Breaking News

යාපනයේ ළමා ගැබිණි මව්වරු 91 ක්

2023 වසර තුළ යාපනයේ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 91 දෙනෙකු දරුවන් බිහිකොට ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපන කාර්යාංශයේ තොරතුරුවල සඳහන් වෙනවා.

එම වසර තුළ යාපනය ශීක්ෂණ රෝහලේ මාතෘ සායන සඳහා ළමා ගැබිණියන් 119 දෙනෙකු පැමිණි බවට තොරතුරු සටහන්ව ඇතත් ඉන් 91 දෙනෙකු පමණක් යාපනය ශික්ෂණ රෝහලේදී දරුවන් බිහිකොට ඇති බවයි වාර්තා වෙන්නේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපනික ‍ කාර්යාංශය පවසන්නේ ඉතිරි ළමා ගැබිණි මව්වරු උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක රෝහල්වලදී දරුවන් බිහි කරන්නට ඇති බවට විශ්වාස කරන බවයි.

යුද්ධය අවසන් වීමෙන් අනතුරුව උතුරු පළාත තුළ ළමා ගැබිණියන්ගේ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන තත්ත්වයක් සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන බවද එම කාර්යංශයේ නිලධාරීන් සඳහන් කරනවා.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපනික කාර්යාංශය පෙන්වා දෙන්නේ පාසල් යායුතු වයසේ දැරියන් ඉතා අඩු වයස්වලදී ඇතිකර ගන්නා ප්‍රේම සබඳතා නිසා ඔවුන් අධ්‍යාපනය කඩා කප්පල් කර ගනිමින් ඉතා අඩු වයස්වලදී විවාහ වීම ඉතා බරපතල ප්‍රශ්නයක් වී ඇති බවයි.

ළමා මව්වරුන් බිහිවීම යනු සමාජයක් ලෙස කොතරම් දුරට ළමයින්ගේ රැකවරණය අහිමිවී ඇතිද යන්න ගැන නිදසුනකි. ළමයින් සිය කැමැත්තෙන් ලිංගික ක්‍රියාවක් නිරත වුවද එය සළකන්නේ නීතිය ඉදිරියේ වරදක් ලෙසයි. එය සළකනු ලබන්නේ අපයෝජනයක් ලෙසයි.

leave a reply