝදරියක් අපිට කිව්වෙ තමන්ගේ වත්තේ හැදුණු මිරිස් ටිකක් විකුණලා ගත්ත 1200ක මුදලක් අරගෙන එනකොට LOLC එකේ නිලධාරීයා මග රැකලා ඉඳලා ඒ මුදල ඉල්ලලා කරදර කරා කියලා. ඒ මුදල් තමන්ට ගෙදරට එළවලු ගන්න හාල් ටිකක් ගන්න තමයි මේ සල්ලි තියෙන්නෙ කියලා කියද්දී ඒ නිලධාරියා අහනවා අපේ පොළිය ගෙවාගන්න බැරිනම් ඔයගොල්ලන්ට තුන්වේල කන්න සල්ලි කොහෙන්ද කියලා. මේ මිනිස්සුන්ගේ මානුෂීය ප්‍රශ්නය ප්‍රශ්න කරන සමාගම් අයිතිකරුවෝ ගොඩගහගෙන ඉන්න සල්ලි කොච්චරක්ද කියලා මේ රටේ කිසිම මනුස්සයෙක් දන්නෙ නැහැ. හැබැයි පාලකයෝ දන්නවා. මේ ණය අහෝසිකරපල්ලා කියලා ඔය එක පාලකයෙක් කියන්නෙත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ එදා මැතිවරණ වේදිකාවේ ණය අහෝසි කරනවා කියලා කෑ ගැහුවට දැන් මුකුත් කියන්නේ නැහැ. හරිනම් වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ ණය අහෝසි කරන්න කියලා දැන් කියන්න ඕනා. නමුත් ඒක කියන්නේ නැහැ. ඒක කියන්නෙ නැත්තේ මේ සමාගම්වලින් තමා ඒගොල්ලන්ට ලොකුම කුට්ටිය හම්බවෙන්නෙ. ඒ සමාගම්වල ලාභය වෙනුවෙන් මේගොල්ලෝ ඕන දෙයක් කරනවා. අපි ආණ්ඩුවට බලකරනවා බොරුවට දුන්න මැතිවරණ පොරොන්දුව යථාර්තයක් බවට පත්කරන්න. අපි ආණ්ඩුවට කියනවා සමාගම්වලට බලපෑම් කරන්න, සමාගම්වලට අවශ්‍ය නීති ප්‍රතිපාදන හදන්න.

එකපැත්තකින් ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩකරන සහෝදර සහෝදරියන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න. අනික් පැත්තෙන් මේ කියන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ගත්ත සහෝදරියන්ගේ ණය අහෝසි කිරීමට අවශ්‍ය කෙරෙන මැදිහත්වීම කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස කරනවා.

leave a reply